Ads 468x60px

.

උපන් දිනය දාම අවසන් ගමන් යැවූ ගිනි රකුසා

තමන්ගේ උපන් දිනය දාම යමෙකුට තමන්ගේ අවසන් ගමනත් යන්නට ලැබීම කෙතරම් දෛවෝපගත සිදුවීමක්දැයි කියා අමුතුවෙන් කිවයුතු නොවේ. ගිරංචිකන්ද, හදපාන්ගොඩ ගම්මානයේ විසූ ඉදුනිල් ඩිලාන් කුඩා දරුවා ඉකුත් 26 දින ඒ දෛවෝපගත අත්දැකීමට මුහුණ දුන්නේය. රුදුරු ගිනි රකුසා විසින් වෙලා ගත් රියක් තුළදී ඔහු සදහටම දෙනෙත් පියා ගත්තේ තනිවම නොවේ. ඔහුත් සමගින් ඔහුගේ සහෝදරයාත් තවත් දෙදෙනෙකුත් මාරාවේශ වූ ගිනි රකුසා විසින් සදහටම රැගෙන ගියේය.



පසුගිය 25 වැනි දින සවස 4.30ට පමණ එකිනෙකට යාබද නිවෙස් දෙකක සාමාජික සාමාජිකාවන් පිරිසක් වෑන් රථයකින් පිටත්වී ඇත්තේ බේරුවල ප්‍රදේශයේ තිබූ ඔවුන්ගේ ඥාතියෙකුගේ මළ ගෙදරකට සහභාගි වීමට යාමටය. ඉහත සදහන් පුංචි පුතුත් සමගින් ගමනට එක්වූ මුළු ගණන එකොළොස් දෙනෙකි. නමුත් ඔවුන්ට බලාපොරොත්තු වූ පරිදි නිවෙස් වලට ඒමට නොලැබුණි. 

කළුතර - හොරණ ප්‍රධාන මාර්ගයේ කළුතර, ඇළමෝදර ප්‍රදේශයේදී ඔවුන් ගමන් ගත් වෑන් රථයේ හදිසියේ ඇතිවූ ගින්නකින් එහි ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම පිළිස්සී මිය ගිය අතර ඉතිරි හත් දෙනාම පිළිස්සුම් තුවාල සහිතව කළුතර, නාගොඩ මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මිය ගොස් ඇත්තේ ජී. කුසුමලතා(56), ඇගේ දියණිය වන තිලංගනී දීපශිකා රත්නසේකර(35), ඇගේ(කුසුමලතාගේ) මුණුපුරන් වන ඉදුනිල් ඩිලාන්(11) සහ චමෝද් ආදිත්‍ය(6) යන සිවු දෙනාය. මින් කුසුමලතාගේ දියණිය වන තිලංගනී දීපශිකා රත්නසේකර පමණක් බටුගම්පල, හදපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඉතිරි තිදෙනාම ගිරංචිකන්ද, හදපාන්ගොඩ ප්‍රදේශයේ යාබද නිවාස දෙකක පදිංචිකරුවන් වෙති.

රෝහලට ඇතුළත් කරන ලද පිරිස අතරින් වාහනයේ රියදුරු වශයෙන් කටයුතු කළ ලසන්ත දීපාල් රත්නසේකර මහතාත්, ඔහුගේ බිරියත්, දරු තිදෙනාගෙන් දිවි ගැලවුණු ඔහුගේ එකම දියණියත් ඇතුළු තිදෙනෙක් දැනට ප්‍රතිකාර ලබා නිවෙස් වලට පැමිණ සිටිති. පාන්දර 1ට පමණ කෑලි කැපිය හැකි ඝණ අන්ධකාරයේ තමන් ආදරයෙන් දුකක් නොදී ඇති දැඩි කෙරූ තමන්ගේ කුඩා දරුවන් ගිනි ජාලාවක් මැද පණ පිටින් දැවී අළුවී යන දර්ශනයක් දෙනෙත් සහිත මවකට හෝ පියෙකුට බලා සිටීමට හැකි වේවිදැයි කියා ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවෙනු ඇත.


නමුත් ඒ අවාසනාවන්ත අත්දැකීමට මුහුණ දුන් මෙම වාහනයේ රියදුරු වන ලසන්ත දීපාල් මහතාට කාත් කවුරුවත් නැති පාළු පාරක තම දරු සිගිත්තන් වෙනුවෙන් කළ හැකිව තිබුණේ උදවු ඉල්ලා විලාප නැගීම පමණි. මේ බිහිසුණු අත්දැකීම පිළිබදව ඔහු අපට විස්තර කළේ මෙලෙසිනි. “අපි මළ ගෙදර යන්න කළින් කළුතර බෝධියට ගිහින් පැය දෙකක් විතර ඉදලයි මළ ගෙදර ගියේ. ආපහු එද්දි අධිවේගෙ ළගදි දරුවන්ට අධිවේගී පාරත් පෙන්නුවා. ඒ පෙන්නලා මීටර් 200ක් වත් එන්න ලැබුණේ නෑ. මුලින් පොඩි ගිනි දැල්ලක් මතුවෙද්දී මම අතින් ගහලා නිවන්න හැදුවා. 

ඒත් එක්කම ගින්න මගේ සීට් එකට ඇවිලුණා. මම ඒ ගමන හයියෙන් කෑ ගැහුවා ඇතුළේ කට්ටියට එළියට පැන ගන්න කියලා. ඉස්සරහ සීට් එකේ හිටපු අය දොරවල් ඇරලා ඉක්මනට එළියට පැන ගත්තත් පිටි පස්සේ සීට් එකේ හිටපු අයට එළියට එන්න අමාරු වුණා. මට වාවන්න බැරි මම ළග ඉදගෙන හිටපු ලොකු පුතා(අප කතාව ආරම්භයේදී සදහන් කළ දරුවා) ගින්න ඇවිලෙද්දී වෑන් එකේ පිටිපස්සට පැන්නා ඉස්සරහ ඉඳලා. එයාට මොන දේ උණත් ආච්චි නැතුව බෑ. එදා උණෙත් ඒකම තමා. ඒකෙන් උණේ මගේ පුතා ආච්චිත් එක්කම සදහටම අපිව දාලා ගිය එකයි.

ඉස්සරහ ඇරපු දොරවල් වලින් ආපු ගිනි දැල් ඔක්කොම එළියට ගියේ පිටිපස්සේ ජනේලෙන්. මගේ ඇස් දෙක ඉස්සරහම මගේ දරුවො, මගේ අම්මා, මගේ සහෝදරී පිච්චිලා යන එක බලා ඉන්න මට සිද්ධ වුණා. මම කොහොමද මේක ඉවස ගන්නේ” යනුවෙන් වේදනාවෙන් පැවසීය. මේ බිහිසුණු දර්ශනය බලා සිටීමට නොහැකි වූ ලසන්තගේ බිරිය මහ පාරේ පෙරළෙමින් දුක වාවා ගත නොහැකිව විලාප දී ඇති අතර ඇගේ මුවින් පිට වන වදන් අසා සිටීමට පවා අසීරුය.

“මල්ලිවයි නංගිවයි බලාගෙන හිටපු මගේ රත්තරන් ලොකු පුතේ, ඇයි නංගිව තනි කරලා යන්න ගියේ. දැන් නංගි සෙල්ලම් කරන්නේ කාත් එක්කද රත්තරනේ. ඕගොල්ලො දෙන්න යද්දි ඇයි මාවත් එක්ක ගියේ නැත්තේ. දැන් මගෙන් උදේට ඇවිත් කිරි ඉල්ලගෙන බොන්නේ කවුද දෙයියනේ, මාව ආයිත් ඇවිල්ලා ඉඹින්නේ කවුද වස්තුවේ, දැන් මම කොහොමද ඔය දෙන්නා නැතුව තනියෙන් ජීවත් වෙන්නේ, අනේ දෙයියනේ ඇයි මෙහෙම දෙයක් කළේ මට, මම පවු කරන කෙනෙක් නෙමෙයි. මම දරුවන්ට පුදුම තරම් ආදරෙයි. එහෙවු මට මෙහෙම දුකක් දුන්නේ ඇයි, හැමදාම නාවලා කවලා පොවලා රෝස මල් දෙකක් වගේ හදපු මගේ ළමයි දෙන්නව දැන් පින්තූරෙකින් විතරක් දැකලා හිත හදාගන්නේ කොහොමද කියන්න ”

ඇගේ විලාපය අසා සිටි අපේ දෙනෙත්වලටද කඳුළු පිරුණේ ඉබේටමය. තමන්ගේ අතින් කවා පොවා සීරීමක් හෝ වන්නට නොදී රැක බලා ගත් තම දරුවන් තමන්ගේ ඇස් ඉදිරිපිටදීම මරු වසඟයට යන දසුනක් බලා සිටිය හැකි වන්නේ කුමන මවකටද? මියගිය දරුවන් දෙදෙනා ඇතුළු සියලු දෙනාගේම සිරුරු හදුනා ගැනීමට හෝ නොහැකි තරමට පිළිස්සී තිබුණු නිසා ඒවා නිවෙස් වලට ගෙනෙන ලද්දේ සීල් කරන ලද පෙට්ටි තුළය. නිවසේ එකම කාමරයක එක පෙළට තැබූ පෙට්ටි හතරක් තුළ ඔවුන් තිදෙනා සැතපී සිටියේ සදහටම දෙනෙත් පියා ගෙනය.



මෙම වෑන් රථයේ තිබූ අනාරක්ෂිත ඉන්ධන ගැලුමකට ගිනි ඇවිලීම නිසා මෙම අනතුර සිදු වන්නට ඇති බවට දැනට කරුණූ අනාවරණය කරගෙන ඇති බව වාර්තා විණි. එම ඉන්ධන ඇසිරුමට අමතරව රථය තුළ පිටුපස කොටසේ තවත් අමතර ඉන්ධන බදුනක් තිබී ඇති බව දැන් හෙළිවී ඇති අතර කරුණු එසේ වීම නිසා ගිනි රකුසාට තම ආධිපත්‍යය පැතිරවීමට පහසු වන්නට ඇත. කරුණු කාරණා කෙසේ සිදු වුවද පුංචි මල් කැකුළු දෙකක් ඇතුළුව අහිංසක මිනිස් ජීවිත හතරක් දැන් සදහටම සමුගෙන හමාරය. 

තමන් තාවකාලිකව පිළියමක් ලෙස යොදා තිබූ ඉන්ධන ඇසිරුම මෙවන් වූ විපතක් කරයි යැයි රියදුරු ලසන්ත කිසි විටෙක නොසිතන්නට ඇත. නමුත් ඇසිල්ලකින් ලබන සුළු ඉඩකඩ පවා මාරයාට ප්‍රමාණවත්ය. උදෑසනම තම නිවසට විත් හෙට දවස අරඹන්නට දහසක් බලාපොරොත්තු පොදි බැද ගෙන පැමිණි හතර දෙනෙකුට ආපසු ඒමට සිදු වූයේ සීල් කරන ලද ලී පෙට්ටි හතරක් තුළය. දෑසින් නැරඹීමට අපහසු ඒ අවාසනාවන්ත දසුන සහ දෙසවනින් ඇසීමට අපහසු ඒ දුක් අදෝනා අසන දකින ඕනෑම අයෙකුට ජීවිතය යනු කෙතරම් අවිනිශ්චිත දෙයක්දැයි වටහා ගැනීමට ඉතා පහසුවෙන් හැකිවනු නොඅනුමානය.
 
Related Posts with Thumbnails