Ads 468x60px

.

හිමි දෙනම ඝාතනයේ සැකකරුවෝ රිමාන්ඩ් - නුගේගොඩ උසාවිය ළඟ මහා කලබලයක්

මිනීමරුවන් වෙනුවෙන් පෙනී ඉන්න ලැඡ්ජා නැද්ද...
අපේ හාමුදුරුවන්ව මරා ගත්තට දඬුවම් දෙනවා...

හිමි දෙනම ඝාතනයේ සැකකරුවන් ලෙස සඳහන්ව ඇත්තේ මහරගම සහ තණමල්විල යන ප්‍රදේශවල තරුණයෝ දෙදෙනෙකි. සැකකරුවන් අධිකරණයට රැගෙන ඒමට පෙර දෙසීයකට අධික පිරිසක්‌ නුගේගොඩ අධිකරණය ඉදිරිපිටට රැස්‌ව සැකකරුවන්ට මරණ දඬුවම ලබා දෙන්නැයි කියමින් උද්ඝෝෂණය කළහ.

මිරිහාන පොලිසිය සැකකරුවන් දෙදෙනා සුදු රෙදිවලින් ආවරණ සහිතව නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණ නිල මැදිරිය වෙත ඉදිරිපත් කළ අතර, මෙම සිද්ධියට අදාළව නඩු භාණ්‌ඩ වශයෙන් තියුණු පිහියක්‌ හා මෝටර් රථයක්‌ අත්අඩංගුවට ගත් බව පොලිසිය මහෙස්‌ත්‍රාත්වරයාට දැන්වීය.






සැකකරුවන් පසුගිය 20 වැනිදා රාත්‍රි 9.45 ට පමණ කෝට්‌ටේ රජමහා විහාරස්‌ථානයට ඇතුළුව එහි වැඩවිසූ පණ්‌ඩිත පිටිගල ජිනසිරි හා බොරලැස්‌ගමුවේ ගුණරතන යන හිමිවරුන් දෙදෙනාව තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර ඝාතනය කර පලාගොස්‌ තිබූ බව පොලීසිය අධිකරණයට දන්වා තිබිණි.

එමෙන්ම, මෙම එක්‌ සැකකරුවකු විහාරයේ ඇත්ගාල හරහා පලායනු තවත් අයකු දැක ඇතැයි ද, ඒ සමගම විහාර භූමියේ නවතා තිබූ මෝටර් රථයක්‌ ඉතා වේගයෙන් පදවාගෙන යනු තවත් අයකු දැක තිබූ බවත් පොලීසිය අධිකරණයට දන්වා තිබිණි.

මෙහිදී පළවැනි සැකකරු වන මහරගම පදිංචි තරුණයා වෙනුවෙන් නීතිඥ සුමිත් සිල්වා මහතා පෙනී සිටියේය.

නුගේගොඩ කොට්‌ඨාස භාර සහකාර පොලිස්‌ අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ අධීක්‌ෂණය යටතේ මිරිහාන මූලස්‌ථාන පොලිසියේ ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සෙනරත් එගොඩවෙල, අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක ටී. ඡේ. බී. හේරත් යන මහත්වරු මෙහිදී පරීක්‌ෂණ මෙහෙයවූහ.

මේ අතර මෙම සිද්ධියේ එක්‌ සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුමිත් සිල්වා මහතා ඊයේ (23 වැනිදා) සවස 3.30 ට පමණ නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් පිටතට පැමිණීමත් සමග කෝපයට පත් පිරිසක්‌ වටවී පහරදෙනු  දක්‌නට ලැබිණි.


 බුලත් කෙළ වැනි දෙයක් නීතිඥයාගේ ඇඟට විසි කළහ.  නීතිඥයා අධිකරණය ඇතුළට දිවූ අතර පොලිසිය පැමිණ ගේට්ටුව වසා දැමීය. ඔහුට පහර දුන් පිරිස අතර භික්ෂූන් ද තවත් පිරිසක් ද සිටි බව කියති. පහරදුන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත.

"මිනීමරුවන් වෙනුවෙන් පෙනී ඉන්න ලැඡ්ජා නැද්ද?" පවසමින් ඔවුහු පහර පිට පහර දෙන්නට වූහ."අපේ හාමුදුරුවන්ව මරා ගත්තට දඬුවම් දෙනවා" යෑයි පහරදුන් තවත් අයකු පවසන්නට වූහ.පහර කෑමට ලක්‌වූ නීතිඥවරයා මේ ගැන මිරිහාන පොලීසියට පැමිණිලි කළ අතර, පහර දුන් අය සිය ජංගම දුරකතනයද පැහැරගෙන ගිය බවද ඔහු පොලීසියට පැමිණිලි කර සිටියේය.

ඉන් අනතුරුව පහර කෑමට ලක්‌වූ නීතිඥවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට පිටත්කර හැරි බව පොලීසිය දන්වා සිටියේය.

සැකකරුවන් පැමිණීමට පෙර නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරත වූ අය අත "භික්‌ෂු ඝාතකයන්ට දැඩි දඬුවම් පමුණුවනු", "භික්‌ෂු ඝාතකයන්ට මරණ දඬුවම දෙනු", "නීතිඥවරුනි, මිනීමරුවන්ගේ කළු සල්ලිවලට යට නොවනු", "නීතිඥවරුනි, භික්‌ෂු සැකකරුවන් වෙනුවෙන් පෙනී නොසිටිනු" වැනි වැකි සහිත පුවරු තිබෙනු දක්‌නට ලැබිණි. 


ඔවුහු ඊයේ උදැසන සිට සවස්‌ යාමය දක්‌වාම සැකකරුවන්ට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වූහ. සැකකරුවන් උසාවියට රැගෙන ආ අවස්‌ථාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ උද්ගත විය.
 
Related Posts with Thumbnails