Ads 468x60px

.

මෙය අපම විසඳුම් සොයා ගත යුතු කාරණයකි...


සමහර කාරණා අපට එක්‌වරක්‌ නොව දෙතුන්වරක්‌ කතා කරන්නට සිදුව තිබේ. 'ඩෙංගු' එවැනි කතාවකි. ඕනෑම අවුරුද්දක ඩෙංගු ගැන කතා කරන මාසය හෝ මාස කිහිපයක්‌ තිබේ. ස්‌ථිර වශයෙන්ම මැයි - ජුනි මාසවලදී අපි ඒ ගැන කතා කරන්නෙමු. 

ඒ මෝසම් වැසි කාලය ආරම්භ වීම නිසා ය. එහෙත් මෙවර තත්ත්වය වෙනත් වර්ෂයන්ට වඩා සුවිශේෂී එකක්‌ බව අපි මීට පෙර ද පෙන්වා දී
ඇත්තෙමු. පසුගිය මැයි මාසය යනු රටේ ආපදාවන් බහුලව අත්දකින්නට ලැබුණු කාල වකවානුවකි. 

වැසි ආපදා තත්ත්වයත් සමඟ ඇතිවුණු ගංවතුර නිසා බොහෝ ප්‍රදේශවල කැළි කසළ එකතු වීම, දිය අගල්, කානු පිරී ඉතිරී යැම, දිය කඩිති බහුලව ව්‍යාප්ත වීම වැනි කරුණු ඩෙංගු පැතිර යැමට අවශ්‍ය සියලු පරිසර සාධක සපුරා තිබිණි. ඒ රටේ බොහෝ දෙනෙක්‌ අක්‍රමවත්, අපිළිවෙළ ආකාරයට කැළි කසළ බැහැර කිරීමට අමතරවය.

දැන් සුපුරුදු පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ආරම්භ වී තිබේ. ඩෙංගු මර්දනයට අපට තවමත් ස්‌ථිරසාර වැඩපිළිවෙළක්‌ නැති බව ද සිහිපත් කර සිටිමු. 


පසුගිය ජුනි 30 වැනිදා සිට ජූලි 02 වැනිදා දක්‌වා ඩෙංගු මර්දන වැඩසටහනක්‌ සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් දියත් කර තිබිණි. කොළඹ, ගම්පහ, කළුතර, මාතලේ සහ මහනුවර යන දිස්‌ත්‍රික්‌කවල පරිශ්‍ර 18,055 (එක්‌දහස්‌ අටසිය පනස්‌ පහක්‌) පරීක්‍ෂාවට ලක්‌ කිරීමෙන් පසු ඩෙංගු මර්දන කීටයන් සිටින ස්‌ථාන 294ක්‌ සොයා ගත් බව වාර්තා වේ. 

ඒ අනුව පුද්ගලයන් 139 දෙනකුට නඩු පවරා ඇති අතර, තවත් පුද්ගලයන් 853 දෙනකුට නොතීසි ද නිකුත් කර තිබේ. මෙහිදී සැලකිල්ලට බඳුන් විය යුතු කාරණයක්‌ ද අනාවරණය වී ඇත. ඒ 'ඉදිකිරීම් කලාප' (ගොඩනැඟිලි, නිවාස හෝ වෙනත් ඉදිකිරීම්) සියයට අනූ දෙකක්‌ මදුරුවන් බෝවිය හැකි ස්‌ථාන බවය.

මේ තොරතුරු අප පහසුවෙන් අමතක කළ යුතු හෝ අවධානයෙන් බැහැර කළ යුතු කාරණා නොවේ. මේ වන විට දිස්‌ත්‍රික්‌ක දහයක පැතිරී යන ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මරණ 35ක්‌ සිදුව තිබේ.

රටේ ජනතාව 'ඩෙංගු' ගැන හිතන ආකාරය ආණ්‌ඩුව ඩෙංගු ගැන හිතන ආකාරයට දෙවැනි නැත. ජනතාව ඩෙංගු ගැන සැළකිලිමත් වන්නේ 'අදාළ කාලයට' පමණකි. ආණ්‌ඩුව ඩෙංගු මර්දන වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරන 'අදාළ කාලයක්‌ ද' තිබේ. 


ඒ හැරුණු විට බොහෝ ලෙඩ රෝග වලට හේතු විය හැකි 'මදුරු මර්දනයට' මේ දෙපාර්ශවයේම තිබෙන උනන්දුව අන්තිම කම්මැලි එකකි. වාසනාවට 'ඒඩ්ස්‌' වැනි භයානක රෝගයක්‌ මදුරුවන්ගෙන් බෝවන්නේ නැත. එහෙත් ඩෙංගු නොව 'ඒඩ්ස්‌' පැතිරෙන්නේ ද මදුරුවන්ගෙන් බව කීවද රටේ ජනතාව තමන්ගේ අපිරිසිදු අපිළිවෙල ජීවන රටාව වෙනස්‌ නොකරන බව අපේ විශ්වාසයයි. 

ඩෙංගු මදුරුවාට සිය ප්‍රජනන කාර්යය සහ බෝවීම සඳහා පහසුකම් සළසා දෙන පොල් කටු, බිත්තර කටු, පොල් කෝම්බ, ටින් කබල්, කඩිමුඩියේ කටේ හලාගන්නා බියර් ටින්, අරක්‌කු කාලේ බෝතල්, ගමේ, ටවුමේ එය කොයිතැනත් දකින්න ලැබේ. 

තමන්ගේ වත්තේ වළක්‌ කපා ක්‍රමවත්ව කසළ බැහැර නොකරන බොහෝ අය කරන්නේ ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට 'ළඟම ඇති කුණු ගොඩකට' ඒවා ගෙන ගොස්‌ දැමීමය. එසේ කළ පමණින් 'ඩෙංගු' නතර වන්නේ නැතැයි ඒ මෝඩයන් කල්පනා කරන්නේ නැත. 

නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා විදුහලක මදුරු කීටයන් බෝවිය හැකි අයුරින් පරිසරය සකසා තිබීම නිසා විදුහල්පතිනියට උසාවි යැමට සිදුව තිබේ. ඇත්ත තත්ත්වය ඒකය. අපේ රටේ මතුපිටින් 'ඉතා හොඳ' ආකාරයට පෙනෙන්නට තිබෙන ආයතන බොහෝමයක්‌ ඒ ආකාරයෙන් බව අපි විශ්වාස කරමු. 

'කියුබානු මදුරු මර්දන' බැක්‌ටීරියා කතාව බොහෝ පරණ කතාවකි. 'අදාළ කාලයේ' මදුරු මර්දන වැඩසටහන් සඳහා අනුගත වනවා හැරෙන්නට අපට වෙන කරන්න දෙයක්‌ ඇත්තේම නැද්ද? මෙය අපම විසඳුම් සොයා ගත යුතු කාරණයකි.
 
Related Posts with Thumbnails