Ads 468x60px

.

දරුවා ගැට ගැහුවේ ගෙවල්වලට ගොස්‌ හොරෙන් කෑම කන නිසායි - මව

අවුරුදු තුනක්‌ වයසැති කුඩා දරුවකු නිරුවතින් ඇඳක දෙපා ගැටගසා බැඳ සිටියදී කුරුවිට පොලිස්‌ ස්‌ථානාධිපති ආර්. පී. සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් විසින් ඊයේ 1 වැනිදා නිදහස්‌ කර ගෙන තිබේ.


මෙම සිද්ධිය සිදුවී ඇත්තේ කුරුවිට පුස්‌සැල්ල ලෙල්ලගොඩ ගම්මානයේය. මෙම සිද්ධිය පොලිසියට දන්වා ඇත්තේ අවට ගම්වාසීන් විසිනි. පොලිසිය යන විට නිවසේ දොර වසා දරුවා ඇඳේ ගැට ගසා තිබිණ. මද වේලාවකින් දරුවාගේ මව පාසල් ගිය ගැහැනු ළමයකු සමග නිවසට පැමිණ තිබේ. 


ඇය පොලිසියට පවසා තිබුණේ පුංචි දරුවා ගැට ගසා යන්නේ අවට ගෙවල්වලට ගොස්‌ හොරෙන් කෑම කන නිසා බවයි. ළමයාට ඇන්දවීමට ඇඳුම් නැති නිසා උපන් ඇඳුමින් සිටින බවත් මේ මව පොලිසිය ඉදිරියේ කඳුළු සලමින් පැවසුවාය.

පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා මේ තිදෙනාම පොලිසියට කැඳවා ගෙන ගොස්‌ පළමුව සියල්ලටම දවල්ට කෑම ලබා දුන්නේය. ඉන් පසු ඇඳුම් නොමැතිව සිටි දරුවා ජීප් රථයෙන් නගරයට කැඳවා ගෙන ගොස්‌ ඇඳුම් කට්‌ටල දෙකක්‌ ලබා දුන්නේය.

දරුවාගේ මව පොලිසියේ දී මෙසේද කීවාය.

මම අවුරුදු 10 ක්‌ රට රැකියාවක්‌ කර මුදල් සියල්ල සැමියාට එව්වා. මම ලංකාවට ඇවිත් මාස 4 යි. අද මට මොකවත් නෑ. සැමියා සියල්ල බීලා විනාශ කරලා. ගෙන ආ රෙදි සියල්ල කපාදාලා. අඳින්න ඇඳුම් නෑ. මම කුරුවිට සහෝදරයාගේ නිවසට ආවේ ඒ නිසයි. අද මට දරුවන් හදා වඩා ගැනීම අමාරුයි.

පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා මෙම දරුවන් රත්නපුර පරිවාස නිලධාරීන් හමුවට යෑවීමට කටයුතු පිළිවෙල කළේය. සුමුදු සත්සර (3) හා දිල්හානි දියණියට (6) පොලිසිය සෙල්ලම් ගෙයක්‌ විය.
 
Related Posts with Thumbnails