Ads 468x60px

.

ඌරගස්‌මංහන්දිය කම්පා කළ අපරාධයක්‌

බිත්තිය මත එල්ලා තිබූ දින දර්ශනයේ පිටු එකිනෙක ගැලවී ගොස්‌ වසරක නිමාව සටහන් කර නව වසරක උදාව සටහන් කළා පමණි. උදා වූ සීතල දුරුත්තේ තවත් එක්‌ රැයක මැදියම පසු කරමින් එකේ කණිසමට ළංවෙමින් තිබිණි.


දිනය ජනවාරි 05 වැනිදාය. තමා හා තනිව විසූ වියපත් හා සිහිකල්පනා මඳ තම මවගේ අවශ්‍යතා සොයා බැලූ මංගලිකා සුපුරුදු සූදානමින් තම කාමරයෙහි සයනය මත දිගාවී ඒ වන විටත් ගැඹුරු නින්දකට වැටී උන්නාය. දින දෙකකින් පායන්නට බලාඋන් පුන්සඳ අඳුර ගිලගත් වලාකුළකට මැදිව සැඟව හුන්නාය. නිවසේ මිදුල ඉදිරිපස තිබූ කණාටු වී ගිය දෙල්ගසේ සිට කෑ ගැසූ උලමකුගේ මූසල නාදය මංගලිකාගේ කන වැකෙන්නට නැත.

මාරයාගේ හෝරාව එළැඹෙමින් තිබිණි. කොබේදුව ගම් වැසියෝ සියල්ලෝම නිදි සුවයෙන් පසු වෙද්දී පාපතර ඇස්‌ගෙඩි දෙකක්‌ අඳුර මැද අවදියෙන් සැරුවාය. තම වාරයට අවස්‌ථාව එළැඹෙනතුරු මෙතෙක්‌ බලාසිටි ම්ලේච්ඡ මිනිස්‌ සිතක කැළඹුණු සිතුවිලි ක්‍රියාත්මක වන්නට විය.

සයනයෙහි නිදා උන් තමා වෙත කිසිවකු විසින් එල්ල කරන ලද වේගවත් පහරකට එසැණින් මංගලිකා අවදි විණි. එය පිහිපහරක්‌ බව වටහා ගන්නට ඊළඟ මොහොත ඇයට ප්‍රමාණවත් විණි. එහෙත් එතෙකින් නොනැවතුණු අපරාධකරුවා ඇයට වාරු ගන්නට නොදීම තවත් පිහි පහර කිහිපයක්‌ම බෙල්ලට හා උදර ප්‍රදේශයට එක පිට එක අනින ලද්දේ ඇයගේ ස්‌ථූල හා ශක්‌තිමත් දේහයට දරාගත නොහැකි වූ වේදනාවක්‌ උරුම කර දෙමිනි.

සිරුර පුරා ලේ ගලන පිහි ඇනුම් තුවාල සිදුරු සහිතව මංගලිකා කෑ මොර දෙද්දීම සාහසිකයා එම ස්‌ථානයෙන් පලාගොස්‌ තිබිණි.

සිදුවීමෙන් තවත් දෙපැයක්‌ පමණ යනතුරු ජීවිතය මරණයෙන් මුදා ගන්නට මංගලිකාගේ ලේ ගලන සිරුරේ දුබල ප්‍රාණය සහ වෛද්‍යවරුනගේ තැත ව්‍යර්ථ කර දමමින් ඇය මෙලොව හැර දමා දෙනෙත් පියා ගනිද්දී යළිත් වරක්‌ මරුවා ජය ගත්තේය.

පසුගියදා විවාහක එක්‌දරු කතකට පිහියකින් ඇන මරා දැමීමේ එකී ශෝකජනක පුවත බෙන්තොට කරන්දෙණිය ප්‍රදේශ කරා පැතිර යන්නට අලුයම උදාව ප්‍රමාණවත් විය.

මියගිය හොරවල විතානගේ අනුලා මංගලිකා (42) බෙන්තොට, හබුරුගල, කොබේදුව ප්‍රදේශයේ උපන් සහ එහිම විසූ තැනැත්තියකි. ඇය තම සැමියාගෙන් වෙන්ව ටික කලක්‌ ගතවී තිබූ අතර බොහෝa කලක්‌ විදේශගතව සිට ඇය දුක්‌ මහන්සියෙන් උපයාගත් මුදල් තම එකම පුතු වෙනුවෙන් සහ නිවාසේ ඉදිකිරීම් වෙනුවෙන් වැය කළාය.

පියා මියගිය දරුවන් හය දෙනකුගෙන් යුත් පවුලේ කෙල්ලන් පස්‌ දෙනාගෙන් රූප සම්පත්තියෙන් ඉහළම තැනක සිටි මංගලිකා හිත එඩිතර එකියක ද වූවාය. මංගලිකාගේ මරණය පිළිබඳ "දිවයින"ට අදහස්‌ දැක්‌වූ ඇගේ ඥති පුත්‍රයකු වන චතුර කල්ප (32) යන අය මෙසේ පැවසීය. "මියගියේ මගේ බිරිඳගේ පියාගේ නංගි. ඔය සිදුවීම වුණු දවසෙත් මම රෑ නැන්දට කතා කරලයි ආවේ. රෑ 9.15 ට විතර එහෙන් එනකොට නැන්දා එළියේ ලයිට්‌ නිවා දාලා දොර වහගත්තා.

ගෙදර ඇවිත් නිදා ඉන්න අතරේ රෑ 12.30 ට එරංගගෙන් කෝල් එකක්‌ ආවා. නැන්දලාගේ ගෙදර කරදරයක්‌ වෙලා ගිහින් බලන්න කිව්වා. ආයුධයක්‌ අතට අරන් පරෙස්‌සමට යන්න කියලත් එරංග කිව්වා. මම ඉක්‌මනින් එතැනට ගියා. ගෙයි ඉදිරිපස හා පිටුපස දොරවල් ඇරලා තිබුණා. මං දැක්‌කේ ආච්චිඅම්ම සාලයේ වැටිලා ඉන්නවා. ඒ වෙනකොටත් නැන්දා පිහිපාරවල් කාගෙනම අල්ලපු ගෙදර චමින්ද අයියලාගේ ගෙදරට ගිහින් හිටියා.

නැන්දගේ ඇඟේ හැම තැනම ලේ ගලමින් තිබුණා. බෙල්ල සහ අතේ අල්ලත් තුවාල වෙලා තිබුණා. ලේ ගැලීම නතර කරන්න අපි ඉනට බෙඩ්ෂීට්‌ එකක්‌ දාලා ගැටගහන්න හැදුවාම නැන්ද හයියෙන් කෑගැහුවා. අනේ රිදෙනවා, රිදෙනවා චතුර මාව හොල්ලන්න එපා. ඉස්‌පිරිතාලෙට අරන් යන්න කියලා. කතා කරන්න පුළුවන්කමක්‌ තිබුණත් නැන්දාට ගොඩක්‌ම අමාරු බව පෙනුණා. නැන්දාගේ ඇස්‌දෙක උඩට ගියා. ඒ වෙද්දිත් මං කීප සැරයක්‌ම ඇහුවා පිහියෙන් ඇනපු කෙනා අඳුරනවද කියලා. මේ වන කොටත් ත්‍රීවීල් එකකට පණිවිඩය කියලා ගොඩක්‌ වෙලා".

අඳුරු කාමරේ දුටු හැඩ හුරුකම් අනුව සාහසිකයා කළු, මිටි, මහත සරම ඇඳ සිටි අයකු බවට මංගලිකා මේ වන විට චමින්ද යන අයට පවසා තිබුණා. පිහි ඇනුම් කෑ මංගලිකා නිදා හුන් කාමරයේ සිට පැමිණි ඉදිරිපස දොර දක්‌වා විදුලිය දැල්වීමට අත තැබූ විදුලි පේනු සියල්ලේම ලේ තැවරී තිබිණි. නිවස ඇතුළේ තිබූ සරමක්‌ ඉරා ඉන් කොටසක්‌ ලේ සහිතව ඇඳ මත ද ඉතිරි කොටස යාබද කාමරයකද තිබී හමුවූ බවද මෙහිදී සැලවිය.

මංගලිකාට පිහියෙන් ඇනි මොහොතේ සිට පැයක්‌ ගත වන තුරු ත්‍රිරෝද රථයට නිවසට පැමිණීමට ප්‍රමාද වූ බැව් චතුර ප්‍රකාශ කරයි. ඊට හේතුවී ඇත්තේ කොබේදුව ගමට එන ප්‍රධාන පාර එදිනම දහවල් කොන්ක්‍රීට්‌ කර තිබීම බවත් එසේ නොවුණා නම් නැන්දා අද ජීවත්ව සිටින්නට තිබූ බවද ඔහු තවදුරටත් සඳහන් කරයි.

ත්‍රිරෝද රියෙන් බෙන්තොට රෝහල කරා ගෙන ගිය මංගලිකාගේ තත්ත්වය අයහපත් නිසා නාගොඩ රෝහල වෙත පිටත් කර යවා ඇත. 05 දින උදේ 3.10 ට නැන්දා නැති වුණා කියලා එරංග කෝල් කරලා කිව්වා. මං හිතනවා මම රෑ නැන්දලාගේ ගෙදර ගිය වෙලාවෙත් මොහු ඇඳ යට හෝ සැඟවී ඉන්න ඇති කියලා. නැන්දගේ ඇඟ තිබූ ෙච්න්, මුදු කරාබු එසේම තිබුණා. මොහු හොරකමට ආවා නොවේ. මදුරු දැලත් හිල් කරගෙනයි පිහිපහරවල් ඇනලා තිබුණේ. බිත්ති පුරා ලේ විසිරිලා තිබුණා. ලේ තැවරුණු රෙදි පෝර බෑග් එකක්‌ මං අරන් තිබ්බා.

මේ මරණයේදී අපිට තිබෙන්නේ නීතියේ පිළිසරණ විතරයි. නැන්දා කාටවත් වරදක්‌ කළ අයෙක්‌ නොවේ. අපරාධකරු සොයලා දෙනතුරු අපි ආරක්‍ෂක අංශ කෙරේ විශ්වාසයකින් හා ඉවසීමකින් ඉන්නවා යෑයි ද චතුර කීය.

අනුලා මංගලිකා මහත්මියගේ ඝාතනය සම්බන්ධ මරණ පරීක්‍ෂණය කළුතර මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් සිදු කළ අතර ඌරගස්‌මංහන්දිය පොලිස්‌ ස්‌ථානාධිපති උ. පො. ප. ජී. ජී. ගුණසේන මහතාගේ උපදෙස්‌ මත පො. ප. උපුල් කුමාර මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ සහ ඇල්පිටිය අපරාධ විමර්ශන ඒකකයේ පො. ප.විඡේසිංහ, පො. ප. ප්‍රභාත් සිල්වා යන නිලධාරීහු ද පරීක්‍ෂණ සිදු කරති.
 
Related Posts with Thumbnails