Ads 468x60px

.

කහවත්ත මව සහ දියණිය පුළුස්‌සා දැමීමේ සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ඥතීන් තර්ජන කරලා

කහවත්ත යළිත් ඇවිලුණු හැටි...
14 වැනි කාන්තා මිනිස්‌ ඝාතනය...

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි මවක්‌ සහ දියණියක්‌ ඊයේ (19 වැනිදා) අලුයම අබිරහස්‌ අන්දමින් ඝාතනය කර ඔවුන්ගේ සිරුරු නිවස තුළම පුළුස්‌සා දැමීමේ සිද්ධියෙන් කහවත්ත ප්‍රදේශයේ ජනතාව නැවතත් මරණ බියෙන් ඇළලී ගොස්‌ සිටිති. 


වසර 2 ක්‌ වැනි කාලසීමාවකදී කහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වූ 14 වැනි කාන්තා මිනිස්‌ ඝාතනය මෙය බව පොලිසිය පවසයි. 2012 වර්ෂයේදී පමණක්‌ මේ වනවිට කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ කාන්තා ද්විත්ව ඝාතන 3 ක්‌ වාර්තා වී තිබීම විශේෂ සිද්ධියකි. 

ඊයේ අලූයම මෙසේ ඝාතනයට ලක්‌ව ඇත්තේ කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි ලියනආරච්චිලාගේ ප්‍රේමවතී හේවාගමගේ මහත්මිය සහ ඇගේ දියණිය වන 32 හැවිරිදි පුෂ්පා කුමාරි හේවාගමගේ නමැති තරුණියයි.

ඊයේ අලුයම 3.00 ට පමණ මෙම නිවසේ ජනේලයක සවිකළ යකඩ දැල ඉවත් කර එහි ඇතුළුවී ඇති ඝාතකයා කාමර දෙකෙහි නිදා සිටි මව සහ දියණිය කපා කොටා ඝාතනය කර ඇත. පසුව ඔවුන් දෙදෙනාගේ සිරුරු එක්‌ කාමරයක ඇඳක්‌ මත දමා මෙට්‌ටවලින් වසා ඊට ගිනි තැබූ ඝාතකයා පලා ගොස්‌ තිබේ.

මෙම නිවසේ ගින්නක්‌ හටගෙන ඇති බව ප්‍රදේශවාසීන් දැක ඇත්තේ අලුයම 3.30 ට පමණය. පසුව ප්‍රදේශවාසීහු එහි පැමිණ වතුර ගසා ගින්න නිවා දැමීමට කටයුතු කළහ. ප්‍රදේශවාසීන් නිවස අසලට එද්දී එහි ප්‍රධාන දොරටුව විවෘත කර තිබී ඇත. ඝාතකයා නිවසේ කාමරයක ජනේලයෙන් එහි ඇතුළුවී ද්විත්ව ඝාතනය සිදුකර ඉදිරිපස දොර විවෘත කරගෙන පලායන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ප්‍රදේශවාසීන් ගින්න නිවා දමා නිවස පරීක්‌ෂා කරද්දී කාමරයක පිළිස්‌සී මියගොස්‌ සිටි කාන්තාවන් දෙදෙනාගේ සිරුරු හමුවී ඇත. පසුව මේ පිළිබඳව කහවත්ත පොලිසියට සහ කොටකෙතන පොලිස්‌ මුරපොළ වෙත දැනුම් දීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ. සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ කහවත්ත පොලිසියේ ස්‌ථානාධිපති නෙරංජන් අබේවර්ධන මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ පරීක්‌ෂණ කටයුතු ආරම්භ කළහ.

නිවසේ එක්‌ කාමරයක බිම රුධිරයෙන් නැහැවී ගොස්‌ තිබූ අතර කාන්තාවන් දෙදෙනා එම ස්‌ථානයේදී මරාදමන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. ඝාතනයට ලක්‌වූ පුෂ්පා කුමාරි අවිවාහක තරුණියකි. ඇය කහවත්ත ප්‍රදේශයේ රන් ආභරණ අලෙවි සලක සේවය කළාය. ඇයට සොහොයුරන් දෙදෙනකු සහ එක්‌ සොහොයුරියක සිටින අතර ඔවුන් සියලු දෙනා විවාහකය.

වැඩිමහල් සොහොයුරා මෙම නිවස ආසන්නයේ පදිංචිව සිටි අතර අනෙක්‌ අය වෙනත් ප්‍රදේශවල පදිංචිව සිටින බව පරීක්‌ෂණවලින් අනාවරණය වී තිබේ. ඝාතනයට ලක්‌වූ පෙමවතීගේ සැමියා මීට වසර කිහිපයකට උඩදී මියගොස්‌ සිටි අතර ඇය සිය අවිවාහක දියණිය ද සමග මෙම නිවසේ පදිංචිව සිටියාය.

අක්‌කරයක්‌ පමණ විශාල පොල් වත්තේ පිහිටි නිවසක මොවුන් පදිංචිව සිටි අතර කුඹුරු ඉඩම් කිපයක්‌ද ප්‍රේමාවතී මහත්මිය සතු විය. මෙම ද්විත්ව ඝාතනයට හේතුව කුමක්‌දැයි ඊයේ දහවල් වනතුරුත් හෙළිදරව් වී නොතිබිණි. ඝාතකයන් සෙවීම සඳහා පොලිස්‌ නිල සුනඛයන් යොදා ගත්තද ඊයේ දහවල් වනතුරුත් සැකකරුවත් හඳුනාගැනීමට නොහැකි විය.

ද්විත්ව ඝාතනය සිදු වූ නිවස ආසන්නයේ පොල්වත්තේ තිබී හිස්‌ මත්පැන් බෝතල් කීපයක්‌ සහ කටගැස්‌ම පැකට්‌ කීපයක්‌ ද පොලිසිය සොයාගෙන තිබේ. මෙම ද්විත්ව ඝතනය පිළිබඳව විමර්ශන කිරීම සඳහා රහස්‌ පොලිසියේ විශේෂ කණ්‌ඩායමක්‌ ඊයේ දහවල් වනවිට කහවත්ත ප්‍රදේශයට පැමිණ සිටියහ. ඊට අමතරව තවත් පොලිස්‌ කණ්‌ඩායම් 3 ක්‌ මේ පිළිබඳව පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

ප්‍රදේශයේ ආරක්‌ෂාව සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකායද එම ප්‍රදේශයට පැමිණ සිටියහ. මෙම සිද්ධිය දැක බලාගැනීම සඳහා දහස්‌ ගණනින් ජනතාව කහවත්ත කොටකෙතන ප්‍රදේශයට පැමිණ සිටි අතර ඔවුන් පාලනය කිරීමට පොලිසියට දැඩි වෙහෙසක්‌ දැරීමට සිදු විය.

කහවත්ත නව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙරංජන් අබේවර්ධන මහතා වැඩ භාර ගත්තේ මීට දින තුනකට උඩදීය. (16 වැනිදා) නව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළවල් කීපයක්‌ සකස්‌ කරමින් සිටියදී මෙම ද්විත්ව ඝාතනය සිදු විය.

මෙම සිද්ධිය වන අවස්‌ථාව වනවිටත් කොටකෙතන පොලිස්‌ මුර පොළේ නිලධාරීන් කණ්‌ඩායම් දෙකක්‌ ප්‍රදේශයේ මාර්ග මුර සංචාරවල යෙදෙමින් සිට ඇත. එහෙත් පොලිස්‌ නිලධාරීන්ගේ ඇසට වැලිගසමින් ඝාතකයන් ඉතාම සූක්‍ෂම අයුරින් මෙම ද්විත්ව ඝාතනය සිදු කර පලාගොස්‌ ඇති බව කහවත්තෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

මෙම සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක්‌ කරමින් අසල්වාසී කාන්තාවක්‌ කියා සිටියේ ඊයේ අලුයම 3.30 ට පමණ මෙම සිද්ධිය තමන් මුලින්ම දුටු බවයි. එම කාන්තාව සිය අත්දැකීම මෙසේ විස්‌තර කළාය.

පාන්දර 3.30 ට විතර මම එකපාරටම අවදි වුණා. අපේ ගෙදරට පිටුපස නිවස දෙසින් රතිඤ්ඤා පුපුරණව වගේ හඬක්‌ ඇහෙන්න ගත්තා. "මම හිතුවා ගේ ළඟ තියෙන ලොකුගහක්‌ කඩා වැටෙන්න එනවා කියලා. මම ගෙදර අයත් ඇහැරවගෙන එළියට ආවා. එතකොට දැක්‌කා පහළ ගේ ගිනි ගන්නවා. "පස්‌සේ අහලපහල අයත් ඇහැරවගෙන වතුර ගහලා ගින්න නිවන්න කටයුතු කළා.

මීට ඉහතදී ද්විත්ව ඝාතන සිදු වූ නිවාස ආසන්නයේම මෙම ද්විත්ව ඝාතනය ද සිදුවීම විශේෂ සිද්ධියකි. ඉකුත් පෙබරවාරි මස 03 වැනිදා කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ නිවසට කඩාවැදුණු අපරාධකරුවන් එහි සිටි නයනා නිල්මිණි සහ ඇගේ දියණිය වූ 18 හැවිරිදි කවීන්ධ්‍යා චතුරංගනී තරුණිය කපා කොටා ඝාතනය කර තිබිණි.

පසුගිය මැයි මස 31 වැනිදා අලුයම කොටකෙතන ප්‍රදේශයේම තවත් නිවසකට ඇතුළු වූ සාහසිකයකු එම නිවසේ සිටි 52 හැවිරිදි තිලකාවතී සහ 61 හැවිරිදි දයාවතී යන සොහොයුරියන් දෙදෙනා කපා කොටා ඝාතනය කර ඔවුන් පුළුස්‌සා දමා තිබිණි. මෙම ද්විත්ව ඝාතන දෙකටම සම්බන්ධ සැකකරුවන් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුහු මේ වනවිට බන්ධනාගාරගතව සිටිති.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න, රත්නපුර පොලිස්‌ අධිකාරී ඒ. උඩුගමසූරිය මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පොලිස්‌ නිලධාරීන්ට උපදෙස්‌ ලබා දුන්හ.

මෙම ද්විත්ව ඝාතනය සිදුවූ ස්‌ථානයට ඊයේ පෙරවරුවේ පැමිණි පැල්මඩුල්ල මහෙස්‌ත්‍රාත් චාන්දනී නිරන්ජලා ඩයස්‌ මහත්මිය මළ සිරුරු පරීක්‍ෂා කර ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නියෝග කළාය.

රජයේ රස පරීක්‍ෂකවරයා සහ පොලිස්‌ ඇඟිලි සලකුණු අංශය ද සිද්ධිය වූ ස්‌ථානය වෙත පැමිණ පරීක්‍ෂණ කටයුතු පැවැත්වූහ. කහවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙරංජන් අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් මූලික පරීක්‍ෂණ පැවැත්වේ.

මෙම සිද්ධිය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට මියගිය අයගේ ඥතීන් යෑයි කියූ පුද්ගලයන් දෙදෙනකු විසින් තර්ජන කර ඇත.


කහවත්තේ යළිත් ද්විත්ව ඝාතනයක් - මවක් හා දියණියක් මරලා..
 
Related Posts with Thumbnails