Ads 468x60px

.

කබලෙන් ළිපට වැටී එතැනින් ළිප් බොක්‌කට නොවැටී සිටීමට නම්...


ළඟකදී සිට විදෙස්‌ රැකියා සඳහා ගොස්‌ සිටින ශ්‍රී ලාංකිකයන්ට විඳින්නට සිදුව තිබෙන දුක්‌ කරදර ගැන බොහෝ සිදුවීම් වාර්තා වන බවක්‌ පෙනෙන්නට තිබේ. 

ඇඟට ඇණ බස්‌සවා, වස විස පොවා, මහල් නිවාසවලින් බිමට ඇද දමා අමානුෂික ලෙස ගෙල, ශරීරය කපා මරා දමනවා මදිවාට මෙරටින්
විදෙස්‌ගත වන කාන්තාවන් දූෂණය කිරීම නරක ස්‌ටයිල් එකක්‌ බවට පත්ව ඇති බව පෙනේ. 

අහන්නට ලැබෙන ආකාරයකට මාසයකට එකක්‌ හෝ විදෙස්‌ ගත කාන්තාවකගෙන් කුමන හෝ පැමිණිල්ලක්‌ ලැබෙන තරමට තත්ත්වය තරමක්‌ බරපතළ වී ඇති බව පෙනේ.

පසුගිය වර්ෂයේදී එනම් 2015 වර්ෂයේදී විදෙස්‌ රැකියා සඳහා පිටත්ව ගොස්‌ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් පැමිණිලි දස දහස්‌ පන්සිය පහක්‌ ලැබී ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශයේ තොරතුරුවලින් හෙළිවේ. ඒ අතරින්ද බහුතරයක්‌ අරාබි රටවල්වල ගෘහ සේවය සහ අනෙකුත් රැකියාවන් සඳහා විදෙස්‌ගත වූ පුද්ගලයන්ගෙන් වීම විශේෂිතය.

"රට" යනවාය කියා යන අයගෙන් වැඩි දෙනෙක්‌ ඒ රටවලදී සැපෙන් සනීපෙන් ජීවිතේ ගත කරන්නේ නැත. ඒ අය විඳින්නේ අපා දුකකි. ඊට ගැහැනු පිරිමි කියා භේදයක්‌ නැත. යන කවරෙකු වුව ඒ ඒ රටවල ජීවිතවලට හුරුවෙන තෙක්‌ විශාල කට්‌ටක්‌ කන්නේය. 


ඊටත් පසුව තව තවත් දුක්‌ ගැහැට විඳින්නට සිදුවන මුත් ආපසු මේ රටට ගොඩ බැසීම නටපු තොවිලෙකුත් නැති බෙරේ පලුවකුත් නැති මට්‌ටමට යන නිසා ඒ දුක්‌ ගැහැට ඉවසා ගනිමින් රැකියාවල නිරත වෙති. 

බොහෝ දෙනෙක්‌ මෙරටින් පිටමංව වෙනත් රටවල රැකියා සඳහා යන්නේ රටට ලෝකෙට ණය වීමෙන් අනතුරුවය. එක්‌කෝ තිබෙන එකම ඉඩම් කැබැල්ල උගසට තබාය. එසේත් නැත්නම් ගිනි පොලියට මුදල් ටිකක්‌ හොයා ගෙනය. බයිලා චක්‍රවර්ති එම්.එස්‌. ප්‍රනාන්දු ගායනා කරන පරිදි "හරි ලස්‌සන පොඩි ගෙයක්‌ හදලා ටී වී රේඩියෝ තියලා හම්බ කරපු සල්ලි මා ළඟයි" යන්න හැබෑය. 

මම එන්නෙ "ඩුබායි" රටේ ඉඳලා යන පොදු නමකින් හැඳින්වූවාට කොයි රටටත් යන කාගේත් අහිංසක ප්‍රාර්ථනාව ඒකය. එසේ තිබියදී ගෙවල් හැදීමට නොව රේඩියෝ කබලක්‌වත් ගන්නට පෙර අතපයට ඇණ බස්‌සවාගෙන ඉල ඇට තලාගෙන කබලෙන් ළිපට වැටී එතැනින් ළිප් බොක්‌කට වැටී නැවත මේ රටට පැමිණෙන්නට සිදුවීම මොනතරම් අවාසනාවක්‌ද යන්න අප (අදාළ බලධාරීන්) කල්පනා කළ යුතුය.

සංඛ්‍යා දත්ත පෙන්වන ආකාරයට කුවේට්‌ රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික සේවකයන්ගෙන් පැමිණිලි 1901 ක්‌ ලැබී තිබේ. එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණිලි 963 ක්‌, කටාර් රාජ්‍යයෙන් පැමිණිලි 726 ක්‌, බහරේන් රටේ සිටින්නන්ගෙන් පැමිණිලි 366 ක්‌, ඕමානයෙන් 218 ක්‌ සහ මැලේසියාවෙන් 241 ක්‌ වශයෙන් විශාල පැමිණිලි සංඛ්‍යාවක්‌ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයට ලැබී තිබේ. 


මේ රටවලට ගොස්‌ සිටින බොහෝ දෙනෙක්‌ කාන්තාවන්ය. ඒ සුල්තාන්ලාගේ පෞද්ගලික ලේකම් තනතුර හෙබවීමට හෝ තෙල් ආකර පාලනය කරන්නට නොවේ. "හවුස්‌ මේඩ්" හැටියටය. "හවුස්‌ මේඩ්" යන්න ලස්‌සන අහන්නට ප්‍රිය උපදවන නමක්‌ වූවාට ඇත්තටම මේ ගිහින් සිටින්නේ ගෙදරක (මාලිගාවලම නොවේ) වැඩකාරකමටය. 

අරාබි බබාලා සමග වැඩ කිරීම ලෙහෙසි නැත. බබාලා පමණක්‌ නොව බබාලාගේ බබාලද, නෝනාවරුද හවුස්‌ මේඩ් වැඩේට ගොස්‌ සිටින ගැහැනියගෙන් කුමන හෝ හේතුවක්‌ නිසා කෲරතර විදිහට පළිගන්නා බව අහන්නට දකින්නට ලැබෙන කතාවල කියෑවේ.

එයින් කියවෙන්නේ මේ රටෙන් එරටට යන විටම කුමන හෝ වරදක්‌ සිදුවී තිබෙන බවය. දේශීය රැකියා නියෝජිතයා පොරොන්දු වූ පරිදි කරුණු කාරණා සිදුනොවන බව පැහැදිලිය. 


රැකියාව සම්බන්ධයෙන් මෙරට නියෝජිතයා සහ එරට සේවාදායකයා අතර හරි හැටි විනිවිද පෙනෙන ගනුදෙනුවක්‌ සිදුනොවන බව රැකියා ගිවිසුම සේවාදායකයා විසින් උල්ලංඝනය කරනු ලැබ තිබීමේ වැනි කාරණා අපට පෙන්වා දේ. 

එමෙන්ම ඒ බොහෝ දෙනකුට මෙරටදී පොරොන්දු වූ රැකියා ඒ රටේදී ලැබෙන්නේ නැත. පොරොන්දු වැටුපද ලැබෙන්නේ නැත. ඒ අනුව විදෙස්‌ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් විශාල ගැටලු පවතින බව අවිවාදිතය. 

විදෙස්‌ රැකියා ඇමැතිවරිය මේ ගැන පුළුල් දැක්‌මකින් කටයුතු කරන බවක්‌ පෙනෙන්නට තිබේ. එය හොඳ වැටුප්, ශ්‍රමිකයාගේ සුබ සාධනය ආරක්‍ෂාව ආදිය ගැනද සැලකිලිමත් වන රටවල් පමණක්‌ තෝරා ගැනීමේ වැඩපිළිවෙළක්‌ දක්‌වා දිගු විය යුතුය.
 
Related Posts with Thumbnails