Ads 468x60px

.

සූර්ය කුණාටුවෙන් ලංකාවට බලපෑමක් නෑ

සූර්යයා මතුපිට ඇති කැළැඹීමක් හෙවත් සූර්ය කුණාටුවක්, ඊයේ (08) සිට ඉදිරි දින කිහිපයේදී පෘථිවිය දෙසට ඇදී එන බව විදෙස් වාර්තාවල දැක්වේ.මෙම තත්ත්වය හේතුවෙන් පෘථිවි භූ චුම්භකත්වයේ මෙන්ම අයනගෝලයේද කැළඹීම් ඇති කරනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයීය තාරකා විද්‍යා උපදේශක මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.


සූර්ය කුණාටුව හේතුවෙන් ඇති වූ යෝධ හිරු ලපයක් මත හටගත් සූර්ය ළෙල සිළුවක් නිසා පිටතට විසි වූ ආරෝපිත අංශු කදම්භය ඊයේ (08) සිට වේගයෙන් පෘථිවිය දෙසට එන බවත්, ඔහු කීය.

චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු සන්නිවේදන ඇණහිටීම්, කෙටි තරංග ගුවන්විදුලි ශ‍්‍රවණයට බාධාවීම් හා විදුලි සැපයුම් පද්ධතිවල කේබල් පුපුරායාම් වැනි අතුරු පල ඇතිවිය හැකි බවටද ඔහු අනතුරු ඇඟවීය.
කෙසේවුවද මින් ශී‍්‍ර ලංකාවට බලපෑමක් ඇතිවීමේ අවදානම අඩුබවද ඔහු සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාව නිරක්ෂය ආසන්නයේ පිහිටා ඇති නිසා ධ‍්‍රැව ආසන්න රටවලට මින් එතරම් බලපෑමක් ඇතිනොවන බවත්, එබැවින් ඉන් කලබල නොවිය යුතු බවත්, මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.
සූර්යයාගේ චුම්භක ක්ෂේත‍්‍රය තුළ ඇතිවෙන්නා වූ කැළඹිලි සහගත තත්ත්වයන් හේතුවෙන් මෙලෙස වරින් වර සූර්ය කුණාටු හටගන්නා බවද ඔහු හෙළි කළේය.

මෙවර හටගෙන ඇති සූර්ය කුණාටුව තවත් දින 5කින් පමණ අවසන් වනු ඇති බවත්, ජයරත්න මහතා කීය.පසුගිය වසරේ (2011) මෙවැනි තත්ත්වයක් ඇති වූ අතර යළි ක‍්‍රියාකාරීත්වයෙන් ඉතා ඉහළ සූර්ය කුණාටුවක් 2013 දී ඇතිවීමට නියමිත බවද ඔහු පැවසීය.

එවැනි අධි ක‍්‍රියාකාරීත්වයකින් යුතු සූර්ය කුණාටුවක් ඇති වන්නේ වසර 11කට වතාවක් බව ද චන්දන ජයරත්න මහතා කීය.වසර 1989 දී මෙලෙස ඇති වූ සූර්ය කුණාටුවක් හේතුවෙන් කැනඩාවේ කියුබෙක් ප‍්‍රාන්තයේ මිලියන හයක පමණ ජනතාවට විදුලිබල සැපයුම අඩාල වී ගිය බවද ඔහු හෙළි කළේය.
 
Related Posts with Thumbnails