Ads 468x60px

.

කහවත්ත ද්විත්ව ඝාතනයේ සුළමුල කුඩු කේස් එකක්

කහවත්ත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් මේ වන විට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සැකකාර ඝාතකයා කහවත්ත කොටකෙතන ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් හා ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන එල්. එම්. ධර්මසිරිගේ සොහොයුරෙකුද වෙයි. 


ඝාතකයා ලොකුගම්හේවගේ දර්ශන නොහොත් රාජුය. ප්‍රධාන සැකකරුට අමතරව ඔහුගේ බිරිඳ හා ත්‍රීවීල් රියැදුරෙකු වන සනත් නන්දන නැමැත්තාද මේ වන විට රහස් පොලිසිය භාරයේ පසුවෙයි. ත්‍රීවීල් රියැදුරා ඝාතනයට ලක් වූ කාවින්ද්‍යාගේ සිරුර හමු වූ ඕපාත වත්ත අසල පදිංචිකරුවකු බව පැවසේ.



ප්‍රධාන සැකකරු මීට පෙරද අපරාධ රැසක් කර ඇති බව රහස් පොලිස් ආරන්චි මාර්ග පවසයි. ඔහු පවත්වාගෙන ගිය සමාජ ශාලාවක සේවකයෙක් මීට පෙර වතුර වළකට වැටී මිය ගිය සිද්ධියක් පොලිසියට වාර්තා වී ඇති අතර එය සැකකාර ඝාතකයා විසින් කරන්නට ඇතැයි රහස් පොලිසිය පවසයි.

මෙම ද්විත්ව ඝාතනය කිරිමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මත්කුඩු ජාවාරමය. රාජු නැමැත්තා ඔහුගේ ප්‍රාදේශීය දේශපාලඥයාගේ පුතා සමඟ මත්කුඩු ජාවාරම කලක් තිස්සේ කරගෙන ගොස් ඇත. 


දේශපාලඥයාගේ පුත්‍රයා දේශපාලන පත්වීමක් මත බන්ධනාගාරයේ සුබසාධක නිලධාරියෙකු ලෙස සේවය කොට පසුව ඔහුද බන්ධනාගාරයට මත් කුඩු ඛෙදා හැරීමේ චෝදනාව මත මේ වන විට බන්ධනාගාර ගත කොට තිබේ.


කාලයක් තිස්සේ රාජු නැමැත්තා සෑම උදෑසනකම රත්නපුරය දක්වා පාසල් යන කාවින්ද්‍යා අතේ එක්තරා පුද්ගලයෙකුට කෑම පාර්සලයක් යවා තිබේ. ඇය මේ කෑම පාර්සලය ගෙන යෑම පිළිබඳ තතු ඇග මවට දැන සිට නැත. 



කාවින්ද්‍යා විසින් ගෙන යන කෑම පාර්සලය රාජුගේ හිතවතා රත්නපුරයේ සිට ඇයගෙන ලබාගෙන තිබේ. කෙසේ වෙතත් ජනවාරී මාසයේ මැද භාගයේ දිනක රාජුගේ කෑම පාර්සලයත් ගෙන පාසල් යන්නට ගිය කාවින්ද්‍යා හදිසි උවමනාවක් මත එදින පාසල් නොගොස් ආපසු නිවසට පැමිණ ඇත. 


ඇගේ මව පොත් බෑගයේ තිබූ ආගන්තුක පාර්සලයා දැක ඒ පිළිබඳව ඇගෙන් විමසීමක් කර තිඛෙන අතර එය රාජු මාමා මිතුරෙකුට දෙන ලෙස දුන් පාර්සලයක් බව දියණිය මවට කියා ඇත.


 
පාර්සලය ගැන සැක කළ නිල්මිණි එය විවෘත කර බලද්දී එහි තිබී ඇත්තේ මත්කුඩු පැකට් ගණනාවකි. රාජු මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට ප්‍රදේශය පුරා පැතිර තිබූ ආරන්චි දැන සිටි නිල්මිණි සිය දියණිය මගින් රත්නපුරයට යවන ලද්දේ මත්කුඩු පාර්සලයක් බව එහිදී දැන ගත්තාය. 


ඇගේ ඉවසීමේ රතු ඉර පැන්නේ එතැනදීය. ඒ මත්කුඩු ප්‍රවාහනය කිරීමේ වරදට සිය දියණිය යම් අවස්ථාවක නීතියේ රැහැනට කොටුවේ යැයි වූ බිය නිසාය. ඉහවහා ගිය කේන්තියෙන් යුතුව ඇය රාජුගේ නිවසට ගොඩ වැදුණේ බැණ අඬගසමිනි.



උඹලගේ කුඩු විකුණන්න මගේ අහින්සක දරුවාව පාවිච්චි කරලා මගේ දරුවා අමාරුවේ දමන්න එපා යැයි කියමින් ඇය රාජුගේ නිවසේ එළිපත්තේ සිට මහ හඬින් බැණ වැදුනාය. මේ පවුල් දෙක අතර තිබූ ඇයි හොඳයිය නිමා වූයේ එතැන් පටන්ය. 


ඒ දක්වාම රාජුගේ බිරිඳ නිල්මිණිගේ කිට්ටුවන්ත මිතුරියක වූයේ අසල්වැසි හිතවත්කම් හේතුකොටගෙනය.මේ සිද්ධියත් කාවින්ද්‍යාලාගේ ඝාතනත් සිදු වූ අතරතුරදී රාජුගේ සහෝදරයා වූ ප්‍රාදේශීය දේශපාලඥයාගේ පුතා වන බන්ධනාගාර සුබ සාධක නිලධාරියා මත් කුඩු ඛෙදා හැරීමේ චෝදනාව මත බන්ධනාගාර ගත විය. 


ඔහු කොටු කරගන්නට ඔත්තුව දුන්නේ නයනා නිල්මිණිවිය හැකි බව රාජුලාගේ පවුලේ ඒකමතික තීරණය විය. පවුල් දෙක අතර වූ විරසකය මාරාන්තික වෛරයක් බවට පෙරළුණේ එතැනදීය.



 
නයනා නිල්මිණි ඝාතනය කිරීමට අවසන් තීන්දුවකට එළඹි පසු මේ සඳහා මිතුරකු වන ත්‍රීරෝද රථයක් හිමි සනත් නන්දනත් රාජුගේ බිරිඳත් සහභාගී වී ඇත. ඝාතනය සිදු වූදා රාත්‍රී 8.15ට පමණ නිල්මිණිගේ ගෙදරට ගොස් දොර අරින්නැයි කියමින් දොරට තට්ටු කර ඇත්තේ රාජුගේ බිරිඳය. නිල්මිණි දොර අරිනවාත් සමඟම මන්නා පිහියක්ද රැගෙන ගේ තුළට කඩා වදින රාජු හා සනත් මුලින්ම කළේ දොරට අඟුලු දමීමය.

ඔවුන් සමඟ රාජුගේ බිරිඳද ගෙතුළට වැදුණාය. නිල්මිණිගේ වම් ඇසට ඉහළින් එල්ල කළ පළමු මන්නා පහරින් ඇය මාරාන්තික තුවාල ලබා බිම ඇද වැටුණේ මරණය සිය උරුමය කර ගනිමිනි. මෙහිදී විසිරුණු ලේ රාජුගේ පමණක් නොව ඔහුගේ බිරිඳගේ ඇඳුම්වලද තැවරිණ.


කිසියම් දෙයක් බිම ඇද වැටෙන ශබ්දයට සාලයට පැමිණි කාවින්ද්‍යා ලේ ගලන තුවාල සහිතව බිම ඇද වැටී සිටින අම්මා සහ ලේ තැවරුණු මන්නා පිහියක් ඇතැතිව සිරි රාජු, සනත් නන්දන මෙන්ම රාජුගේ බිරිඳද දුටුවාය.


සිදු වූයේ කුමක්දැයි සැණෙකින් අවබෝධ කරගත් ඇය මරහඳ තැලුවේ බුදු අම්මෝ ඇයි මාමේ මෙහෙම කළේ යැයි කියමිනි. එවිටම ඇයටද හිසටත් වම් අතේ ඉහළ ප්‍රදේශයටත් මන්නා පහර දෙකක් එල්ල වූයේ ඇයවද සඳහටම නිහඬ කරවමිනි.


නිල්මිණිගේ දේහය නිවසේ තිබියදීම රාජු හා සනත් කාවින්ද්‍යාද ඔසවාගෙන සනත්ගේ නිල් පැහැති ත්‍රී රෝද රථයට ගෙනැවිත් එහි පිටුපස අසුනේ තැබූහ. මේ අතර රාජුගේ බිරිඳ අශෝකා සිය නිවසට ගියාය. 


රාජු සහ සනත් නන්දන කාවින්ද්‍යාගේ මළ සිරුරද රැගෙන නිවසේ සිට කිලෝමීටර හතරකට අධික දුරක් ගොස් දිය කඩිත්තකින් අගේ සිරුර සෝදා එළන ලද රෙද්දක් මත ඇගේ සිරුර තබා ඇත්තේ ඇඒ දෙ අත් මත හිස පිහිටන ආකාරයක් පෙන්වන්නටය.


එයි ඔවුන් අදහස් කර ඇත්තේ දූෂණයකින් පසු සිදු වූ මරණයක් බවට එය ඇඟවෙන ආකාරයක් පෙන්වීමටය. මෙහිදී ඇගේ කරාබු ජෝඩුවද ඉවත් කර ඇති අතර මෙමගින් අදහස් කර ඇත්තේ දූෂණයෙන් අනතුරුව කොල්ලකෑමක්ද සිදු වී ඇති බව පෙන්වමින් පරීක්ෂණ කටයුතු නොමග යවන්නටය.


සියල්ල නිවවීමෙන් අනතුරුව නිවසට පැමිණ ඇති රාජු සැටියේ වාඩි වී වතුර වීදුරුවක් බී තිබේ. ඔහු නැගිටින විට බිත්තියේ මෙන්ම සැටියේද ලේ ගෑවී තිබේ. මේ විස්තරය රාජුගේ දියණිය රහස් පොලිසිය හමුවේ පවසා තිබේ.



"එදා 31 වැනිදා රෑ තාත්තා හතිදාගෙන එකපාරට ගෙදරට දුවගෙන ආවා. ඇවිත් සැටියේ ඇලවුණා. අම්මාගෙන් වතුර වීදුරුවක් ඉල්ලගෙන බිව්වා. ඊට ටිකකට පස්සේ තමයි තාත්තා සැටියෙන් නැගිට්ටේ. එතකොට සැටියෙත් බිත්තියෙත් ලේ ගෑවිලා තිබුණා. මේ ලේ පැල්ලම වහන්න බිත්තියේ අලුතින් තීන්ත ගෑවා".

රාජු පිළිබඳව සැක කළ පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරන විට පවසා ඇත්තේ පහනක් පෙරළීමෙන් ගින්නත් ඇවිළුණු බවත් ඒ පැල්ලම මැකීමට බිත්තියේ හුණු ගෑ බවත්ය. ඝාතනයෙන් පසු ඔහුගේ හා බිරිඳගේ ලේ තැවරුණු ඇඳුම් පොට්ටනියක් සේ ඔතා ඔවුන්ගේ නිවස පිටුපස ඇළක සඟවා තිබේ.

ඝාතකයින් අත්අඩංගුව ගැනීමත් සමඟම ඊයේ රාත්‍රියේ මේ ඇළේ පාව්වෙමින් තිබූ ඇඳුම් පොට්ටනිය සොයාගෙන තිබේ.


මේ ඝාතකයි අත්අඩංගුව පත් වූ පුවත සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් රතිඤ්ඤා පත්තු කරමින් සිය සතුට ප්‍රකාශ කළ අතර සැකකරුවන්ගේ නිවෙස්වලට ගිනි තබා ඇත. මේ වන විට ඝාතකයින් හා ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස්වලට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ. 








ජායාරූප හා විස්තර : රිවිර පුවත්පතෙනි
 
Related Posts with Thumbnails