Ads 468x60px

.

කරූ බිල්ලට දී සජිත් ජාම බේරා ගනී

තමාට අනාගතයේදී ප‍්‍රබල අභියෝගයක් එල්ලවීමට ඉඩ තිබූ කරූ ජයසූරිය මහතා දේශපාලන භූමියෙන් තාවකාලිකව ඉවත්කොට තම නියෝජ්‍ය නායක තනතුර යාන්තමින් රැක ගැනීමට සජිත් පේ‍්‍රමදාස මහතා සමත් වී තිබේ.


එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ඇතුළු ප‍්‍රධානීන් තෝරා පත් කර ගැනීම සඳහා අද (19) පැවැති නිලවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ඉදිරිපත් කළ කරූ ජයසූරිය මහතා පරාජය කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා යළි පක්‍ෂ නායකත්වය තහවුරු කරගෙන තිබේ.අද පැවැති නිලවරණයේදී නායකත්වය සඳහා තරග කළ කරූ ජයසූරිය මහතා ඡන්ද 26 ක් ලබාගන්නා විට රනිල් වික‍්‍රමසිංහ මහතා ඡන්ද 68 ක් ලබාගෙන තිබේ.

එසේම, නියෝජ්‍ය නායක තනතුරට තරග කළ රවී කරුණානායක මහතා ඡන්ද 42ක් ලබාගන්නා විට සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාගත හැකි වී ඇත්තේ ඡන්ද 50 ක් පමණි. දෙදෙනෙකු ඡන්දය අවලංගු කර තිබේ. තවත් පස් දෙනෙකුගේ ඡන්ද ලබාගැනීමට රවී කරුණානායක මහතාට හැකිවූයේ නම් ඔහුට නියෝජ්‍ය නායක තනතුර හිමිවනු ඇත.කොළඹ නාගරික කොට්ඨාශය නියෝජනය කරන කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු ඔහුට එරෙහිව ඡන්දය පාවිච්චි කළ බව එම පක්‍ෂයේ මන්තී‍්‍රවරයෙකු අප වෙත පැවසීය.

කෙසේවුවද, ජාතික සංවිධායක ධූරය සඳහා පැවැති ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලවලට අනුව, සජිත් කණ්ඩායම විසින් ඉදිරිපත් කළ ජනපි‍්‍රය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වූ දයාසිරි ජයසේකර මහතා පරදවා, නැගෙනහිර පළාතේ විපක්‍ෂ නායක දයා ගමගේ මහතා ජයග‍්‍රහණය කළේය. දයා ගමගේ මහතා ඡන්ද 56 ක් ලබා ගන්නා විට දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයාට හිමිවූයේ ඡන්ද 36ක් පමණි. එහිදීද දෙදෙනෙකු ඡන්දය කටුගා තිබේ. රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සටනකට යන ලෙස තමන්ගේ ගෝල බාලයින්ගෙන් එල්ල වූ බලපෑම් හමුවේ සජිත් පේ‍්‍රමදාස මහතා එයින් ගැලවීමට මෙවර යොදා ගනු ලැබුවේ කරූ ජයසූරිය මහතාවය.

කෙසේවුවද, තමාට නියෝජ්‍ය නායක ධූරයට කිසිදු තරගයක් නැතැයි උපකල්පනය කර සිටි සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (18) එම තනතුරට රවී කරුණානායක මහතා ඉදිරිපත් වන බව ප‍්‍රකාශයට පත් කිරීමත් සමග කරූ ජයසූරිය මහතාගේ ඡන්ද ව්‍යාපාරය පසෙකලා තමාගේ තනතුර ආරක්‍ෂා කර ගැනීම සඳහා ඊයේ පස්වරුවේ සිට අද දහවල් දක්වා දැඩි අරගලයක් කර තිබිණ.එහිදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ මෑණියන් වන හේමා පේ‍්‍රමදාස මහත්මියත්, බිරිඳ වන ජලනි පේ‍්‍රමදාස මහත්මියත්, සොයුරිය වන දුලාංජලි ජයකොඩි මහත්මියත් ඊයේ පස්වරුවේ සිට අද දහවල් දක්වාම කෘත්‍යාධිකාරී මණ්ඩල හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට දිගින් දිගටම දුරකතන ඇමතුම් ලබාදෙමින් සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

සජිත් පේ‍්‍රමදාස මහතාද එලෙසම ඡන්දය බලය හිමි සියලූ දෙනා වෙත දුරකතන ඇමතුම් ලබාදෙමින් තමන්ට ඡන්දය ලබාදෙන ලෙස ඇවිටිලි කර තිබිණ.සජිත් කණ්ඩායමෙන් ජාතික සංවිධායක ධූරයට තරග කළ දයාසිරි ජයසේකර මහතාද ඔහුගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ඊයේ දහවල් සිට අද දහවල් දක්වා වෙහෙසී ඇත.මෙම තත්ත්වය යටතේ කරූ ජයසූරිය මහතාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් ඊයේ දහවල් සිට අද දහවල් දක්වා පූර්ණ කාලීන ලෙස මැදිහත් වී ඇත්තේ සජිත් කණ්ඩායමේ රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරාළ, රෝසි සේනානායක, ශිරාල් ලක්තිලක, මෛතී‍්‍ර ගුණරත්න, අශෝක අබේසිංහ, උපාලි පියසෝම හා උපුල් ජයසූරිය වැනි කිහිපදෙනෙකු පමණි.

රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සටනට යන ලෙස කරූ ජයසූරිය මහතාට දිගින් දිගටම බලපෑම් කළ සිරස මාධ්‍ය ජාලයේ ප‍්‍රධානි කිලී මහරාජා මහතා විදේශගත වී සිටි අතර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතා ජෙනරාල් ෆොන්සේකාට ජනාධිපති සමාව ලබාදීමේ ගෞරවය දිනා ගැනීමේ මාධ්‍ය මෙහෙයුමක නිරත වී සිටියේය.මෙම තත්ත්වයන් යටතේ කරූ ජයසූරිය මහතාට බලවත් අසීරුතාවයකට මුහුණදීමට සිදුවිය.
කෙසේවුවද, මෙම සටන තවදුරටත් ඉදිරියටම ගෙන ගොස් රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂ නායකත්වයෙන් එළවා දමන බවට සජිත් කණ්ඩායමේ කි‍්‍රයාකාරිකයෙකු අප කළ විමසීමකදී පැවසීය.
 
Related Posts with Thumbnails