Ads 468x60px

.

කිසිම කැළලක්‌ නැතිව මම මේ රස්‌සාව කළා - ඇන්ජලා සෙනෙවිරත්න

මගේ රස්‌සාව..මගේ නම්බුව... ඒක තමයි වැදගත්ම දේ... 

කාන්තාවකට නොතරම් සිත් වේදනාවකට ඈ පාත්‍ර වූවාය. ඒ වේදනාව තවමත් අය කෙරෙන් පලාගොස්‌ නැත. එවන් තැවුලක්‌ තවත් කාලාන්තරයක්‌ ඇගේ සිත දවනු ඇත.
ඇය.... කාත් කවුරුත් නොදන්නා කාන්තාවක්‌ නම්..., කම් නැත... ඒත්.... ඇගේ නම.... රුව.... රටට.... ලෝකයට ආගන්තුක නැත.... ඈ එතරමට ජනප්‍රියය.... කිසියම් බරපතළ චෝදනාවකින් මෙවන් ප්‍රසිද්ධ කාන්තාවකගේ නම... චරිතය... කිළිටි වුවොත්.... එය ඇගේ ජීවිත කාලයටම බලපානු ඇත. 

චෝදනාව සැබෑ නම්... නම... චරිතය කිළිටි වීම ගැන එතරම් තැකිය යුතු නැත. එහෙත්.... අසත්‍ය චෝදනාවකට ජනප්‍රිය ප්‍රසිද්ධ චරිතයක නම කැත කිරීම... කොතරම් අසාධාරණද.... කාන්තවක්‌ වන ඇය මේ වේදනාව කෙසේ නම් විඳ දරා ගනු ඇත්ද.... ඊට මුහුණදීමේ ශක්‌තියක්‌ කාන්තාවකට ඇත්ද?

ඇන්ජලා සෙනෙවිරත්න මේ තත්ත්වයට මුහුණපෑවාය. පල් හොරෙක්‌... නරුම හොර නඩයක්‌ ඇගේ නමට ලංකාවට හෂීස්‌ ගෙන්වමින් සිටියහ. විදේශිකයන් වූ මේ හොර රැල කාලාන්තරයක්‌ තිස්‌සේ එය කරන්නට ඇත. ඒ ඇන්ජලා වසර දහයකට පෙර පදිංචිව සිටි ලිපිනයටය. ඇගේ නමටය.

අවසන සිදුවූයේ ඇන්ජලා හෂීස්‌ ගෙන්වන බව මාධ්‍ය මගින් රටට ලෝකයට ප්‍රසිද්ධ වීමය. ඇය නිදොස්‌ය. ඒ බව විමර්ශනවලින් පසුව පොලිසිය විසින් පවසද්දී.... ඇන්ජලාට ඇගේ නමට චරිතයට විය යුතු හරිය සිදුව හමාරය. ඇගේ චරිතය නිකරුණේ ඝාතනය කිරීමේ වගකීම... භාරගන්නේ කවුද... 


ඇන්ජලා තවමත් දැඩි මානසික කම්පනයකින් සිත් තැවුලකින් පසුවන්නීය. මේ අභූත චෝදනාව නිසා ඇයට බොහෝ දේ මේ වන විට අහිමි වී ඇත. වරද කළවුන්ට තවමත් දඬුවමක්‌ නැත. ඒ සඳහා තව කල් ඇත. එහෙත් වරද නොකළ ඇන්ජලා... නිකරුණේ දඬුවම් විඳිමින් සිටින්නීය. සමාජය විසින් නිකරුණේ ඇයට දඬුවම් ලබා දී ඇත.

අප ඇය හමුවූයෙමු..... නොකළ වරදකට මානසිකව තැවෙන ඕ... සිනාසුනත් ඒ සිනහව තුළින් ශෝකයක්‌ උපදින අයුරු දැකගත හැකිවිය. ඇගේ හඬ ද දුක්‌බරය. ඈ විඳින වේදනාවේ වගකීම පවරන්නේ මාධ්‍ය වෙතය. මාධ්‍යවේදීන් වෙතය. 


එහෙත් ඕ.... මේ වේදනාව විඳින මොහොතේදීත් මාධ්‍යකරුවන් වන අපව පිළිගත්තේ සෙනෙහසිනි. කනගාටුවක්‌ මිස ඇයගේ සිත තුළ කිසිවකු කෙරෙහි වෛරයක්‌ නොමැත. මේ වන විට වටිනා කියන බොහෝ දේ අහිමි වූ ඇයට අප පළමු පැනය යොමු කළෙමු. "මේ හෂීස්‌ චෝදනාව නිසා ඔබට අහිමි වූ දේ මොනවාද.... අපි ඇසුවෙමු.

"මගේ රස්‌සාව.." කියමින් ඇය සුසුමක්‌ පිට කළාය. විනාඩි දෙක තුනක්‌ නිහඬව සිටි ඇන්ජලා "මගේ නම්බුව... ඒක තමයි වැදගත්ම දේ... මෙතරම් කලක්‌ මම කලා ශිල්පිනියක ලෙස වැඩ කළා. හැම අතින්ම මම මගේ ගෞරවය රැකගත්තා. ඒත් මේ චෝදනාව නිසා මට ඒ ගෞරවය අහිමි වුණා. ඇය දෙවැනි වරටත් සුසුමක්‌ පිට කළාය. කඳුළු පිරි දෙනෙත් බිමට බර කර මොහොතක්‌ කල්පනා කළාය.

ඒ කියන්නේ වරදක්‌ නොකළත් ඔබ දඬුවම් විඳිනවා. අප එසේ කී විට ඇය යළි හිස එසවූවාය.

ඔව්... නොකළ වරදකට චෝදනා සහ දඬුවම් ලැබිලා. පැහැදිලිවම කිව යුතුයි. පොලිසිය කිසිම වෙලාවක මට චෝදනා එල්ල කළේ නැහැ. අපේ මාධ්‍යවේදීන් තමයි මාව වරදකාරියක්‌ කළේ. සමහර පුවත්පත් පොලිසියෙන් ලබාගත් වාර්තාව හරිම ලස්‌සනට ලුණු ඇඹුල් එකතු කරලා පළ කළා. 


අමූලික බොරු මුල් පිටුවල පළවුණා. ඇන්ජලා අතුරුදන් වෙලා කිව්වා. ලෝක මත්ද්‍රව්‍ය ජාවාරමක ශ්‍රී ලංකා නියෝජිතවරිය ඇන්ජලා සෙනෙවිරත්න කියලා කිව්වා... ඒ වගේ තත්ත්වයක්‌ මට දුන්නේ මම ආදරය කරන මාධ්‍ය සහෘදයන්.... ඒක තමයි මට හුඟක්‌ම දුක...

ඇය නිර්දෝෂ බැව් පොලිසිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද.. ඇගේ රැකියාව මේ වන විට අහිමි වී ඇත.

මුල්වරට පළ වූ ලිපි නිසා තමයි මගේ රස්‌සාව අහිමි වුණේ... මම අතුරුදන් කියලා කිව්වාම මගේ හාම්පුතුන්ට කුතු හලයක්‌ ඇතිවුණා. සවුදි තානාපතිගේ ලේකම්වරිය මත්ද්‍රව්‍ය ජාවාරමකට හවුල් කියලා ඉංග්‍රීසි පත්තරවල ගියා. එහෙම කියද්දී, එය රැකියාවට බලපෑවා. ඇන්ජලා යළිත් මො හොතක්‌ නිශ්ශබ්දව සිටියාය. සුසුමක්‌ හෙළමින් හිත සැහැල්ලු කරගත්තාය.

මාධ්‍ය... මාව පණපිටින්ම මරලා දැම්මා. දිවයින, අයිලන්ඩ්, ලීඩර් පත්තර තුන විතරයි මට කිසිම හානියක්‌ නොවන විදිහට මේ ප්‍රවෘත්තිය පළ කළේ... ඔවුන්ට මම ස්‌තුතිය පුදකරනවා... යෑයි ඇය කියද්දී ඔබ ඔබේ රැකියාව යළිත් ලබාගන්න උත්සාහ කළේ නැද්දැයි අපි විමසුවෙමු.

මම හැම මාධ්‍යයකටම ප්‍රකාශයක්‌ නිකුත් කළා. මගේ නිර්දෝෂිභාවය ගැන. ඒ ප්‍රකාශයේ පිටපතකුත් සමඟ මම මගේ රැකියා ස්‌ථානයෙන් බැගෑපත් වෙලා ඉල්ලීමක්‌ කළා. ආයෙත් රස්‌සාව දෙන්න කියලා. ඒත් අද දක්‌වා මට කිසිම උත්තරයක්‌ නැහැ. මේ හෂීස්‌ සිද්ධියට සම්බන්ධ නිවසේ දැන් පදිංචිව ඉන්නේ විදේශ රටක තානාපති ලේකම්වරියක්‌. 


ඇයගේ හිතවතුන් පිරිසක්‌ තමයි මගේ නම කැත කරලා මේ වැරැද්ද කළේ. මම ඇයගෙන් ඉල්ලීමක්‌ කළා ඔබේ මිතුරන් මේ වරද කළ නිසා මේ සිද්ධියට ඔබත් වගකිවයුතුයි. ඒ නිසා ඔබේ තානාපති මගින් මා සේවය කළ සවුදි තානාපතිට පවසලා මගේ රැකියාව යළි ලබාදෙන්න කියලා. ඒත් ඇයත් නිහඬයි.

ඇන්ජලා දැන් රඟපාන්නේ නැත... ඇයගේ ආදායම් මාර්ගය වූයේ සවුදි තානාපතිගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස රාජකාරි කිරීමය. එහෙත් ඇන්ජලාට දැන් ඇගේ ආදායම් මාර්ගය අහිමි වී ඇත.

තව මොනවා හරි තිබුණා නම් ප්‍රශ්නයක්‌ නැහැ. අවුරුදු එකොළහක්‌ තිස්‌සේ කිසිම කැළලක්‌ නැතිව මම මේ රස්‌සාව කළා. මගේ අතින් කිසිම වරදක්‌ සිද්ධවෙලා නැහැ. මේ තානාපති කාර්යාලයේ කිසිම කාන්තාවක්‌ සේවය කරන්නේ නැහැ. මම විතරයි සේවය කළ එකම කාන්තාව.... ඒ නිසා මට මේ රැකියාව අභියෝගයක්‌ වුණා. මම ඒ අභියෝගයට සාර්ථකව මුහුණදෙමින් රාජකාරි කළා. 


ඒත් එකවරම රස්‌සාව අහිමි වුණා. ඇන්ජලා ඔයා එක්‌ක සසඳන්න කිසිම කෙනෙක්‌ නැහැ. ඔයාගේ සේවය ඒ තරම් හොඳයි. ඒත් අපිට මේ තීරණය ගන්න වෙනවා.... ඒ නිසා ඔයා ඉල්ලා අස්‌වෙන්න කියලා මගෙන් තානාපති කාර්යාලයේ දෙවැනියා ඉල්ලීමක්‌ කළා. ඒ අනුව මට වෙන කළ හැක්‌කක්‌ තිබුණේ නැහැ. මම ඉල්ලා අස්‌වීමේ ලිපිය භාර දුන්නා. ඒත් ඒ ලිපිය භාරගත්තා කියලා තවම මට දැනුම්දීමක්‌ කළේ නැහැ. මට හරිම කනගාටුයි... 

මම මානසිකව වැටුණු විදිහ වචනවලින් කියන්න බැහැ යෑයි කියමින් ඇන්ජලා යළිත් කඳුළු පිරි දෙනෙතින් අප දෙස බැලුවාය. සැනෙකින් හිස ඉහළට එසවූ ඈ "මම මේ හැම දෙයක්‌ම දෙවියන්ට භාරදුන්නා" යෑයි කීවාය.

මොනව කරන්නද කියලා මට හිතාගන්න බැහැ.... මට සිද්ධවුණ හානිය ගැන හිතනකොට මේ දවස්‌වල මගේ මානසික තත්ත්වය හොඳ නැහැ. නිවීහැනහිල්ලේ කල්පනා කරමින් ගෙදරට වෙලා ඉන්නවා යෑයි ඈ කියද්දී මාධ්‍ය සමඟ ඉතාම සමීපව නේද ඔබ නිළියක්‌ ලෙස කටයුතු කළේ... යෑයි අපි විමසා සිටියෙමු.

"මම කලාවෙන් අයින්වෙලා සිටි නිසා එතරම් හිතවත්කමක්‌ ගොඩනඟාගෙන තිබුණේ නැහැ. ඒත් මම එක්‌තරා ඉංග්‍රීසි පුවත්පතකට කොළමක්‌ ලියමින් හිටියේ. ඒ ආයතනයේම ඉංග්‍රීසි කාන්තා පුවත්පතක කර්තෘවරිය ලෙසත් කටයුතු කළා. ඒත් මට කැත විදිහට ඒ පත්තරවලිනුත් පහර දුන්නා. මට නම් හිතාගන්න බැහැ.

මෙවැනි කරදරයකට කලාකාරියක හෝ කලාකරුවකු මුහුණපෑවිට සෙසු කලාකරුවන්ගේ ප්‍රිය වචන ඇයට හෝ ඔහුට ශක්‌තියක්‌.... ඇන්ජලාට එවැනි ශක්‌තියක්‌ ලැබුණාද.... අපි ඇගෙන් ඇසුවෙමු.

අනෝජා වීරසිංහ, මරියෝ ජයතුංග, කැලුම් විඡේසූරිය, ප්‍රියන්ත විඡේකෝන්, කමල් අද්දරආරච්චි, ජයන්ත කැටගොඩ මට කතා කළා... රවීන්ද්‍ර රන්දෙනිය මට කතා නොකළත් මෙවන් චෝදනා තහවුරු කර නොගෙන ප්‍රසිද්ධ කිරීම කලාකරුවකුට කරන අපරාධයක්‌ කියා තිබුණා. මම මේ හැම කෙනකුටම ස්‌තුතිය පුදකරනවා... යෑයි ඈ කියද්දී අපි ඇගෙන් දරුවන් ගැන ඇසුවෙමු.

ඇයගේ නෙත් යළි කඳුළින් බර විය. "මගේ පවුලේ කිසිම කෙනෙක්‌ ලංකාවේ නැහැ. මගේ දුවලා තුන්දෙනාම පිටරට. මම මේ ප්‍රශ්නෙට තනියෙන්ම මුහුණදුන්නා. දූලාත් ඉතාම දුක්‌වුණා මේ ගැන. ඒත් එයාලා මොනවා කරන්නද...

ඇන්ජලා සෙනෙවිරත්න රඟපෑ නිර්මාණ රැසක්‌ නැත. එහෙත් ඈ නිරූපණය කළ චරිත ඔස්‌සේ රසික හදවත් දිනා ගත්තාය.

ආයෙත් කලාවට එන එක ගැන මට හිතන්න බැහැ. ශ්‍රී ලංකාව අතහැරලා යනවාද නැද්ද කියලා කල්පනා කරමින් ඉන්නේ. මට ආදරය කරන මාව අගය කරන මගේ රසිකයන් ඉන්නවා. මම මානසිකව ඇදවැටී සිටින මේ වෙලාවේ ඒ අයත් මා ගැන දුක්‌වුණා. මම කවදාවත් වරදක්‌ කරලා නැහැ. ඒ අයුරින්ම ඉදිරියටත් මම ඉන්නවා. මේ වෙලාවේ මා ළඟ සිටින හැම කෙනෙක්‌ටම ස්‌තුතියි... ඒ හැර මට කියන්න දෙයක්‌ නැහැ.... යෑයි ශෝකී ලෙස කියමින් ඇන්ජලා සිනාසුනාය.
 
Related Posts with Thumbnails