Ads 468x60px

.

ඛනිජ තෙල් සංස්‌ථාවේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ නිල කාමරයට අසූචි ප්‍රහාරයක්‌

ලිපිගොනු හා කාර්යාල උපකරණවලටත් අසූචි විසිවෙලා...

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) සහ විගණන කළමනාකරු වන සරත් පෙරේරා මහතාගේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලයේ නිල කාමරයට ඊයේ (15 වැනිදා) තෙල් සංස්‌ථා සේවක පිරිසක්‌ විසින් අසූචි ප්‍රහාරයක්‌ එල්ල කර තිබේ. 


ඉන් පසුව ආයතනයේ වායුසමන යන්ත්‍රවලට දුඟඳ මුසුවීම නිසා දහවල් සිට එහි සේවකයෝ රාජකාරිවලින් ඉවත් වූහ. අසූචි ප්‍රහාරය පිළිබඳ තෙල් සංස්‌ථා ප්‍රධාන කාර්යාලයේ ආරක්‍ෂක අංශ පොලිසියට පැමිණිලි කළ පසුව පොලිසියද දෙමටගොඩ පිහිටි තෙල් සංස්‌ථා ප්‍රධාන කාර්යාලයට පැමිණ තිබේ.

අසූචි ප්‍රහාරය එල්ල වන විට සරත් පෙරේරා මහතා නිල කාමරයේ නොසිටි අතර ලිපිගොනු හා කාර්යාල උපකරණවලට අසූචි වැදී තිබුණු බව එහි ප්‍රකාශකයෙක්‌ පැවසීය.

වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) හා විගණන කළමනාකරු ගේ මෙම නිල කාමරයේ යතුරු හතරක්‌ ඇති අතර රාජකාරි අවසන් කර කාමරය වසා දමන විට එක යතුරක්‌ පමණක්‌ ආරක්‍ෂක අංශ වෙත බාරදෙන බවද එම ප්‍රකාශකයා කීවේය.

මෙම අසූචි ප්‍රහාරය එල්ල කළේ කවුරුන් විසින්ද යන්න හෙළිවී නැති අතර මුදල් ගනුදෙනුවලදී අදාළ නිලධාරියා ගන්නා තීරණවලට එරෙහි විශාල පිරිසක්‌ ආයතනයේ සිටින බවද සේවකයෝ අප කළ විමසීමේදී පැවසූහ.
 
Related Posts with Thumbnails