Ads 468x60px

.

බොරු පම්පෝරි ගහලා මාධ්‍යයේ වැජඹෙන්න මට ඕන නෑ - ලකී


ඔහුට සම්මානවලින් අඩුපාඩුවක් තිබුණේ නෑ. නළුවෙක් වශයෙන් පමණක් නොව චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් ලෙසත් ලැබිය යුතු බොහොමයක් සම්මාන ඔහුට හිමි වී තිබුණා. ඒ සියල්ල පුරා දශක ගණනාවක් තිස්සේ යහපත් කලාවක් වෙනුවෙන් ඔහු කළ කැපකිරීම් වෙනුවෙන් ලැබුණු ඒවා ය. මේ අතරතුරම පසුගිය සුමති ටෙලි සම්මාන උලෙළින් ද ඔහුට සුවිශේෂී සම්මානයක් හිමි විය. අපේ කතා බහට නිමිත්ත වූයේ ඒ සම්මානය පුරුදු පරිදි ඔහුගේ නළුකමට හෝ නිෂ්පාදන කාර්යයකට හිමි වූවක් නොවන නිසා ය.
මේ සම්මානය ඔහුට හිමි වූයේ රූපවාහිනිය වැඩසටහනක් ඉදිරිපත් කිරීම වෙනුවෙනි. මේ සම්මානයේ හිමිකරු අපේ ප්‍රවීණ නළු ලකී ඩයස් ය.


සම්මාන රැසක හිමිකරුවෙක් වන ඔබට මෙවර සම්මානය සුවිශේෂී වෙන්නේ කොහොමද?
සම්මානයක සතුට කියන එක මම බොහොම කාලයක් තිස්සේ විඳපු කෙනෙක්. මගේ නළු ජීවිතය ගත්තත් නිෂ්පාදන කාර්යයන් ගත්තත් මේ දෙපැත්තෙන්ම, ඇති වෙන්න සම්මාන දිනපු කෙනෙක් මම. ‘සරසවිය’ සම්මාන ඕ.සී.අයි.සී. සම්මාන, ජනාධිපති සම්මාන, විජය සම්මාන, සුමති සම්මාන ඔය ආදී නොයෙක් සම්මානවල මම හිමිකරු වෙලා තිබෙනවා. මේ හැම සම්මානයක්ම මට ලැබුණේ එක්කෝ මගේ රංගනයක් වෙනුවෙන්, නැතහොත් මගේ නිෂ්පාදනයක් වෙනුවෙන්.

නමුත් මෙවර සුමති ටෙලි සම්මාන උලෙළින් මට හිමි වුණේ මගේ සුපුරුදු ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගිය වෙනත් සුවිශේෂී සම්මානයක්. ඒ නිසා මේ සම්මානය මට අතිශයින් ම වටිනවා. රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම වෙනුවෙනුයි මේ සම්මානය මට ලැබුණේ. අනිත් අතට Who wants to be milloner කියන වැඩ සටහන රටවල් 110 ක ක්‍රියාත්මක වෙන ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහනක්. මේ සඳහා මාව තෝරගත්තේ එංගලන්තයෙන් ඇවිත්. පළවැනි වතාවටම සම්මානයක් ලැබිලා ජූරියේ අවධානය යොමු වීම අනෙක් සම්මානයන්ට වඩා සුවිශේෂියි.

‘ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති’ වැඩසටහන එකල අතිශයින් ම ජනප්‍රිය වැඩසටහනක් වුණා. නමුත් ඔබ හදිසියේ ම ඒ වැඩසටහන ඉදිරිපත් කිරීමෙන් ඉවත් වුණා. ඇත්තට ඒ තරම් සාර්ථක වැඩසටහනකින් ඇයි ඔබ ඉවත්වුණේ?
ඇත්තටම මේ වැඩසටහනට මම සම්බන්ධ වුණේ අවුරුදු 2 ක ගිවිසුමකට අනුවයි. නමුත් මටත් පුදුම හිතුණා හිටි ගමන් අපේ සේවය නතර කළා ම. ඒ ගැන මම ප්‍රශ්න කරන්න ගියේ නෑ. මාව ඕන නැති තැනකට මම පස්සෙන් යා යුතු නෑ නේද? වැඩසටහන ඉදිරිපත් කරන කාලේ මම කිසිම පුරුද්දක් නැතිව වැඩසටහන කළා. දහස් ගණන් ප්‍රේක්ෂකයෝ මේ නිසා ඒ වැඩසටහන වටා රොක්වෙලා හිටියා. අදටත් මට මුණ ගැහෙන බොහෝ දෙනා මැසිවිලි නඟනවා ඇයි ඔබ ඉන් ඉවත් වුණේ කියලා. නමුත් ඒකට මට කරන්න දෙයක් නෑ. ප්‍රේක්ෂකයෝ මං ගැන ඒ විදියට හිතීම ගැන ඇත්තටම ඔවුන්ට මම ණය ගැතියි. නමුත් මට වැඩසටහනකට බලහත්කාරයෙන් සම්බන්ධ වෙන්න බෑනේ. මට නැවතත් ඇරියුමක් ලැබුණොත් මම සතුටින් බාර ගන්නවා.

ඔබ පසුගිය කාලය පුරාම මාධ්‍යයෙන් ටිකක් ඈත්වෙලා හිටියේ. මාධ්‍යයට විවෘත වෙන්න ඔබට හේතුවක් ම ඕන බවක් පේනවා?
ඔව්. මාධ්‍යයට එන්න කිසියම් හේතුවක් ඕන තමයි. මම ඇඩ්වර්ටයිසින් කරන කාලේ ඉඳන්ම ජනමාධ්‍ය සමඟ ලොකු සබැඳියාවකින් කටයුතු කරනවා. මේ අවුරුදු ගණනාව තුළ ඉතාම සමීප මිතුරන් මට මාධ්‍ය ලෝකය පුරා ඉන්නවා. ඒ අයට කියලා මට ඕන දෙයක් මාධ්‍යවල දම්ම ගන්න පුළුවන්. නමුත් කිසියම් හේතුවක් නැතුව බොරු පම්පෝරි ගහලා මාධ්‍යයේ වැජඹෙන්න මට ඕන නෑ. පිටු පෙරළනකොට හිටියට තිරයේ බඩු නැත්නම් ඒකෙන් ඇති වැඩේ මොකක්ද? ඒ නිසා මම මාධ්‍යයට එන්නේ එක්කෝ මගේ රංගන කාර්යයක් ගැන. එහෙමත් නැති නම් නිෂ්පාදන කාර්යයක් ගැන දැනුවත් කරන්න තිබෙනවා නම් විතරයි.

මෙවැනි තත්ත්වයක් යටතේ ඔබ වැනි නළුවන්ට සහ හරවත් යමක් කරන කෙනෙකුට අත්වෙන ඉරණම ගැන මොකද හිතෙන්නේ?
ඒක බරපතළ ප්‍රශ්නයක්. අද තිබෙන ටෙලිනාට්‍ය දිහා බැලුවම වැඩිපුරම නිෂ්පාදනය වෙන්නේ පවුල් කඩා ඉහිරවන, අනියම් සම්බන්ධතා පවත්වන, පහත් ගණයේ භාෂා භාවිතා කරන ටෙලිනාට්‍ය. මේ ටෙලිනාට්‍යය 10 ක් බෑ කිවුවොත් අඩුම තරමින් එකක්වත් මා වැනි නළුවන්ට කරන්න වෙලා තිබෙනවා. මගේ ගණයේ ඉන්න බොහෝ දෙනා අතරින් කිහිප දෙනෙක් විතරයි අද වැඩ කරන්නේ. චිත්‍රපට කලාව ගැනත් ඔය බණේ මම මේ වගේ ම කිව්වා. නමුත් කරන්න දෙයක් නෑ. ඉඳලා හිටලා හරි අපිටත් තෝරලා බේරලා හරි ටෙලිනාට්‍යයක රඟපාන්න වෙලා තිබෙනවා. ඒ මොකද අපේ ගෙදරත් බත් කන්න ඕන නිසා.

ඔබේ නවතම නිර්මාණ දායකත්වයන් ගැන කිවුවොත්?
පසුගිය දිනවල තිරගත වුණු ‘චැලේන්ජර්ස්’ චිත්‍රපටය අතිශයින් ම සාර්ථක වුණා. ඉතා හොඳ විචාරක ප්‍රතිචාරත් ලැබුණා. ඔහුගේ ම ‘සෙනසුරු මාරුව‘ චිත්‍රපටය ලබන අවුරුද්දේ දී තිරගත වීමට නියමිතයි. එහි හාත්පසින් ම වෙනස් රංගනයක යෙදෙන්න මට අවස්ථාව හිමි වුණා.

හෙට සිට සිරස නාලිකාව ඔස්සේ විකාශනය වීමට නියමිත ‘භාර්යාවෝ’ ටෙලිනාට්‍ය ඔස්සේ ඔබ නැවතත් ටෙලි නාට්‍ය රංගනයට එක්වෙනවා. අපි ඒ ගැන කතා කරමු.
මේ දවස්වල බහුතරයක් ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රවීණ නළු නිළියන් අමතක කරලා. ඒ අය ගෙවල්වල පුස්කනවා. මේ ඊයේ පෙරේදා නළු නිළියන් කියන්න බැරි අය පත්තරේක දෙකක පිංතූරයක් දාගෙන ටෙලිනාට්‍ය වලට රිංගනවා. නමුත් පසුගිය දවස්වල අපි ඒකේ ආදීනව දැක්කා. මොකක් හරි දේකට අහුවෙනවා. මේ අය කලාව දන්නෙත් නැහැ. කලාවට ආදරයකුත් නැහැ.

නමුත් මම මේ දවස්වල කරන ‘භාර්යාවෝ’ ඊට වඩා වෙනස් මුහුණුවරක් අරන් තියෙනවා. මෙහි නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාරි මහත්මිය විශාල මුදලක් කැපකරලා මේ ටෙලිනාට්‍ය කරන්නේ. ප්‍රවීණ හා ජනපි‍්‍රය පිරිසක් ඇය ‘භාර්යාවෝ’ සඳහා දායක කරගෙන ඉන්නවා. මා සමඟ සබීතා, දිල්හානි, කාංචනා, දමිතා, නිමන්ති, චන්න පෙරේරා, බුද්ධදාස විතානච්චි, බිමල් ජයකොඩි, මාදිනි මල්වත්ත, කුමාර තිරිමාදුර වැනි විශිෂ්ඨතම ශිල්පීන් පිරිසක් මෙහි ඉන්නේ.

ඇත්තටම සුදර්මාට මම ප්‍රශංසා කරනවා මෙතරම් මුදලක් කැප කරමින් හොඳ නිර්මාණයක් කරන්න පෙලඹුණ එක ගැන. මේ නාට්‍යය වෙනුවෙන් නාලිකා කිහිපයක්ම අනුමත කරමින් හිටියේ. නමුත් සිරස නාලිකාව මේ උසස් නිර්මාණය භාරගෙන හෙට සිට රාත්‍රි 9 ට ප්‍රේක්‍ෂකයා අභිමුවට අරගෙන එනවා. විශේෂයෙන්ම තරුණ අධ්‍යක්‍ෂවරයකු විදිහට තිර පිටපත රචනා කරන ගමන්ම සාරංග මෙන්ඩිස් හොඳ නිර්මාණ කාර්යයක් කරනවා. එය හෙට සිට හොඳින් දැක බලා ගන්න පුළුවන්. සිරසට මම ගරු කරනවා වගේම මගේ ප්‍රණාමය හිමි වෙනවා ‘භාර්යාවෝ’ ඉතාම ඉක්මනින් ප්‍රේක්‍ෂකයාට සමීප කිරීම පිළිබඳව.
 
Related Posts with Thumbnails