Ads 468x60px

.

අයියයි, අක්‌කයි, මල්ලියි, නංගියි, සිව් නිවුන් දරුවන් මෙලොවට බිහිවුනේ මෙහෙමයි...


මාස හතේදී ටික ටික ලේ වහනය වෙන්න 
පටන් ගත්තා...

සති 34 සම්පූර්ණ වුණාම සිසේරියන් සැත්කමකින් දරුවෝ හතර දෙනා බිහි කළා.

පුතාලා දෙන්නයි, දූලා දෙන්නයි. දැන්නම් හරි සතුටුයි.

පුරා සති තිස්‌ හතරක්‌ අම්මාගේ කුසෙහි තෙරපෙමින්, මිරිකෙමින්, පෙරළෙමින් සිටි අයියයි, අක්‌කයි, මල්ලියි, නංගියි පසුගිය 24 වැනි සිකුරාදා කොළඹ කාසල් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්‌ඩලය, හෙද සොයුරියන් ඇතුළු පිරිස එක්‌ව සිසේරියන් සැත්කමකින් මෙලොවට බිහිකරවනු ලැබීය.

මෙම සිව් නිවුන් දරුවන්
මේ වන විට ළදරු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතා නව ජන්ම ළදරු ඒකකයේ හෙද සොයුරිය ඊ. ඒ. ඡේ. ඉලේපෙරුම මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණ්‌ඩලයේ සුව සේවා සත්කාර මධ්‍යයේ නොමේරූ ළදරු ඒකකයේ ආසිනීකාරකවල (ඉන්ක්‍යබේටර්) සුවසේ සිටිනු අපි දුටිමු.


මෙම දරුවන් නිරෝගී තත්ත්වයේ පසුවන අතර බර හා කාලය සම්පූර්ණ වනතුරු එම ළදරු ඒකකයේ රඳවා තැබෙනු ඇත. දරුවන්ගේ මව වන 31 හැවිරිදි චින්තා දිල්හානි ජයසිංහ මහත්මිය සමග අප කතා බහ කළෙමු.

මම මුලදී හලාවත මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය අක්‌මීමන මහතා ළඟට ගියා. සායනයේදී ඩොක්‌ටර් කිව්වා මට දරුවෝ දෙන්නෙක්‌ ලැබෙන්න ඉන්නවා කියලා. ඊට පස්‌සේ ස්‌කෑන් කළාම ඩොක්‌ටර් කිව්වා හතර දෙනෙක්‌ ඉන්නවා කියලා. මුලදී දෙන්නෙක්‌ කිව්වාම සතුටු වුණා. පස්‌සේ හතර දෙනෙක්‌ කිව්වාම බය හිතුණා. 

මාස හතේදී ටික ටික ලේ වහනය වෙන්න පටන් ගත්තා. ඊට පස්‌සේ හලාවත මහ රෝහලෙන් කොළඹ කාසල් රෝහලට එව්වා. සති 34 සම්පූර්ණ වුණාම සිසේරියන් සැත්කමකින් දරුවෝ හතර දෙනා බිහි කළා. පුතාලා දෙන්නයි, දූලා දෙන්නයි. දැන්නම් හරි සතුටුයි.

මේ සම්බන්ධයෙන් කොළඹ කාසල් රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ළදරු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතාද අදහස්‌ දැක්‌වීය.



මේ බබාලා හතර දෙනාම නිරෝගී තත්ත්වයේ ඉන්නවා. ඒ අයගේ බර මට්‌ටම් දක්‌වනවා නම් කිලෝ ග්‍රෑම් 1.6, 1.5, 1.3 හා 1.01 වශයෙන් දැක්‌විය හැකියි. වැඩිම බර සහිත පිරිමි දරුවා මවගෙන් කිරි උරා බොන තත්ත්වයේ දැන් ඉන්නවා. අපි එයාව ඉන්ක්‍යqබේටරයෙන් ඉවත් කර තිබෙනවා. අනිත් දරුවන් තිදෙනාත් මව්කිරිවලින් පමණක්‌ මේ වන විට පෝෂණය ලබන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. 

මවගෙන් කිරි දොවා ඒ තිදෙනාට ලබා දෙනවා. ඇත්තටම මටත් වඩා මෙතන ඉන්න හෙද සොයුරිය ඇතුළු වෛද්‍ය කාර්ය මණ්‌ඩලය තමයි මේ දරුවන් බලා ගන්නේ. ඔවුන් හොඳින් ඒ කාර්ය කරනවා. පහසුකම් ගොඩාක්‌ අඩුයි. ලංකාවේ හැම පැත්තකින්ම ප්‍රශ්න තියෙන බබාලා, සංකූලතා තියෙන ගර්භනී අම්මලා වැඩිපුර එන්නේ කොළඹ කාසල් රෝහලටයි. අඩු බර, අඩු වයස්‌ බබාලා විශාල පිරිසක්‌ මෙහේ උපදිනවා. අපට ඉන්ක්‍යබේටර්ස්‌වල විශාල අඩුවක්‌ තියෙනවා. 

නමුත් තියෙන සම්පත්වලින් රෝහල් කාර්ය මණ්‌ඩලය උපරිමයෙන් කටයුතු කරනවා. මෙතැන ඉන්න හෙද හෙදියන් මම උදේටත්, දවල්ටත්, රෑටත් එක දිගට දකිනවා. ඒ අයට විවේකයක්‌ ගන්න තරම් සේවා මාරු කර ගන්න ප්‍රමාණවත් පිරිසකුත් මෙහේ නැහැ. වැටුපත්, රාජකාරියත් නොසලකා දරුවන් වෙනුවෙන් උදාර මානුෂික මෙහෙවරක්‌ හා හෘදයංගම සේවාවක්‌ මේ ඒකකයේ වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්‌ඩලය ඉටුකරන බව මම දකිනවා.

එම ළදරු ඒකකයේ මොහොතක්‌ රැඳී සිටි අප වෛද්‍ය සමන් කුමාර මහතා කියු දේ සත්‍ය බව තහවුරු කර ගතිමු. ඉන්ක්‍යqබේටර් සියල්ලේම නොමේරූ බිලින්දන් සිටිනු අපි දුටිමු. ඇතැම් බිලින්දන් ඉතා අමාරුවෙන් හුස්‌ම ගන්නා අයුරු ශෝකයෙන් යුතුව අපි බලා සිටියෙමු. ඔවුන්ට ජීවය දෙන්නට හෙදියන් කඩියන් සේ දුවන පනින අයුරු අපි නිහඬව බලා උන්නෙමු.

මේ හැම බිලිඳු දරුවෙක්‌ම තමන්ගේ කුසින් වදාපු පැටවුන්ය යන හැඟීමෙන් ඔවුන් ක්‍රියා කරන්නේදැයි අපට සිතුණි. ඉන්ක්‍යබේටර්වල සිටින දරුවන්ට බෙහෙත් එන්නත් කිරීමේදී එම දරුවන්ට මව්වරුන්ගෙන් දොවාගත් කිරි පොවද්දී එම හෙදියන් මවක්‌ සේ දරු පැටවුන්ට ආදරයෙන් කනට කොඳුරමින් දරුවන් සනසමින් කතාකරන අයුරු අපි දුටුවෙමු.

මෙහි සිටි හෙදියන් වැඩි දෙනෙකු අවිවාහක අය බවද අපි පසක්‌ කර ගතිමු. අනුන්ගේ දරුවන් වෙනුවෙන් ඔවුන් ජීවිතය කැපකර ඇතැයි අපට හැඟිණි. රෝහල්වල නොයෙකුත් අර්බුද, වෛද්‍යවරුන්ගේ මෙන්ම හෙදියන්ගේ ද නොසැලකිලිමත්කම් සහ නොමනාකම් පිළිබඳ නිතර පුවත් වාර්තා වන මේ රටේ කොළඹ කාසල් රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ හා නව ජන්ම ළදරු ඒකකයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්‌ඩලය දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම් හා සේවාව අපි අගය කරන්නෙමු.

සිව් නිවුන් දරුවන්ගේ පියා සමග ද අපි කතා බහ කළෙමු. ඔහු 34 හැවිරිදි ඩබ්ලිව්. එම්. එම්. ටී. වේරගොඩයි.

"මම කුලියාපිටිය බස්‌ ඩිපෝවේ කොන්දොස්‌තර කෙනෙක්‌ හැටියට සේවය කරනවා. අපි පදිංචි වෙලා ඉන්නේ අපේ අම්මයි, තාත්තාත් එක්‌ක මහ ගෙදරයි. මගේ බිරිඳට මුලින්ම දරුවෙක්‌ ලැබෙන්න ඉඳලා සති 28 න් දරුවා නැති වුණා. ඊට පස්‌සේ දරුවෙක්‌ ප්‍රාර්ථනා කරලා අපි බෝධි පූජා, දේවාලවලට එහෙම ගියා. දෙවියෝ අපේ අහිංසකකම ගැන බලලා එකසැරේ දූලා දෙන්නෙකුයි, පුතාලා දෙන්නෙකුයි ලබා දුන්නා. 

දෙවියන්ට පිං දෙන අතරම ලෙඩක්‌, දුකක්‌, අඩුපාඩුවක්‌ නැතුව දරුවෝ හතර දෙනා බිහි කරන්න උදව් කරපු හලාවත මහා රෝහලේ සහ කොළඹ කාසල් රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු හැමෝටම මම ස්‌තුතිවන්ත වෙනවා. දරුවෝ හතරදෙනා මට ලොකු සම්පතක්‌ තමයි. ඒත් මගේ රස්‌සාවෙන් ලැබෙන පුංචි මුදල දරුවන්ව පෝෂණය කරන්න බිරිඳගේ පෝෂණයට ප්‍රමාණවත් නැහැ. 

දරුවෝ ගෙදර අරගෙන ආවාම එයාලව බලාගන්න, ආරක්‍ෂා කරගන්න, රෙදි සෝදන්න වෙනවා. ඒවාට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න මට ගොඩාක්‌ අමාරුයි. ඒ නිසා උදව් කරන්න පුළුවන් කෙනෙක්‌ ඉන්නවා නම් කිරි පිටි, සබන්, දරුවන්ට ළදරු ඇඳුම්, මවගේ පෝෂණයට ඕනේ කරන දේවල්, දරුවෝ සායනවලට අරගෙන යන්න මග වියදම් ලබා දෙනවානම් පිංසිද්ධ වේවි.

දරු සම්පත පියෙකුට මොනතරම් සතුටක්‌ වුවද රටේ පවතින ආර්ථික, සමාජයීය වටපිටාව අනුව ඒ පියා මේ වෙලාවේ දරුවන් සිව් දෙනෙකු සමග බරපතළ අර්බුදයකට මුහුණපා සිටී. දරුවන් ජීවත් කරවීම ඔහුට මහා බරකි. මාසිකව උපයන සොච්චම් වැටුපෙන් ඒ දරු පැටවුන්ගේ කුස පුරවන්නට ඔහුට හැකියාවක්‌ නැත. 

මවට දරුවන් සිව් දෙනාටම දෙන්නට ප්‍රමාණවත් මව්කිරි ඇති නමුත් ඇයගේ පෝෂණය අඛණ්‌ඩව පවත්වා නොගතහොත් දරුවන්ට මව්කිරි ප්‍රමාණවත් නොවනු ඇත. එබැවින් ඇයට පෝෂණීය ආහාර වේලක්‌ ලබාදිය යුතුයි. පොල් සම්බෝලයි බතුයි කාලා දරුවෝ හතර දෙනාගේ කුසගිනි නිවන්නට ඇයට හැකි නොවනු ඇත. 

එහෙයින් මේ අසරණ මව්පියන්ට දරු සම්පත වාසනාවන්ත ලෙස රැක ගන්නට පිංවත් ඔබගේ හෘදයංගම උපකාරය අත්‍යවශ්‍ය වනු ඇත. ඔබගේ උපකාර ලැබෙන තුරු ඒ අසරණ මවත්, පියාත්, සිව් නිවුන් දරුවන් තුරුළු කරගෙන බලා සිටිනු ඇත. පවුලට රටට බරක්‌ නැති දරු පැටවුන් සිව් දෙනකු රටට වැඩදායි ලෙස හදා වඩා ගන්නට ඔවුන්ට ඔබගේ කරුණාවේ, දයාවේ දැත් දිගු කරනු මැනවි. 

ඒ සඳහා ඩබ්ලිව්. එම්. එම්. ටී. වේරගොඩ, මූකලන්හේන, බිංගිරිය ලිපිනය හෝ 0724482485 දුරකථනය ඔස්‌සේ ඔවුන්ට උපකාර කළ හැකිය. මහජන බැංකුවේ කුලියාපිටිය ශාඛාවේ අංක 028-2-001-4-000698 දරන ගිණුම් අංකයට මූල්‍යාධාර ලබාදීමට හැකිය.

 
Related Posts with Thumbnails