Ads 468x60px

.

හොට් බොලිවුඩ් නිවුස්

දින 12ක උපන්දින සැමරුමක්

බිපාෂා බාසු ජනපි‍්‍රය නිළියක් විතරයි. ඇය ඉන්දීය දේශපාලන ලෝකයේ ජාතික නායිකාවක් නොවෙයි. වෙනත් අන්දමකින් ජනප්‍රිය වූ තරුණියකුත් නොවෙයි. නමුත් බිපාෂාගේ උපන් දින සාදය දින 12ක් පවත්වනවාලු. එවැනි අයුරකින් ඇයගේ උපන් දිනය සමරන්නේ ඇයි?


බිපාෂාගේ උපන් දිනය යෙදී තිබෙන්නේ ජනවාරි 7 දාටයි. එදාට විතරක් උපන් දිනය සමරන්නේ නැතුව දින 12ක් තිස්සේ මොන උපන් දින සැමරුම් ද? බිපාෂා ඒ ගැන කීවේ මෙවැනි කතාවක්...

”මම රඟපාපු ‘ප්ලේයර්ස්’ චිත්‍රපටයේ ප්‍රචාරාත්මක වැඩ කටයුතු වලට මමත් එකතු වෙලා ඉන්නවා. ඒ වැඩ සටහන පටන් ගත්තෙ දෙසැම්බර් 26 දායි. ජනවාරි 7 දා වෙනතුරු ඒක ක්‍රියාත්මක වෙනවා. ජනවාරි 5, 6, 7 කියන දවස්වලදී ‘ප්ලේයර්ස්’ චිත්‍රපටයෙ මංගල දර්ශනය ලන්ඩන් වලදී තිරගත වෙනවා. ඒ දවස් තුනේ මමත් එතන ඉන්නවා. ඉතින් මම මේ චිත්‍රපටයෙ නිෂ්පාදක, සිකන්දර් ඛෙයර්ට කිව්වා, මේ දවස්වලදී මගේ උපන් දින උත්සවය පවත්වන්න කියලා. මං හිතන්නෙ අභිෂේක් භච්චන් ගෙනුයි සිකන්දර්ගෙනුයි මට තෑගි ලැබේවි.”බිපාෂා ජනවාරි 7දායි මුම්බායි නුවරට පැමිණෙන්නේ. එදා ඇයගේ උපන් දිනයයි. පවුලේ අයත් එක්ක ලොකු සාදයක් පවත්වන බවයි ඇය කීවේ.





උපන් දින කේක්

සල්මන් ඛාන් ගේ සොහොයුරු, සොහේල් ඛාන් ගේ උපන් දිනයත් පසුගිය සතියේ යෙදී තිබුණා. මේ වෙනුවෙන් විශේෂ සාදයක් මුම්බායි හි සුපිරි හෝටලයක පිහිනුම් තටාකයක් අබියසදී පැවැත්වුණා.උපන් දින සාදයට බොලිවුඩ් සිනමාවේ තරු රැසක්ම එක්වී සිටියා. ඒ අය තමයි, සොහොයුරු සල්මන් ඛාන්, කන්ගනා රනඋට්, නෙහා ඩුවියා, ජෙනෙලියා ඩි සූසා, රිටීෂ් දේශ්මුඛ්, සමීරා රෙඩ්ඩි, බොබි ඩියොල්, බොනි කපූර් සහ ශ්‍රී දේවි, සෝනු නිගාම් ඇතුළු තවත් නළු නිළියන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ චිත්‍රපට නිෂ්පාදකවරුන්.

උපන් දිනය සමරන්නට විශාල චොකලට් කේක් ගෙඩියක් ගෙනැවිත් තිබුණා. සොහේල් එය කැපුවේ කාගේත් උණුසුම් සුබ පැතුම් මැද්දේයි. ඉන් පසුව ඔහු තම හිතවතුන් වටකරගෙන ෂැම්පේන් බෝතලයක් විවෘත කළ බවයි ආරංචි. පැමිණ සිටි අමුත්තන්ට සංග්‍රහ කෙරුණේ හයිද්‍රබාද් ප්‍රදේශයට ආවේණික ආහාර පානවලින්. මේ උපන් දින සාදය සවස් වරුවේ සිට පසුදා අලුයම 4.30 පමණ වනතුරු පැවැත්වුණාලු.





ඉඩක් ලැබුණොත් තවත් ‘ඩොන්’ කෙනෙක්

චිත්‍රපට නළුවකු සහ අධ්‍යක්ෂවරයකු වන ෆර්හාන් අක්තාර් අධ්‍යක්ෂණය කළ ‘ඩොන් – 2’ චිත්‍රපටය පසුගියදා තිරගත කිරීම ආරම්භ කළා. ‘ඩොන්’ චිත්‍රපට මාලාවේ තවත් චිත්‍රපටයක් වන මෙය හඳුන්වා ඇත්තේ ‘ඩොන් –2: ද කිං ඉස් බැක්’ යනුවෙන්. මීට කලින් ඉන්දීය පුවත්පතක පළවී තිබුණේ මින් පසුව ෆර්හාන් අක්තාර් ‘ඩොන්’ චිත්‍රපට නිර්මාණය කිරීම නතර කරන බවයි. නමුත් ඔහු පසුගිය සතියේ පැවසුවේ තමන් එවැනි ප්‍රකාශයක් කිසිම දිනක නොකළ බවයි.

”මම එහෙම දෙයක් කිව්වෙ නැහැ. මම කිව්වේ දිගින් දිගටම එකම වර්ගයේ කතා තේමාවල හිරවී ඉන්න මම කැමැති නැති බවයි. ඒත් යම් කතා තේමාවක් තවත් ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් මම ඒක කරනවා. මම මේ ‘ඩොන්’ කියන චරිතයට හරිම කැමැතියි. හොඳ තිර නාටකයක් ලැබුණොත් මේ චරිතය තවත් ඉදිරියට ගෙනියන්න මම පසුබට වෙන්නෙ නැහැ.” අධ්‍යක්ෂ ෆර්හාන් අක්තාර් මේ අදහස පැවසුවේ ‘ඩොන් –2’ චිත්‍රපටය තිරගත කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකදීයි.



මධුරි යට යයි

නව වසර එළැඹෙද්දී බොලිවුඩ් තරු තරමක කාර්ය බහුල තත්ත්වයකට පත්වෙලා. ඒ, සුපිරි මට්ටමේ ප්‍රිය සම්භාෂණවලට සහභාගිවන්නට තිබෙන නිසයි. ඔවුන් මේ සාදවලට එකතුවන්නේ කා බී විනෝදවන්නට නම් නොවෙයි. අතමිට සරු කරගන්නටයි. මේ විනෝද සාදවලට සහභාගි වී ගී ගයා නටා අමුත්තන් ප්‍රීතිමත් කරන්නට බොලිවුඩ් තරු හැම වසරකදීම ඉදිරිපත් වෙනවා. මේ සාද පවත්වන්නේ ධන කුවේරයන්. ඔවුන්ගෙන් බොලිවුඩ් නළු නිළියන්ට ඇතෙක් බරට මුදල් ලැබෙනවා.එවැනි සාදයකට මධුරි ඩික්සිත් ද සහභාගි වුණා. ඇය සුපුරුදු පරිදි තමන්ගේ නර්තනයන් ඉදිරිපත් කළා. නමුත් ඇයට ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක් නොවෙයි. බොහෝ දෙනකු පැවසුවේ මධුරිගේ එදා දක්නට ලැබුණු ආකර්ශණීය රංගන විලාසයන් ඒ නැටුමෙහි නොතිබුණු බවයි. මේ නිසා ඇයව මින් මතුවට සම්භාෂණවලට එක්කර නොගන්නට බොහෝ දෙනකු තීරණය කරලා.
මේ වනවිට මෙවැනි පෞද්ගලික සාදවලට නැතිවම බැරි නිළිය වී ඇත්තේ මල්ලිකා ෂෙරවට්. ඇය, පැය භාගයක් වෙනුවෙන් අය කරන මුදල රුපියල් කෝටියක්!





බඳින්න කලින් බැඳලා

රිටිෂ් දේශ්මුඛ් සහ ජෙනෙලියා ඩි සූසා බොලිවුඩ් පුරයේ ජනප්‍රිය තරු යුවළක්. මේ දෙදෙනා සැබෑ ලෝකයේ පෙම්වතුන් විතරක් නොවෙයි ලබන පෙබරවාරි මාසයේ දී විවාහ වෙන්නත් බලාපොරොත්තුව සිටිනවා.රිටිෂ් සහ ජෙනෙලියා රඟපෑ අලුත්ම චිත්‍රපට දෙකකුත් 2012 වසර මුල් භාගයේ දී තිරගතවීමට නියමිතයි. එක චිත්‍රපටයක්, ‘තෙරේ නාල් ලව් හෝගයා’. අනෙක් චිත්‍රපටය ‘රොක් ද ගාඩ්’. ‘තෙරේ නාල්...’ චිත්‍රපටයේ නිෂ්පාදක කුමාර් ටෞරානි උත්සාහ කරන්නේ තම චිත්‍රපටය රිටිෂ් - ජෙනෙලියා විවාහයට කලින් තිරගත කරන්නයි.

”රිටිෂ් සහ ජෙනෙලියා මේ චිත්‍රපටයේ විවාහ වෙනවා. චිත්‍රපටය නිම වෙන්නෙ ප්‍රේක්ෂකයා තුළ සතුටක් ජනිත කරමින්. මං හිතන්නෙ මේ දෙන්නගෙ සැබෑ විවාහ මංගල්‍යයට කලින් මේ චිත්‍රපටය තිරගත වුණාම ප්‍රේක්ෂකයන්ට ඒක රසවත් අත්දකීමක් වේවි. තිර නාටකය හොඳින් රචනා වෙලා තියෙන නිසා චිත්‍රපටය ජනප්‍රිය වේවි කියලයි අපි හිතන්නෙ.” නිෂ්පාදකවරයා පැවසුවා. ඔහු දැනට සැලසුම් කර ඇත්තේ මේ චිත්‍රපටය ජනවාරි මාසයේ දී තිරගත කරන්නයි.’රොක් ද ශාඩි’ චිත්‍රපටයත් ජනවාරි මාසයේ දී තිරගත කරන්නටයි, එහි අධ්‍යක්ෂ නව්දීප් සිං බලාපොරොත්තුව සිටියේ. දැන් ඔහු තීරණය කර ඇත්තේ චිත්‍රපටය මාර්තු මාසයේ දී තිරගත කරන්නයි.

 
Related Posts with Thumbnails