Ads 468x60px

.

බ්‍රහස්‌පති මාරුව ඔබට හා රටට බලපාන හැටි

මැණික්‌ කර්මාන්තයට විශේෂ සුබපල...
පුෂ්පරාග මැණික්‌ වැඩියෙන් ලැබෙන කාලයක්‌...

බ්‍රහස්‌පති හෙවත් ගුරු ග්‍රහයා 2012 මැයි 17 දා උදේ. 9.35 ට මෙතෙක්‌ ගමන් කළ මේෂ රාශියෙන් මිදී වෘෂභ රාශියට මාරුවන්නේය. ලබන 2013 මැයි මස 31 උදේ 6.49 දක්‌වා බ්‍රහස්‌පති වෘෂභ රාශියේ ගමන් කරනු ඇත. 


ග්‍රහ මණ්‌ඩලයේ මන්ත්‍රී, සුරගුරු, දේවගුරු ආදී නම්වලින් හඳුන්වන බ්‍රහස්‌පති මාරුව ඔබේ ලග්නයටත්, පොදුවේ අප රටටත් බලපාන ආකාරය ගැන විමසීමට මෙම ලිපිය යොදා ගනිමු. 

ගම්බාර දෙවියන්ගේ බලය වැඩි වේ
ප්‍රධාන විරුද්ධ පක්‍ෂයේ සමගියක්‌
පුෂ්පරාග මැණික්‌ වැඩියෙන් ලැබේ
ගොවියන්ට සහ කම්කරුවන්ට අපලයි

බ්‍රහස්‌පති ග්‍රහයාට රාශි චක්‍රය වටේ ගමන් කිරීමට වසර 12 පමණ ගත වේ. එක රාශියක වසරක්‌ පමණ ගමන් කරයි. මෙම ග්‍රහයා මීට පෙර

වසර 2000 ජුනි 5 සිට 2001 ජුනි 16
1988 ජුනි 1 සිට 1989 ජුලි 2
1976 ජුලි 8 සිට 1977 ජුලි 18
1964 අගෝ. 3 සිට 1965 අගෝ. 6

යන වසරක පමණ කාල සීමා ඇතුළත වෘෂභයේ ගමන් කර ඇත.

ශ්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයට අයත් කේන්ද්‍රයේ හතරවන භාවයට ද ජනරජ කේන්ද්‍රයේ 10 වැනි භාවයට හා විශ්ව කේන්ද්‍රයේ දෙවන භාවයට ද වෘෂභ රාශිය ඇතුළත් වේ. සැපයට ධනයට හා ප්‍රඥාවට අධිපති ගුරු මාරුව අප රටට හා ජනතාවට සුවිශේෂී බලපෑමක්‌ ඇති කරන බව පෙනේ.

ගුරු මාරුව පිළිබඳව සලකා බලන විට මැයි මස 16 දා සිදුවන ශනි මාරුව ද අමතක කළ නොහැකිය. ශනි  පසුගිය වසරේ මාරු වුවද, නැවත 'වක්‍ර' ගමනින් ආපසු පැමිණ කන්‍යා රාශියට ඇතුළු වී අගෝස්‌තු 4 දක්‌වා එම රාශියේම හැසිරේ.

එසේ නමුදු ගුරු මෙතෙක්‌ කල් ගමන් කළේ ශ්‍රී ලංකා කේන්ද්‍රයේ තුන්වැන්නේ හා මේෂ රාශියේය. එය ගුරුම දුර්වල කරයි. එබැවින් හතරවැන්නට හා ශුභ රාශියකට ගුරු ගේ පැමිණීම සුබ දායක හා යහපත් ප්‍රතිඵල ගෙන දෙන බව පෙනී යයි.

උක්‌ත කරුණු අනුව අප රටේ නිවාස හා ඉදිකිරීම් අංශවල සංවර්ධනයක්‌ ඇති වේ. කෘෂි කර්මාන්තය උදෙසා ඉඩම් දියුණු කෙරේ. කෘෂි කර්මාන්තයේ නවෝදයක්‌ ඇතිවේ. වැව් අමුණු ගංගා ආදී ජලාශ වැඩිදියුණු කෙරේ. ජාතික උරුමයන් ආරක්‍ෂා කර ගැනීමට පියවර ගැනේ. 


දේශීය කිරි නිෂ්පාදන අංශවලට ද සුබදායකයි. මී කිරි නිෂ්පාදනය ප්‍රචලිත කෙරේ. කිරි දෙනුන් හා අලි ඇතුන්ගේ සුබ සාධනයට නව වැඩ පිළිවෙළක්‌ ආරම්භ කෙරේ. කුරුඳු පොතු, කරාබුනැටි, සාදික්‌කා, ගම්මිරිස්‌ ආදී කුළුබඩු වෙළෙදාමට ද සුබදායකයි. එවැනි වගාවන් ආරම්භ කිරීම ද සුබදායක අනාගතයකට හිමිකම් කියනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මැණික්‌ කර්මාන්තයට විශේෂ සුබපල අත් වේ. පුෂ්පරාග මැණික්‌ වැඩියෙන් ලැබෙන කාලයක්‌ වේ.

මෙරට බැංකු නිලධාරීන්, ග්‍රන්ථ ප්‍රකාශකයන්, ජ්‍යෙතිර්වේදීන්, විද්‍යාඥයන්, ධනවතුන්, බැංකු හිමියන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුවරුන්, කථිකාචාර්යවරුන්, මහාචාර්යවරුන්, අධ්‍යාපන විශේෂඥයන්, අධිකරණ නායකයන්, වෛද්‍යවරුන්, සාත්තු සේවකයන් හා භික්‍ෂුන් වහන්සේ ඇතුළු සිල්වත් ආගමික නායකයන්ට සුබදායක කාලයක්‌ උදා වනු ඇත.

වන්දනා ගමන් බහුල වේ. දේව භක්‌තිය ඉහළ යයි. දඹදිව චාරිකාවට වැඩි දෙනාගේ අවධානය යොමු වේ. බෝධි පූජා ව්‍යාප්ත වේ. බෝධි රෝපණය හා වෙහෙර විහාර ඉදිකිරීම් අලුතින් ආරම්භ වේ. නව අධ්‍යාපන ආයතන හා රෝහල් ඉදිකෙරේ. රත්තරන් ආභරණ ව්‍යාපාරවලට ද සුබදායකයි. සංචාරක හා හෝටල් ව්‍යාපාර ද සංවර්ධනය වේ.

හතර වැන්නෙන් රටේ විරුද්ධ පක්‍ෂය නිවේදනය කරයි. මේ අනුව හතරට ගුරු මාරුවීම නිසා මෙරට ප්‍රධාන විරුද්ධ පක්‍ෂයේ වාද භේද සමථයකට පත්ව සමගිය සාමය ඇතිවන බව ද පෙනේ.

තැඹිලි, කොස්‌, වැල, වරකා, කෙසෙල්, පැෂන් පෲට්‌, ලාවුළු, කඩල,පරිප්පු, කව්පි, පැණි, හකුරු, සීනි, බටර්, මාගරින්, බඩ ඉරිඟු, කැරට්‌ ආදී ආහාර වර්ගවල නිෂ්පාදනය ඉහළ ගොස්‌ ව්‍යාප්ත වේ. කහපාට මල් බහුල වේ. ගම්භාර දෙවියන්ගේ බලය වැඩියෙන් පෙන්නුම් කෙරෙනු ඇත.

මූල්‍ය ආයතන හිමිකරුවන් හෙවත් බැංකුකරුවන්, ජ්‍යෙdතිර්වේදීන් හා වෛද්‍යවරුන් මෙන්ම භික්‍ෂුන් වහන්සේ වශයෙන් ද පෙනී සිටින හොර මැරකම් කරන වංචනිකයන්ට ගුරු මාරුව ඉතා අශුභදායක නරක ප්‍රතිඵල දෙනු ඇත.

එමෙන්ම ගුරු දුර්වල භාවවල ගමන් කරන අය අතර බඩේ වාතය පුරවා දැමීම, දියවැඩියාව, ලේවල සීනි අධික වීම,සෙම් රෝග, කොලෙස්‌ටරෝල් වැඩිවීම, ඉදිමීම. අධිපෝෂණය, රුධිර පීඩනය වැනි බෝනොවන රෝග ඇති වීමට හේතුයි.

තවද මැයි 16 දා සිට අගෝස්‌තු 4 දා දක්‌වා ලංකා කේන්ද්‍රයේ අටවැන්නේ ශනි ගමන් කරන කාලය තුළ ගුරුගේ සුබපල අඩු කෙරෙන අතර, ඒරාෂ්ටක අපල තත්ත්වයක්‌ ද පවතිනු ඇත. මෙම මාස තුන ඇතුළත ශනි හිමි පතල් කම්කරුවන් ඇතුළු ගොවි කම්කරු ජනතාවට අපලය. තෙල් හා ගෑස්‌ ඉන්ධන ව්‍යාපාරවල ගැටලුකාරී තත්ත්වයක්‌ පැන නගී. 


කාලගුණික විපර්යාස සුළං කුණාටුවලට හේතුයි. අල වර්ගවල මිල ඉහළ යයි. අප රට පිළිබඳව ද, දොෂාරෝපණ, අපවාද, අසන්නට සිදුවනු ඇත. තරමක්‌ දුරට සතුරු කරදර බලවත් වන කාලයකි. ඉදිරි මාස තුනක කාලය මේ පිළිබඳව රජයේ අවධානය විශේෂයෙන් යොමු කරවීම වැදගත් වන්නේය.

රටේ තත්ත්වය ගැන සලකන විට නායකයන් පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් බව පෙනේ. මේ පිළිබඳව සලකා බලන විට කන්‍යා ලග්නය හිමි ජනාධිපතිතුමාගේ කේන්ද්‍රයේ භාග්‍යස්‌ථානයට ගුරුගේ පැමිණීම ඉතා සුබදායකය. නමුත් ශනි ගේ ඒරාශ්ටකයක්‌ අගෝස්‌තු දක්‌වා බලපානු ඇත.

මීන ලග්නය හිමි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්ද්‍රයේ ලග්නාධිපති ගුරු තුන්වැන්නට පැමිණීම එතරම් සුබදායක නොවේ. නමුත් අගෝස්‌තු දක්‌වා ශනි ගේ දිග්බල වීම සුබය.

උක්‌ත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අනාගතයේදී තමන්ගේ හැකියාවට අදාළ ක්‍ෂේත්‍රයන් තුළ උත්සාහයෙන් කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි වනු ඇත. උපන් ලග්නවලට අනුව ගුරු මාරුවේ සුබාසුබ පහත පරිදි වන්නේය.

මේෂ ලග්නය
ඔබේ පවුලේ දියුණුවට කටයුතු සැලසේ. පසුගිය වසරේ දරන ලද උත්සාහයේ ප්‍රතිඵල ලැබෙන කාලයයි. තැන්පත් ධනය වර්ධනය කළ හැකි වේ. පෙර පින වාසනාව උදා වේ. රැකී රක්‍ෂා අංශවල විශේෂ ප්‍රගතියක්‌ ඇති වේ. උසස්‌ අයගේ ප්‍රසාදය හිමි වේ. ධනය මෙන්ම පින් ද රැස්‌කරන කාලයකි. තමන්ගේ හොඳ නම පැතිරේ. දරු ලාභ ලැබීම හෝ දරුවන්ගේ දියුණුව ඇතිවන කාලයකි. කලක්‌ පැවැති අසනීප වලින් සුවය ලැබේ. තමන් පිළිබඳව පිළිගැනීමක්‌ මෙන්ම ගෞරවයක්‌ ද අන් අය අතර ඇති වේ. රාජ්‍ය අනුග්‍රහ ලැබේ. දේව භක්‌තිය ඉහළ යන අතර, ආගමික කටයුතුවලට විශේෂයෙන් හිත ඇදී යයි. අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍යයන්ට තිබූ බාධා ඉවත් වනු ඇත. නමුත් වියදම් පාලනය කර ගැනීම මැනවි. ඔබේ සතුරන් හා විරුද්ධවාදීන්ගෙන් ජය ලැබිය හැකිවේ. සැනසිලිදායක බවක්‌ දැනෙන වසරකි.

වෘෂභ ලග්නය
ලග්නයේ රවි හා සිකුරු ගමන් කරමින් සිටියදී ගුරුගේ පැමිණීම සිදු වේ. ස්‌ථාන හා ඉඩකඩම් දියුණු කර ගැනීම කෙරෙහි හිත ඇදී යයි. තමන්ගේ දියුණුව හා අභිවෘද්ධිය ගැන නිතර නිතර හිතන්නට පෙළඹේ. උසස්‌ මිතුරන්ගේ ආශ්‍රය ඇති වේ. අගෝස්‌තු දක්‌වා දරුවන්ට තරමක්‌ අපල නමුත් ඉන් පසුව සුබපල දායකයි. විවාහපේක්‍ෂිත පෙම් සබඳතා ස්‌ථිර කර ගැනීමට ලැබේ. දරු ලාභ පිළිබඳව තිබූ ප්‍රාර්ථනා සඵල වෙයි. ගේ දොර දියුණුව ඇතිවේ. ආදායම් මාර්ග අලුතින් ඇතිවේ. විවාහය පිළිබඳව අවහිරතා නැතහොත් අඹුසැමි භේද සමථයකට පත්වේ. ආගම දහමට හිත ඇදී යයි. ඉගෙනීමට දරන උත්සාහය සාර්ථක වේ. පියා සතු දේපළ ලැබෙන කාලයකි. දුර වන්දනා ගමනක යෙදේ. වැඩිමහල් සහෝදර සහෝදරියන් හා පවතින බැඳීම හා හිතවත් බව වැඩි වේ. සහෝදරයන්ට සුබයි.

මිථුන ලග්නය
හත්වැන්න හා දහවැන්න අධිපති ගුරු මාරුව ඔබට තරමක බාධා ඇතිකරන බව පෙනේ. බිරිඳ හෝ සැමියාට අපල ඇති කරයි. අවිවාහක අයගේ විවාහ අපේක්‍ෂාවන් ට බාධා පැමිණේ. උදව් කරන අයකු තමන්ගෙන් ඈත් වීමට හෝ විදේශගත වීමට හේතුයි. කලට වේලාවට ආහාර ගැනීමට හා නින්දට බාධා පැමිණේ. දැඩි ලෙස අවිවේකය බලපායි. රැකියාව නිසා හෝ තමන්ට අනිවාර්යයෙන් පැවරෙන කටයුත්තක්‌ නිසා අසහනකාරී බවක්‌ දැනේ. රැකියා අංශ ප්‍රධානින්ගෙන් දොස්‌ ඇසීමට සිදුවේ. අගෝස්‌තු දක්‌වා මවුපියන්ට අපල හා චිත්ත පීඩා ඇති කරයි. විදේශයට යැමට තිබූ බලාපොරොත්තුවක්‌ සාර්ථකවීමට ඉඩ ඇත. කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බොහෝ කටයුතු කල්දැමීමට සිදුවේ. රැකියා බලාපොරොත්තු වලට ද බාධා පැමිණේ. ගුරු අපලයට අදාළ ශාන්ති කර්ම කර ගන්න.

කටක ලග්නය
උසස්‌ අධ්‍යාපනය කරන ශිෂ්‍යයන්ගේ උත්සාහය සාර්ථක වේ. රැකියා ලාභ ලැබේ. ආගම දහම පිළිබඳව හිත ඇදී යයි. හොඳ උසස්‌ උගත් මිත්‍රයන්ගේ ඇසුරට පත් වේ. ප්‍රාර්ථනා ඉටු වේ. ආදායම් මාර්ග ඉහළ යයි. විවිධ ආදායම් මාර්ග ඇති වේ. ප්‍රාර්ථනා ඉටු වේ. ආදායම් මාර්ග ඉහළ යයි. විවිධ ආදායම් මාර්ග ඇති වේ. පින්කම් කරයි. සිල්වතුන් ඇසුරු කරයි. සමාජයේ කැපී පෙනෙන ප්‍රඥාවන්තයකු බවට පත් වේ. රාජ්‍ය අනුග්‍රහය ලැබේ. සහෝදරයන්ට සුබයි. විවාහය පිළිබඳව තිබූ බලාපොරොත්තු සාර්ථක වේ. බිරිඳ හෝ සැමියා ගේ උසස්‌ වීමට කරුණු යෙදේ. දරු ලාභ ලැබෙන අතර තම දරුවන්ගේ දියුණුවක්‌ දැකිය හැකි වේ. අසල්වාසීන් අතර සබඳතා අලුත් වේ. අවිවාහකයන් ගේ විවාහය සිදුකිරීමට සුදුසුම කාලයකි. හවුල් ව්‍යාපාරයකින් ජය ලැබිය හැකිය. නඩුවකින් ජය අත් වේ. විදේශ ගමන් හෝ විදේශ සමඟ කරන කටයුතුවලින් ද දියුණුවක්‌ ලැබෙන කාලයයි.

සිංහ ලග්නය
ගුරු මාරුව ඔබේ කේන්ද්‍රයේ දහවැන්නේ යෙදේ. පවුලේ දියුණුව ඇති වේ. දරු ලාභ හෝ දරුවන්ගේ අභිවෘද්ධිය ඇතිවන කාලයකි. සිංහ හිමි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට තිබූ කරදර ඉවත් වේ. උසස්‌ අධ්‍යාපනය ද සාර්ථක වේ. ව්‍යාපාරිකයන්ට මුදල් ආයෝජනයෙන් ලාභ ලැබේ. අවිවාහකයන් ගේ පෙම් සබඳතා ස්‌ථිර වීමට කටයුතු සැලසේ. මේ අතර අගෝස්‌තු දක්‌වා තැන්පත් ධනය වැය වීමට කරුණු යෙදේ. පවුලේ අසමගිය හා කරදර ඇති කරයි. අගෝස්‌තුවලින් පසුව මේ තත්ත්වය සමනය වනු ඇත. ලොතරැයි හා කොටස්‌ වෙළෙඳපොළට කරන ආයෝජන සාර්ථක විය හැකියි. රජයේ තනතුරු උසස්‌වීම් ලැබෙන කාලයකි. අන්තිම කැමැති පත්‍ර හෝ උරුමයකින් ධනය ලැබිය හැකිය. රාහු දශා ගත කරන අයට ගෘහ ජීවිතය පිළිබඳව තරමක කරදර බාධා ඇති කරයි.

කන්‍යා ලග්නය
හතර සහ හත්වැනි භාවාධිපති ගුරු ඔබේ කේන්ද්‍රයේ 9 වැන්නට මාරුවීම සුබදායක ය. ගෘහ ජීවිතය පිළිබඳව පසුගිය කාලයේ තිබූ බාධා ඉවත් වේ. නමුත් අගෝස්‌තු දක්‌වා ලග්නයට ශනි ගේ පැමිණීම තරමක්‌ අශුභපල දායකයි. ආදායම් මාර්ගවලට බාධා. දරුවන්ට අපල. සෞඛ්‍ය ගැටලු ඇති කරයි. නමුත් අගෝස්‌තු සිට මේ තත්ත්වය වෙනස්‌ වී සුබපල දෙනු ඇත. ගෘහාරම්භයට සුබයි. ඉඩකඩම් ගේ දොර දියුණුවට කටයුතු සැලසේ. වාහන ලාභ ලැබේ. හිතේ සතුට ඇති වේ. පෙර පින වාසනාව මතුවේ. උරුමකම් තහවුරු වේ. නෑයින් අතර ජනප්‍රිය වේ. එමෙන්ම විවාහ සහකරුට සුබයි. අන් අයගේ විවාහ අපේක්‍ෂා සාර්ථක වේ. දුර වන්දනා ගමන් යැමට ලැබේ. දේව භක්‌තිය ඉහළ යයි. ආගම දහමට හිත යොමු වේ. අධ්‍යාපන කටයුතු වලින් උසස්‌ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ. අන් අයගේ උදව් වෙනදාට වඩා ලැබෙනු ඇත.

තුලා ලග්නය
ගුරු මාරුව සිදුවන්නේ අටවැන්නට වීම තරමක්‌ බාධා සහිත බව පෙනේ. සහෝදරයකුට අපලයි. අසල්වාසීන් සමඟ අමනාපකම් ඇති වේ. උත්සාහය ධෛර්යය හීන වෙයි. හිතේ සැනසීම නැති දැඩි අවිවේක කාලයක්‌ උදා වේ. දරුවන්ට හා ශිෂ්‍යයන්ට අපලයි. තැන්පත් ධනය වැය වීමට හා නිකරුණේ මුදල් නාස්‌ති වීමට කරුණු යෙදේ. උදරාබාධ, දියවැඩියාව. කොලොස්‌ටරෝල් වැඩි වීම වැනි සෞඛ්‍ය ගැටලු ඇති විය හැකිය. ගෞරවය නැතිවන අන්දමේ සිදුවීම් වලට මුහුණ පෑමට සිදුවේ. පෙර පින, දෙවිපිහිටි යටපත් වන කාලයකි. මෙම කාලයේ සීනි අධික හා මේදය අධික ආහාර ගැනීම ඉතා අගුණය. සෑම විටම වඩා දැනුමැති කෙනෙකු ගේ උපදෙස්‌ මත තීරණ ගන්න ආගමික ජීවිතයක්‌ ගත කිරීම හා ගුරු අපලයට අදාළ ශාන්තිකර්ම කර ගැනීම මැනවි.

වෘශ්චික ලග්නය
ගත වූ වසරේ තිබූ කරදර බොහෝමයකින් නිදහස්‌ වීමට හැකියාව ලැබෙනු ඇත. පැවැති අසනීපවලින් සුවය ලැබේ. බිරිඳ හෝ සැමියාවට ශුභපලදායකයි. නැතහොත් විවාහ බලාපොරොත්තු සාර්ථක වනු ඇත. අන් අයගේ උදව් වෙනදාට වඩා ලැබේ. පෙම් සබඳතා ස්‌ථිර වන්නේය. හවුල් ව්‍යාපාරවලින් සාර්ථක ප්‍රතිඵල අත් වේ.පවුලේ අෙන්‍යාන්‍ය ආදරය හා සමගිය වැඩි වේ. තුලනාත්මකව සිතීමට ශක්‌තිය ලැබේ. සතුරන්ගෙන් ජය ලැබේ. විදේශ රටවල් සමඟ පවත්වන සබඳතාවලින් උසස්‌ සාර්ථකත්වයක්‌ ඇති වේ. දරු ලාභ ලැබේ. අධ්‍යාපනයට තිබූ බාධා ඉවත් වේ. ආයෝජනවලින් ලාභ ලැබේ. සහෝදරයන් හා අසල්වාසීන් සමඟ නව සබඳතා ඇතිවේ. විවාහ සහකරුගේ උසස්‌වීමට කටයුතු සිදුවන කාලයකි. රාහු ගේ දශා ගත කරන අයට තරමක අපල දෙසැම්බර් දක්‌වා පවතී.

ධනු ලග්නය
ලග්නාධිපති ගුරු සතුරු ස්‌ථානයට මාරු වීම තරමක අපල ඇති කරන බව පෙනේ. දරු ශිෂ්‍යාදීන්ට අපලයි. හිතේ සතුට ඇති වේ. කනගාටුවට කරුණු ඇති වේ. ශරීරයේ අප්‍රාණික ස්‌වභාවයක්‌ දැනේ. රහස්‌ සතුරු කරදර ඇති වේ. සෞඛ්‍ය ගැටලු ඇතිවීමට පුළුවන. එනම් ලේ වල සීනි අධික වීම, මධුමේහය, කොලෙස්‌ටරෝල් වැඩිවීම, අධි රුධිර පීඩනය, ඉදිමීම, ශරීරයේ බර අධිකවීම වැනි රෝගාබාධ වලින් ප්‍රවේශම් විය යුතුය. අධ්‍යාපන කටයුතුවලට ද බාධා පැමිණිය හැකියි. තැන්පත් ධනය වැය වේ. මවුපියන්ට ද අසනීප කරදර ඇති වේ. ගේ දොර දියුණුවට කරගෙන ගිය වැඩ කටයුතු වලට ද බාධා පැමිණේ. සැප නැති කාලයකි. වෙහෙස වී බර වැඩ කිරීමට සිදුÊවේ. ඉදිරිය ගැන අවිනිශ්චිත වූ බයක්‌ හා සැකයක්‌ සිතට දැනේ. මේ අතර අපේක්‍ෂිත ණය මුදලක්‌ ලැබීමට ද තමන්ගේ දුක සැප ගැන බලන හිතවත් මෙහෙකරුවන් ලැබීමට ද පුළුවන. ශාන්ති කර්ම කරගත යුතුය.

මකර ලග්නය
තරමක සුබපලදායක තත්ත්වයක්‌ ඇති වේ. යහපත් දරුවන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලැබෙන කාලයකි. ආයෝජන වලින් ලාභ ලැබිය හැක. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. පෙම් සබඳතා ස්‌ථිර විය හැකියි. දෙවි පිහිට ලැබේ. ජ්‍යෙdතිෂ යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවලින් විශේෂ ප්‍රයෝජන ලැබිය හැකියි. විවාහ ප්‍රමාද වූ අයට බලාපොරොත්තු වූ ආකාරයේ හොඳ සහකරුවකු හෝ සහකාරියක මුණ ගැසෙනවා ඇත. එමෙන්ම හොඳ ඇඳුම්, පැළඳුම්. ආභරණ ලැබේ. සහෝදරයන්ගේ අධ්‍යාපන කටයුතු දියුණුවට යයි. විනෝද ගමන් යැමට ලැබේ. තමන්ගේ උගත්කමෙන් විශේෂ පල ප්‍රයෝජන ලැබෙන කාලයකි. එමෙන්ම අනියම් පෙම් සබඳතා නිසාද, මුදල් ආයෝජන නිසා ද දූ දරුවන් නිසාද කරදර විඳින අවස්‌ථා ද පැමිණේ. දරුවන්ගෙන් ඈත් වීමට ද කරුණු යෙදිය හැක. අසල්වාසීන් සමඟ ඇති වූ අමනාපකම් දුරු වී නව සබඳතා ඇති වීමට පටන් ගනී.

කුම්භ ලග්නය
මිශ්‍ර ඵලදායක කාලයක්‌ බව පෙනේ. ගෘහ කර්මාන්ත කටයුතු වලින් හෝ වෙනත් කෘෂිකාර්මික කටයුතු ආදියෙන් ලැබෙන ආදායම ඉහළ යයි. සහෝදරයන් හා උසස්‌ මිතුරන් අතර නව සබඳතා ඇතිවේ. හිතවතුන් නිතර ගෙදරට පැමිණෙන කාලයකි. මවුපියන්ට සුබයි. ඉඩකඩම් මිලට ගැනීමට හා සංවර්ධනය කිරීමට හැකි වේ. දරුවන් පිළිබඳව වැඩි අවධානය යොමු කළ යුතු වේ. ඉඩකඩම් වලින් වැඩි අදායමක්‌ ලැබෙන කාලයකි. මේ අතර නිම වී තිබූ සෙනසුරු ඒරාෂ්ටක අපලය නැවත අගෝස්‌තු දක්‌වා බලපාන නිසා තරමක අපල ද ඇති වේ. සෙම් රෝග, වාතාබාධ. වතුරෙන් අපල, චිත්ත පීඩා. අධික වෙහෙසීමට සිදුවීම, කටයුතු ප්‍රමාදවීම ආදී අපල ඇතිවීමට පුළුවන. ඉන් පසුව මේ අපල ගෙවී මවුපියන්ගේ ද, හිත මිතුරන්ගේ ද වැඩිමහල් සහෝදරයන්ගේ ද ආධාර උපකාර ලැබී ගේ දොර දියුණුවට කටයුතු කෙරෙන ප්‍රීතිමත් කාලයක්‌ උදා වනවා ඇත.

මීන ලග්නය
ලග්නාධිපති ගුරු තුන්වැන්නට පැමිණීම තරමක්‌ අපලදායක බව පෙනේ. අසල්වාසීන් හා සහෝදරයන් සමඟ අමනාපකම් ඇති වේ. තැන්පත් ධනය වැය වේ. ගෙදර තිබූ සතුටුදායක පරිසරය අහිමි වන බව දැනේ. කටයුතු පමාවීම, කරදර, අවිවේකය, ප්‍රයෝජනයක්‌ නැති ගමන් බිමන් ඇති වේ. රැකියා ස්‌ථානයේ රහස්‌ සතුරු කරදර පැන නගී. තත්ත්වයෙන් පහත වැටීමට ද ඉඩ තිබේ. කොතරම් හොඳ කළත්, හොඳක්‌ අහන්නට නොලැබෙන බව පෙනේ. මේ අතර ගෘහ කර්මාන්තයක්‌ හෝ ස්‌වයං රැකියාවක්‌ කෙරෙහිs හිත ඇදී යයි. අගෝස්‌තු මාසයෙන් පසුව සෙනසුරු අටවැන්නට පැමිණ ඒරාෂ්ටක අපල තත්ත්වයක්‌ උදා වීම ද සැලකිය යුත්තකි. ඒ නිසා අධික වියදම් යෙදේ. දරුවන්ට අපල හා දරුවන් නිසා කරදර විඳින්නට සිදු වේ. අධ්‍යාපන කටයුතු වලට ද බාධා ඇති වේ. ආයෝජනවලින් පාඩු සිදු වේ. ග්‍රහ ශාන්ති කර්ම කර ගැනීමට සුදුසු බව පෙනේ.

ජ්‍යෙතිර්වේදී කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
 
Related Posts with Thumbnails