Ads 468x60px

.

85% ම මම ප්‍රතික්ෂේප කළා - උමාලි

මම චරිත තෝරාබේරාගැනීමක් සිදුකළා. 
ඉදිරියටත් එහෙම කරයි....
මම ගීත 04 ක් පටිගත කළා...

පුංචි තිරයේ රංගන ශිල්පිණියක ලෙස ප්‍රේක්ෂකයින් අතර වැඩි ජනප්‍රියත්වයක් හිමිකරගත් ඇය "රෝස වසන්තේ", "මදර් තෙරේසා කල්කටා", "ආසයි මං පියාඹන්න" හා "නිනෝ ලයිව්" වැනි චිත්‍රපට ඔස්සේ රිදී තිරයට පිවිසීමට ද අවස්ථාව හිමිකරගත්තාය. 

මේ දිනවල සිය අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් ඇය ජපානයේ රැඳීසිටියි.ඇය උමාලි තිලකරත්න. . .




*ජපාන චිත්‍රපටයක් සඳහා ඔබ ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන බව දැනගන්න ලැබුණා. ඒ ගැන කතාකළොත්?


මට අවස්ථාව ලැබුණා පසුගිය වර්ෂයේ ජපානයේ නිෂ්පාදනය වූ ප්‍රධාන පෙළේ චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපණය කරන්න. එහි නම "final judgement". විදේශ රංගන ශිල්පිණියක් ලෙස මේ සඳහා රංගන දායකත්වය ලබාදෙන්නේ මම විතරයි. 

දේශපාලනය, ආගම දහම පිළිබඳව චිත්‍රපටයට පසුබිම් වෙනවා. අවසන් පණිවිඩය වෙන්නේ "වෛරයෙන් වෛරය නොසන්සි‍ඳේ" යන්නයි. කෙටියෙන් කියනවා නම් ඒවා තමයි තොරතුරු.



*ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


අපි ජපානයට ආවම මුලින්ම මෙහේ ලියාපදිංචි වෙන්න ඕනේ. පසුව ඒ ඒ කාර්යාල හරහා අපිට ලැබෙනවා ප්‍රායෝගික පරීක්ෂණ. ඒ පරීක්ෂණවලට සහභාගිවෙලා, ඒවට මුහුණදුන්නම තමයි අවස්ථාව ලැබෙන්නේ.  මටත් ඒ විදිහට තමයි අයි. එම්. ඕ කියන ආයතනයෙන් අවස්ථාව ලැබුණේ. ඒ හරහා මට යන්න සිද්ධවුණා ප්‍රායෝගික පරීක්ෂණ කිහිපයකටම.



*ඇත්තටම ඔබ ජපානයට පැමිණියේ ඇයි?


ඉගෙනගන්න. කලාව සම්බන්ධව තමයි ඉගෙනගන්නේ. රංගනය ආශ්‍රිතව හැදෑරීමක් කරනවා. මගේ පළමු උපාධිය විදිහට.



*රංගන පිළිබඳව හැදෑරීම සඳහා ජපානයේ මොනවගේ ඉඩක්ද තිබෙන්නේ?


මම සරසවි අධ්‍යාපනයක් ලබන්නේ. ඒ හැරුණම තාක්ෂණික විද්‍යාල තිබෙනවා රංගන පිළිබඳව හදාරන්න. නමුත් ජපානයේ මම අධ්‍යාපනය ලබන නිහුන් විශ්ව විද්‍යාලයේ පමණයි වසර 04 ක මෙම උපාධි පාඨමාලාව තිබෙන්නේ.     


*ඒ අවස්ථාවත් සමග ද ඔබව ජපාන චිත්‍රපටය සඳහා තෝරාගැනීම සිදුවන්නේ?


නැහැ, එහෙමම නෙමෙයි. ශ්‍රී ලංකාවට පැමිණි මා හඳුනන ජපන් ජාතික මහත්මයෙක් එහිදී රූපවාහිනිය හරහා මගේ දස්කම් දැකලා, මම යම්කිසි දවසක ජපානයට එනවා නම් ඔහුව අමතන ලෙස පැවසුවා. 

ඔහුගේ හැඳුනුම්කමක් තියෙනවා අයි.එම්.ඕ ආයතනයේ ප්‍රධානත්වය දරන මහත්මිය සමග. ඔහු විසින් ඇයට මාව හඳුන්වා දුන්නා. ඒ හරහායි මම එම ආයතනය සමග සම්බන්ධවෙන්නේ.



*චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ විදේශීය චිත්‍රපටයක් විදිහටද එහෙමත් නැත්නම් ජපාන චිත්‍රපටයක් විදිහටද?


මෙය සම නිෂ්පාදනයක් නොවේ. සම්පූර්ණ බර උසුලන්නේ ජපන් ජාතිකයින්. නිකත්සු සමාගමයි එහි නිෂ්පාදන කටයුතු කළේ. තෝකියෝ චිත්‍රාගාරයේ දී එහි රූගත කිරීම් කළා. 

කිහිපවතාවක්ම රූගත කිරීම් සඳහා ෆුකුෂිමා ප්‍රදේශයට ගියා. ඒ වගේම ජපානයේ විවිධ ප්‍රදේශවල රූගත කිරීම් සිදුකෙරුණා. මාස 2 ½ ට වැඩි කාලයක් රූගත කිරීම් වෙනුවෙන් වැයකළා.



*ශ්‍රී ලංකාවේ මාධ්‍යය හා ජපානයේ මාධ්‍යය අතර වෙනස ඔබට දැනෙන්නේ කොහොමද?


ජපාන ජාතිකයින් හරිම පිළිවෙළට වැඩකරනවා. ඒ වගේම වෙලාවට වැඩකරනවා. වැඩ ක්‍රමානුකූලයි. ඔවුන් ගොඩක් අවධානය යොමුකරනවා රංගන ශිල්පීන් හා ශිල්පිණියන්ට. ඒ වගේම ගරු කරනවා. ඒ ගරුත්වය හැමෝම අතරේ තියෙනවා. 

මට සඳුදා 9 ට ජපානයේ විකාශය වන, වැඩිම පිරිසක් නරඹන ටෙලි නාට්‍යයේ දර්ශන කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී මම දුටු දෙයක් තමයි එකම දර්ශනය කැමරා 05 න් ඔවුන් රූගත කළා. නිෂ්පාදකවරුන්ගෙනුත් විශාල සහයක් ලැබෙනවා. 

ඒ වෙනස තමයි මම දකින්නේ. ඒ හැරුණම ඉතින් ලංකාවේ අය අමතක කරන්න හොඳ නෑ. ලංකාවේ දී මට සම්බන්ධවෙන්න ලැබුණු හැම නිර්මාණයක්ම හුඟක් හොඳ තත්ත්වයක තිබුණා. නිර්මාණශීලීත්වය අතින් ඉහළ පිරිසක් ලංකාවේ ඉන්නවා. 

නමුත් වෙලාව, පිළිවෙළ, ක්‍රමානුකූලබව කියන දේ තව ටිකක් අපිට ඇතුළත් කරගන්න පුළුවන් නම් සහ දර්ශන තලයේ දී එකිනෙකාට ගරු කරන තත්ත්වයක් ගොඩනගාගැනීම වැදගත් කියලා මම හිතනවා.



*ශ්‍රී ලංකාවේ දී ඔබ සම්බන්ධ වුණේ අඩු නිර්මාණ ප්‍රමාණයකට නේද?

 මම එහෙම වැඩි වශයෙන් රඟපාන්න ඕනේ කියන තැන ඉන්න කෙනෙක් නෙමෙයි. නමුත් මට ලැබුණු ගොඩක් අවස්ථාවන්ගෙන් 15% ක් මම භාරගන්න ඇති. ඉතුරු 85% ම මම ප්‍රතික්ෂේප කළා. ඊට හේතුවුණේ මම කැමතියි මම කරන නිර්මාණ හරහා මගේ රංගන පරාසයන් අදට වඩා හෙට හඳුනාගන්න. 

ඉතින් මම චරිත තෝරාබේරාගැනීමක් සිදුකළා. ඉදිරියටත් එහෙම කරයි. මට ඕනේ මගේ දක්ෂතාවයෙන් උපරිමය කරලා ඒ තුළින් සමාජයට යම්කිසි යහපත් පණිවිඩයක් දෙන නිර්මාණයවලට දායකවෙලා මගේ දක්ෂකමින් මට වගේම, මං ජීවත්වෙන රටටත් සමාජයටත් ප්‍රයෝජනයක් වෙන විදිහට හැකියාවන් යෙදවීමයි.   



*ඉදිරියේ දී ගීත ගායනයට සම්බන්ධවෙන්නත් ඔබේ කැමැත්තක් තියෙනවාද?


ගීත ගායනයට තමයි මගේ මුල් කැමැත්ත තියෙන්නේ. නන්දා මාලිනී ගුරු මහත්මිය යටතේ උත්තර භාරතීය සංගීතය පිළිබඳව මම හැදෑරීමක් කළා. මම මුලින්ම ජපානයට ආවේ 2004 දී. එතකොට මට වයස අවුරුදු 18 යි. ඒ එන්න කලින් මම ගීත 04 ක් පටිගත කළා. 

රූප රචනා 02 ක් කළා. මම ජපානයේ ඉඳිද්දි ඒ ගීත ලාංකවේ ප්‍රචාරය වුණා. ජපානයේ ඉඳලා ලංකාවට ගියාට පස්සේ ප්‍රේමසිරි කේමදාස මාස්ටර් ළඟ සංගීතය හදාරන්න මට අවස්ථාව ලැබුණා. මාස්ට‍ර් අපෙන් සමුගන්නා තුරු ඔහුගේ අග්නි ඔපෙරාවට සම්බන්ධව වැඩ කරන්නත් මට පුළුවන් වුණා.



*ඔබේ රංගන දායකත්වය ලැබුණු ජපාන චිත්‍රපටය ශ්‍රී ලංකාවේ දී දැකගන්න අවස්ථාව ලැබෙයිද?


ශ්‍රී ලංකාවේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු යොදමින් තිබෙනවා. ඒ ගැන මට දැන්ම කියන්න බෑ. නමුත් ජූනි මස 02 වන දින සිට ජපානයේ සෑම ප්‍රදේශයකම ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි. 

අපි මේ සිටින තෝකියෝ ඇතුළු කන්තො ප්‍රාන්තයේ පමණක් සිනමා ශාලා 64 ක ප්‍රදර්ශනය කෙරෙනවා. ඇත්තටම එය මට ලැබුණු ලොකු අවස්ථාවක් මගේ රට නියෝජනය කරන්න. එහි කතා නායිකාව ලෙස චරිත නිරූපණයට ලැබුණු අවස්ථාව ගැන මම නිහතමානීව සතුටුවෙනවා.



*ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබෙන ඔබේ නිර්මාණ මොනවාද?


ජපානයට එන්න කලින් මම සම්බන්ධ වුණා "මහ පොළව අපේ නෙමෙයි" කියලා ටෙලි නාට්‍යයකට. එය අධ්‍යක්ෂණය කළේ ජයලත් මනෝරත්න මහතා. එය මේ දිනවල විකාශය වෙනවා. ඒ ඇරුණම "නිනෝ ලයිව්" චිත්‍රපටයේ මම මෙතෙක් නොකරපු විදිහේ තරමක් පෙරළිකාර චරිතයක් නිරූපණය කළා. 

එය ඉදිරියේ දී තිරගතවීමට නියමිතයි. ඒ චිත්‍රපටය වෙනුවෙන් මම ගීතයක් ගායනා කළා. ඒ මම චිත්‍රපටයක් වෙනුවෙන් ගීත ගායනා කළ පළමු අවස්ථාව. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් පසුගිය මාර්තු 08 වන දින දියත් කළා ස්ත්‍රී දූෂණයට එරෙහිව ව්‍යාපෘතියක්. මට එහි තානාපති ධුරයක් ලැබුණා. 

ඒ යටතේ මට විශාල කාර්යයක් පැවරිලා තියෙනවා. ඒ කටයුතු සඳහා සම්බන්ධවෙන්න එළඹෙන මැයි මාසයේ මම ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා.



*මේ දක්වා පැමිණීමට ඔබට සහය දුන්, ඔබ ස්තූතිය පළකරන්න කැමති කවුරු හෝ සිටිනවාද?

ස්තූති කරන්න නම් ගොඩක් පිරිස ඉන්නවා. පළමුවෙන් මම මතක් කරන්න කැමතියි මගේ අම්මා, තාත්තා සහ මගේ ආච්චි , සීයා. ඒ අය තමයි හැමවෙලේම මගේ පස්සෙන් ඉඳන් මාව දිරිමත් කරන්නේ. ඒ වගේම මගේ එකම සහෝදරයා. 

කුඩා කාලයේ සිට මට ගුරුහරුකම් ලබාදුන්න සියලුම ගුරුවර ගුරුවරියන්. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් අය ඉන්න නිසා පොදුවේ කියන්නම්. පළමුවෙන්ම මාව කැමරාවක් ඉදිරියට ගෙන්න තෝරාගත්තේ උදයකාන්ත වර්ණසූරිය මහතා. "රෝස වසන්තේ" චිත්‍රපටයට. 

ඔහු ඇතුළුව අද දක්වා මාව සම්බන්ධ කරගත් සියලුම අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට. ඒ වගේම සියලුම මාධ්‍යවල මාධ්‍යවේදීන්ට. මගේ යහළුවන්ටත්, මගේ රසික රසිකාවියන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.
 
Related Posts with Thumbnails