Ads 468x60px

.

නිරෝෂා විරාජිනිගෙන් සංගීත පන්තියකට වඩා වෙනස්‌ දෙයක්‌

අවුරුදු විස්‌සක්‌ සැලකිය යුතු කාලයක්‌... කලාකරුවෙකුට විශේෂයෙන්ම ගායන ශිල්පිණියකට අවුරුදු විස්‌සක අත්දැකීම් ඉතාම වැදගත්. නිරෝෂා විරාජිනි පියවරෙන් පියවර කලබලයක්‌ නැතිව අවුරුදු විස්‌සක්‌ ගායන ක්‍ෂේත්‍රයේ ඉදිරියට ගමන් කරමින් සිටින්නීය. මේ කාලය තුළ ඇය ගායනා කළ ගීත එකක්‌ නෑර රසික හදවත් දිනා ගන්නට සමත් විය. එක රැයකින් එක්‌ ගීයකින් ගායන ලොවේ කිරුළු පළඳින්නට සිහින දකින අතිශයෝක්‌තියෙන් තමන් ගැන සිතන අලුත් පරපුරට නිරෝෂා විරාජිනි, දීපිකා ප්‍රියදර්ශනී වැනි ඒ පරපුරේ සිටින අදත් ක්‍ෂේත්‍රයේ නමක්‌ තබා සිටින ශිල්පීන් ශිල්පිණියන් ආදර්ශයකි. ඔවුන් ගයන්නේ සුගායනීය ගීත මිස... අද පරපුරේ ඇතැමුන්ගේ හඬින් අපට ඇසෙන වාක්‍ය රචනා නොවේ.
අද අපට හමුවන්නේ නිරෝෂාය. නිරෝෂා විරාජිනී සමග අප කළ සාකච්ඡාවක සටහන් මෙසේ පෙළ ගස්‌වමු. අලුත් පරම්පරාව අයාලේ යනවා කියන චෝදනා එල්ල වෙනවා. ඔබත් මේ චෝදනාවට එකඟද?

නැහැ... අයාලේ යනවා කියලා කියන්න බැහැ. ඒ අයට හරි ගුරු හරුකමක්‌ නැති කමින් නොදැනුවත්ව යන ගමනක්‌. සමහර නාලිකා රියෑලිටි වැඩසටහන් ජනප්‍රිය කර ගන්න යම් යම් උපක්‍රම කරනවා. ඔවුන් මේ තරුණ පරපුරටම ඉදිරි ගමනක්‌ පෙන්වා දෙන්නේ නැහැ. ඒ ඒ ආයතනවලට අවශ්‍ය ලෙස මේ දරුවන්ව හසුරුවනවා. මේ ළමයින්ට තනි යන ගමනක්‌ නැහැ. ඒ කාලේ අපිට එහෙම ප්‍රශ්න තිබුණේ නැහැ. ප්‍රවීණයන්ගේ අවවාද අනුශාසනා නිසා අපිට ගමනක්‌ යා හැකි වුණා. අපිට අපේ දස්‌කම් හඳුනාගන්න අවස්‌ථාව තිබුණා. ඒත් මේ අලුත් පරපුරට ඒ අයගේ දේ හඳුනා ගන්න බෑ. ඔවුන් කවුරුන් හෝ මෙහෙයවන රොබෝලා වගේ. ඒ නිසා තමයි දවසක්‌ දෙකක්‌ ජනප්‍රිය වෙලා ඔවුන් ඉබේටම ඉවත්ව යන්නේ. ක්‍ෂණික ජනප්‍රිය බව ලද පමණින් ඔවුන් හිතනව තමන් පණ්‌ඩිත් අමරදේවයන් හා සමානයි කියලා.

ඒ කියන්නේ රියෑලිටි වැඩසටහන් හොඳ නැහැ කියලද? හොඳයි... එතැනින් වහාම මේ පරම්පරාවට ඉදිරියට යැමට සහයක්‌ අවශ්‍යයි. රියෑලිටිවල වරදක්‌ මම දකින්නේ නැහැ. ඔබ මුල සිටම රියෑලිටි වැඩසටහනක විනිසුරුවරියක ලෙස කටයුතු කළා. මේවාට ඉදිරිපත් වන තරුණ පිරිස දක්‍ෂ නැද්ද? දක්‍ෂයි. හැකියාව තියෙන ළමයින් හරියට ඉන්නවා. ඒත් මේ අපේ තරුණ පිරිසට විද්‍යානුකූල පුහුණුවක්‌, දැනුමක්‌ අවශ්‍යයි. අපිට විනිසුරු මඬුල්ලේ සිටිද්දී ඒ අයගේ වැරදි අඩුපාඩු හදන්න බැහැ. ගුරුහරුකම් දෙන්නත් බැහැ. අපට අයිතිය තිබෙන්නේ වැරදි පෙන්වා දීම විතරයි. මොකද මේ තරගවල පුළුවන්තරම් තරගකරුවන් ඉවත් වීමක්‌ සිද්ධ විය යුතු නිසා. ඒත් මම දන්නවා හැකියාව තියෙන අය ඉන්න බව.

මේ අයට ඉදිරියට එන්න නම් කළ යුත්තේ කුමක්‌ද? හුඟාක්‌ ළමයින්ට ඔය ප්‍රශ්නෙ තියෙනවා. බොහෝ දෙනෙක්‌ වගේම දෙමව්පියන් පවා මගෙන් ඉල්ලීම් කළා මේ අයට පන්ති පවත්වන්න කියලා. ඒත් මට තවත් සංගීත පන්තියක්‌ කිරීමේ උවමනාවක්‌ නැහැ. ඕනෑ තරම් පන්ති අද තියෙනවා. මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්‌සයි. මතු පරපුර වෙනුවෙන් මා ලද අත්දැකීම් පුහුණුව බෙදාදිය යුතුයි. ඒත් ඒක සංගීත පන්තියකට වඩා වෙනස්‌ දෙයක්‌ විය යුතුයි.

ඊට ඔබ සූදානම්ද... ඔව්... ගායකයෙක්‌ ලෙස කටහඬ කලක්‌ පවත්වාගෙන යන්න නම් තමන්ගේ හඬට හානියක්‌ නොවන සේ ගායනා කළ යුතුයි. හඬ පාලනය කිරීමට නිවැරැදි ලෙස හුස්‌ම ගැනීමේ විධික්‍රම හා අභ්‍යාස වගේම ඉන්දියානු සංගීතයේ තාක්‍ෂණික අභ්‍යාස ඇතුළුව බටහිර අභ්‍යාස, සරල ගීයක්‌ ගායනා කරන ආකාරය. ජන ගීයකට, නූර්ති ගීයකට හඬ වෙනස්‌ කර ගන්නා ආකාරය... විධිමත් අභ්‍යාසයක්‌ තිබේ නම් ඕනෑම කෙනෙකුට ගායනා කළ හැකියි. ඒ වගේම ප්‍රාසාංගික බව වැදගත්. අලුත් අය හිතනවා නටමින් ගී ගැයීම තමයි ප්‍රාසාංගික කියලා. ඒත් නටන්න ඕනේ නැහැ. තමන් කරන ඉතා පුංචි දේකින් තම පෞරුෂය පෙන්වන්න පුළුවන්. ඒ වගේම ගායන ශිල්පියෙක්‌ සමාජයට යද්දි දැනගත යුතු කරුණු හැසිරිය යුතු ආකාරය, අඳින පළඳින හැටි මේ වගේ මූලික දැනුමක්‌ ලබාදෙන සංගීත පාසලක්‌ මම ආරම්භ කරනවා. මාස හයකදි මේ මුළු දැනුමම ලබා දෙන්න බැහැ. මූලික පදනමක්‌ ලබාදිය හැකියි. සියට හැත්තෑපහක්‌ ගායනයටත් ඉතිරි විසිපහ පෙරකී අමතර කරුණු පිළිබඳවත් අවධානය යොමු කරනවා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, රෝසි සේනානායක, ප්‍රනීත් අභයසුන්දර වැනි ප්‍රවීණ දේශකයන්ගේ මූලිකත්වයෙන් වැඩමුළු පවත්වනවා. වයස්‌ භේදයක්‌ අවශ්‍ය නැහැ. ජනවාරි 04 වැනිදා කොළඹ ලොන්ග්ඩම් පෙදෙසේ මගේ "බීට්‌ස්‌ ඔµa හාර්ට්‌ස්‌" (හදවතේ රිද්මය) පාසල පටන් ගන්නවා. මේ පිළිබඳ තවත් දැනුම ලබා ගන්න මම ඉදිරි දින කිහිපය තුළ එංගලන්තයට යනවා. මයිකල් ජැක්‌සන් පවා ඉගෙන ගත් ගුරුවරයකුගෙන් පුහුණුවක්‌ ලබන්න.

ඔබට මේ අවශ්‍යතාව දැනුනේ රියෑලිටි වැඩසටහන් විනිශ්චය කරන්න ගියාට පස්‌සේද? නැහැ.... එහෙම නොවේ. පුංචි කාලේ ඉඳලාම ගුරුවරියක වීමේ හීනය... ආසාව මගේ හිතේ තිබුණා. මේ ක්‍ෂේත්‍රයේ හොඳ නරක පිළිබඳ දැන් මට අවුරුදු විස්‌සක අත්දැකීම් තියෙනවා. මම තව අවුරුදු කීයක්‌ ගායනා කරයිද දන්නෙත් නැහැ. එනිසාම උගත් දේ අනෙක්‌ අයට බෙදා දිය යුතුයි. ඔබට ගී ගැයීමෙන් සමුගන්නා අදහසක්‌ තියෙනවද? මම හිතනවා අදටත් අඩු පාඩුවක්‌ නැතිව මම ගී ගයනවා කියලා. ඒත් බැරි බැරි ගාතේ ගී ගයන්න මම ආසා නැහැ. මට තවදුරටත් ගයන්න බැහැ කියලා දැනගත් පළමු දවසේම මම ගායනයෙන් ඉවත් වෙනවා. පුළුවන් කාලේ හොඳම ගායනා කරලා බැරිවූ පසුව ගායනා කරන්න උත්සාහ ගන්නවා කියන්නේ මම මටම කරගන්නා හානියක්‌.

ඔබේ ගී තව කෙනෙක්‌ ගායනා කළොත්...? මම මිය යන විට මේ කිසි දෙයක්‌ බදාගෙන ඉඳලා වැඩක්‌ නැහැ. මගේ ගීත මම සමාජයට දීලා අවසානයි. මුල් නිර්මාණයට යම් වටිනාකමක්‌ තියෙනවානම් තව දහදෙනෙක්‌ ප්‍රතිනිර්මාණ දහයක්‌ කළත් පළමු නිර්මාණයේ බර ඒවායේ නැහැ. මම නැතිවූ දවසක මා කළ නිර්මාණ ගැන අලුත් අය කතා කරයි. පැරැණි නිර්මාණවල ප්‍රතිනිර්මාණ බිහිවිය යුතුයි. එවිට තමයි අලුත් සමාජය ගීත අසන්නේ. සෙලින් ඩියොල්, මයිකල් ජැක්‌සන් වැනි ලෝක ප්‍රකට ශිල්පීන් පවා ජනප්‍රිය වූ ගී යළි ගැයුවා. ඒ එම ගීය ජීවත් කරවන්න. හැබැයි මේකට කාලසීමාවක්‌ තියෙනවා. අවුරුදු පහකට කලින් ගැයු ගී යළිත් වෙන කෙනෙක්‌ ගයනවා නම් ඒක අනුමත කරන්න බැහැ. මම මැරුණාට පස්‌සේ මගේ ගීත කවුරු ගායනා කළත් මට කමක්‌ නැහැ. තණ්‌හාව අවශ්‍ය නැහැනේ.

ඔබ තවදුරටත් රියෑලිටි වැඩසටහන් විනිශ්චයට සහභාගි වෙනවද? සහභාගි වේවි. ඒත් මගේ පාසලේ වැඩ කටයුතු සමග ගැටීම් ඇතිවන නිසා වසරක්‌ විතර නිහඬව ඉන්නවා. ඔබේ අලුත් නිර්මාණ...මගේ පළමු ගීය අවුරුදු විස්‌සකට කලින් ගැයූ "සිත හඬයි..." ගීතය රීමේක්‌ එකක්‌ කරනවා. අලුත් විදිහට රසිකයන් ඒකට කැමති වේවි. මේක ඉන්දියානු තනුවක්‌ අපේ රටේ විදිහට සංගීත භාණ්‌ඩ වෙනස්‌ කරලා. බටහිර පැත්තටත් නැඹුරු කරලා. සෙන්ටි්‍රගේඩ් තුසිත් තමයි නිර්මාණය කරන්නේ. ඒකේ විෂුවල් එකකුත් කරනවා. මේ දවස්‌වල "දුන්නු වේදනා..." ගීය හීට්‌ වෙලා...

ක්‍ෂේත්‍රයේ අනෙක්‌ අය සමග සිටිය යුත්තේ කොහොමද? කිසිම දෙයක්‌ ඕනෑවට වඩා ගණන් ගන්නේ නැතුව හිටියාම මේ ක්‍ෂේත්‍රයේ ඉන්න ලේසියි. හොඳ හෝ නරක එක කනකින් අහලා අනෙක්‌ කනින් පිට කළ යුතුයි. කිසිම දෙයක්‌ ඇඟට ගත යුතු නැහැ. ඇයි ඔබ තවම ඒකපුද්ගල ගීත ප්‍රසංගයකට පා තැබුවේ නැත්තේ...? දැනටමත් ආයතනයක්‌ සමග සාකච්ඡා කරනවා. මාර්තු මාසය වෙද්දි ප්‍රසංගයක්‌ කරන්න හිතාගෙන ඉන්නවා. අනෙක මාධ්‍ය ආයතන සංවිධානය කරන එළිමහන් ප්‍රසංගවලට හැර අනෙක්‌ එළිමහන් ප්‍රසංගවලට මම සහභාගි වන්නේ නෑ. දැන් මට සිංදු හුඟාක්‌ තියෙන නිසා ප්‍රසංගයක්‌ කරන්න පුළුවන්. වසරක්‌ තුළ ප්‍රසංග දහයක්‌ විතර කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

අවසන් වශයෙන් කියන්න ඔබ අලුත් පරපුර සමග නිර්මාණ කරන්න මෙතරම් කැමැත්තක්‌ දක්‌වන්නේ ඇයි? අලුත් අය සමග වැඩ කළ යුතුයි. ඒත් අපේ ප්‍රවීණයන් පුරුදුවෙලා ඉන්නේ අලුත් පරපුර විවේචනය කරන්න විතරයි. හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදියි කියන්නත් පුළුවන් විය යුතුයි. ඒ ඔවුන්ට දොස්‌ නොතියා. අපේ ප්‍රශ්නය තරුණ පරපුරට දොස්‌ කියන එකට මම එතරම් කැමති නෑ. අලුත් අයගේ ගුරුවරු විය යුත්තේ පැරැණි අයයි. අලුත් අය සමග වැඩ කරද්දී අපිත් අලුත් වෙනවා. ප්‍රවීණයන් සමග වැඩ කරද්දී අලුත් අය ඉබේම හොඳ නිර්මාණ කරන්න පෙළඹෙනවා. කාලය අනුව අපි හැම දෙනාම වෙනස්‌ විය යුතුයි. ආශා බෝස්‌ලේ පුංචි ළමයින් වගේ අය එක්‌ක වැඩ කරනවා. ඉන් ඒ අයටත් අලුත් පරපුරටත් හානියක්‌ වී නෑ. ඒක තමයි ඒ පරම්පරා දෙකේ සංශෝධනය. 


අනෙක ගී පදමාලා තෝරා ගනිද්දිත් තනු නිර්මාණයේදීත් අලුත් පරණ කියා භේදයක්‌ මගේ නැහැ. සංගීතය කියන්නේ බොහෝම සියුම් විෂයක්‌. ලොකු විභාග පාස්‌ කරලා ඉගෙන ගත්තත් එතුළින් සිදුකරන්නේ බොහෝම සියුම්ව හදවතට දෙන නිර්මාණයි. ඕනෑම මට්‌ටමක කෙනෙකුට ඒ නිර්මාණය රස විඳින්න පුළුවන් විය යුතුයි. නිරෝෂා විරාජිනිගෙන් ගුරු හරුකම් ලබාගන්න අලුත් පරපුරේ කෙනෙක්‌ සිටීනම් සහ ඇගේ හදවතේ රිද්මය පාසල පිළිබඳ උනන්දුවක්‌ දක්‌වන කෙනෙක්‌ සිටී නම් 0777676333 හෝ 0715266333 අංකවලට අමතන ලෙස ඇය ඉල්ලීමක්‌ද කළාය.
 
Related Posts with Thumbnails