Ads 468x60px

.

මිල පාවෙනවද, මිල පාලනයද..?


වැට්‌ ප්‍රශ්නය නිසා රටේ ජනතාවගෙත්, ව්‍යාපාරිකයන්ගෙත් රතු කට්‌ට පනින ලදි. ආණ්‌ඩුවට මේ ප්‍රශ්නය හිසරදයක්‌ වන තරමටම තත්ත්වය උග්‍රවිය. රටපුරාම වීදි බැස්‌සේ පාරිභෝගිකයා නොව වෙළෙන්දෝය. 

ප්‍රශ්නයේ බරපතළකම එයින්ම අවබෝධ කරගත හැකිය. ඒ ප්‍රශ්නයට පළමුවැනි විසඳුම දුන්නේ අධිකරණයයි. ඒ "වැට්‌" බදු පැනවීම නීත්‍යනුකූල නොවන බව කියමින් වැට්‌ අත්හිටුවීමය. එහෙත් රටේ
ජනතාවට ප්‍රශ්නයක්‌ ඉතිරිව තිබුණි. ඒ රටේ පාරිභෝගික භාණ්‌ඩ (අත්‍යවශ්‍ය) බොහෝමයක මිල ඉහළ ගොස්‌ තිබීමය. 

ආණ්‌ඩුව හිටිහැටියේ පාරිභෝගික භාණ්‌ඩ 16 ක්‌ සඳහා පාලන මිලක්‌ නියම කිරීම ප්‍රශ්නය තව තවත් අවුල් කිරීමට හේතුවිය. දැන් වෙළෙන්දාටත්, පාරිභෝගිකයාටත් අලුත් ප්‍රශ්නයක්‌ නිර්මාණය වී තිබේ. 

එය ආණ්‌ඩුවටද දැනෙන ප්‍රශ්නයකි. එක්‌වරටම පාලන මිලක්‌ නියම කරන විට වෙළෙන්දාට (තොග සහ සිල්ලර) එක්‌වරම ඊට හැඩ ගැසෙන්නට හැකියාවක්‌ නැත. මේ සරල කාරණය කවරෙකු වුවද තේරුම්ගත යුතුය. 

පාලන මිල නියම කළත්, ඊට පෙර පනවා තිබූ බදු ගෙවා ගෙන්වන ලද භාණ්‌ඩ පාලන මිල යටතේ අලෙවි කිරීම ප්‍රායෝගිකව කළ හැක්‌කක්‌ නොවේ. ඒ පාඩුව පියවා ගැනීමට ඇමරිකාව, චීනය හෝ ඉන්දියාව පැමිණ කාටවත් උදව් කරන්නේ නැත. 

ලෝක බැංකුව අපට ණය දෙන්නේද එවැනි පාඩු පියවන්නට නොවේ. එහෙම මොහොතක මේ අවුල ලිහාගත යුත්තේ වෙළෙන්දාමය. ඔවුන්ට කරන්නට ඇති එකම දේ පාලන මිලට නොව පරණ මිලටම භාණ්‌ඩ ලබාදීමය. "ආණ්‌ඩුව පාලන මිලක්‌ නියම කර තිබියදීත් මේ පාහර වෙළෙන්දන් බඩු මිල වැඩිකර ඇතැයි" කියමින් පාරිභෝගිකයා පරල වීමද සාධාරණය. 

වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටද බරපතළ ප්‍රශ්නයකි. පාරිභෝගිකයාටද මේවාට විසඳුම් නැත. ආණ්‌ඩුව ණය ගන්නේ පරණ ආණ්‌ඩුව හතර අතට වී ඇතැයි කියන ණය ගෙවන්නටය. ඒ බව ආණ්‌ඩුවේ උදවිය හැමදාමත් කියන නිසා අප එය පිළිගත යුතුය. 

ඒ සල්ලිවලින් පාරිභෝගිකයා පිනවන්නට ගියහොත් "ආර්ථිකය කළමනාකරණය" කර හමාරය. දැනටත් එසේ සිදුවී ඇති බව ආණ්‌ඩුවේ උදවියම කියති. ඒ පාරිභෝගිකයාට (රටේ සමස්‌ත ජනතාවට) සහන දෙන්නට ගිහින්දැයි අප අසන්නේ නැත. 

දැන ගන්නට ඇති පරිදි ලංකා සතොසේ හා සමහර සුපිරි වෙළෙඳසල් කිහිපයක "පාලන මිලට" බඩු තිබේ. එහෙත් ගමකට එක බැගින් ලංකා සතොස හෝ සුපිරි වෙළෙඳසල් නැත. තිබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. හැමදාමත් ගෙදර යන ගමන් බඩුමුට්‌ටු ගන්නට කල්පනා කරන මිනිහාට ගෙදර ගිහින් හූල්ලන්නට වීම ගැන සාධාරණව කල්පනා කළ යුතුය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියන ආකාරයට රජය නියම කළ පාලන මිලට භාණ්‌ඩ අලෙවියක්‌ සිදු වන්නේ නැත. ඒ කොතැනක වුව මිල පාලනය වීම කෙසේ වෙතත් "මිල පාවෙන" බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. 


මිල ගැන වැටලීම් සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසන මුත් එය සාර්ථක බවක්‌ පෙනෙන්නට නැත. වැටලීම් කිරීමෙන් පාලන මිලට භාණ්‌ඩ අලෙවි කළ පන්සියයකට අධික පිරිසක්‌ අත්අඩංගුවට ගත් බව වාර්තා වන නමුදු මිල පමණක්‌ නොව තත්ත්වයද පාලනය වූ බවක්‌ පෙනෙන්නට නැත. ලංකාවටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දුන්නේ ඒ පන්සිය දෙනාද නොවේ.

මිල පාලනය කාලෝචිත පියවරකි. ආදායමට සරිලන පරිදි මිල පාලනයක අවශ්‍යතාවක්‌ තිබෙන බව අප මීට පෙරද පෙන්වාදී ඇත්තෙමු. එහෙත් මිල පාලනය යනු වෙළෙන්දාටත්, පාරිභෝගිකයාටත් ඇණයක්‌ වන මට්‌ටමේ ක්‍රියාවලියක්‌ වීම සුදුසු නැත. 


අවම වශයෙන් මේ මිල පාලනයට පෙර සති දෙක තුනකටවත් පෙර ඒ ගැන දැනුම්වත් කිරීමක්‌ කළ යුතුව තිබිණි. දැන් පාරිභෝගිකයාට වැට්‌ නැත. අඩු මිලට බඩුත් නැත. පාලන මිලත් නැත. "මිල පාලනය" කෙසේ වෙතත් පාවෙන බවක්‌ පෙනෙන්නට තිබේ. අනාගතයේ "ඡන්දයද පාවෙන" බවට ඉඟි මේවාය.
 
Related Posts with Thumbnails