Ads 468x60px

.

සුපිරි ක‍්‍රිකට් තරු පිරිවරා ආරම්භ වූ සනත්ගේ "කිව්බා" අවන්හල...

"Qbaa" අවන්හල නිකම්ම නිකම් අහරක රස පමණක් භුක්ති විඳගත හැකි තැනැක් නොවේ...

සංගීතය රස විඳින අතරේ අහරක රසය සමඟ ප‍්‍රීතිවිය හැකි අවන්හලක්...

96’ ලෝක කුසලාන ජයග‍්‍රහණයේ තරගාවලියේ වීරයා වූයේ ඔහුය. ඒ අසහාය බව අදට පමණක් නොව හෙටටද ඔහු සටහන් සළකුණු තබා අවසන්ය. ඒ අන් කවරකුවත් නොව සනත් ජයසූරිය නමැති ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් තරුවය. 

වත්මනෙහි ඔහු අපට හමුවන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු හා ජාත්‍යන්තර ක‍්‍රිකට් විස්තර විචාරකයකු ලෙසය. එසේ වුවද ක‍්‍රිකට් ක‍්‍රීඩාව කෙරෙහි ගහට-පොත්ත සේ බැඳී සිටින සනත් තවමත් සම්පූර්ණවශයෙන් ක‍්‍රීඩාවෙන් සමුගෙන නැත. 

අද ද විවිධ තරග ඔස්සේ ක‍්‍රිකට් පිටියේදී දැකගත හැකි සනත් පසුගියදා ඔහුගේ හිතවතුන් කීප දෙනෙකු සමඟ එක්ව අපූරු අවන්හලක් ආරම්භ කළේය. සනත්ගේ ක‍්‍රිකට් රිද්මයේ ඇති අපූරු වෙනස මෙන්ම මෙම අවන්හල ද අපූරු වෙනසක් රැගත් එකක් ලෙස හැඳින්විය හැකිය.

පසුගියදා විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය පැවැත්වෙමින් තිබියදී මේ අපූරු අවන්හල විවෘත කෙරිණි. සුපිරි ක‍්‍රිකට් තරු පිරිවරා ආරම්භ වූ මෙම අවන්හල "Qbaa" (කිව්බා) නම් වෙයි.

අංක - 02, ද ෆොන්සේකා පාර, කොළඹ-04, යන ස්ථානයෙහි පිහිටුවන ලද මෙම ‘‘කිව්බා’’ "Qbaa" අවන්හල නිකම්ම නිකම් අහරක රස පමණක් භුක්ති විඳගත හැකි තැනැක් නොවේ. සංගීතය රස විඳින අතරේ අහරක රසය සමඟ ප‍්‍රීතිවිය හැකි අවන්හලකි.

ලෝක ප‍්‍රකට "Qbaa" අවන්හල් ජාලයේ නොවූවත්, මෙය "Qbaa" යනුවෙන් හැඳින් වූයේ මන්දැයි කියා මෙහි සුසී ඉලංගකෝන්ගෙන් අපි විමසීමු.

‘‘සැබැවින්ම ඉතා අනගි ලෙස අහරක රසය උපරිම අයුරින් භුක්ති විඳගත හැකියි. ඊට අමතරව සංගීතය රස විඳිමින් ඒ හෝරා කීපය ගත කළ හැකියි. කෙටියෙන්ම කිව්වොත් මෙලෙසින් අනර්ඝ ලෙස අහරක රසය ලබමින් එක් වහලක් යට ගීත රසයේ වින්දනය ද ලැබිය හැකි තවත් අවන්හලක් නැති කරම්. කිව් (Q) යන අක්‍ෂරය යෙදු විගස අපට සිහියට නැගෙන්නේ ක්වොලිටි "Quality" හෙවත් ගුණය තත්වය කියන අදහසයි. 


ඒ අනුව කිව් අකුර යොදා ගත්තා. අනෙක් අක්‍ෂර අංක විද්‍යාත්මකව ඉතා සුබවාදී බව අපට තේරුම් ගියා. ඒ අනුව තමයි අපි කිව්බා "Qbaa" කියන නම යොදා ගත්තේ’’

එසේ පවසන සුසී සහ සනත්ට අමතරව තවත් දෙදෙනෙකු මෙහි මූල්‍ය ආයෝජකයින් ලෙස නම් කළ හැකියි. අලූත් හැඩයක සහ රසයක තේමාව රැගෙන මේ සංකල්පය ඇතිවූ පසු සුසී ඇතුළු අනෙක් දෙදෙනා සනත්ට මේ ගැන පවසා තිබේ. සනත් මීට දායකත්වය ලබාදී ඇත්තේ ඒ අනුවය.

මෙලෙසින් බිහි වූ කිව්බා අවන්හල තනා ඇති අයුරුත් සඳහන් කළ යුතුමය. මෙහි ගෘහනිර්මාණ සැළසුම ඉතා අලංකාර වන අතර නිතර අප දකින තරමේ නිර්මාණ සැලසුමකට එහා ගිය අපූරු නිර්මානයකි. ගෘහ නිර්මාණ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයකු වන මුරාරි ස්මයිල්ගේ සංකල්පය සැබැවින්ම පැසසිය යුතුමය. ගෘහ නිර්මාණ සැලසුම මෙන්ම, මෙහි අනෙකුත් සියලූ අලංකරණ කටයුතු මෙන්ම ගෘහභාණ්ඩ තේරීම් ද ඔහු විසින්ම කරන ලද දෙයකි.

අනර්ග තේමාවක් රැගත් නිසා මෙතැනට ඇවිත් සප්පායම් වීම කළ හැකි වන්නේ ධනවත්ම අයට පමණද? කියා අපි සුසීගෙන් විමසීමු.

‘‘කොහෙත්ම නැහැ. මෙතැන දිවා ආහාරය සහ රාත‍්‍රී ආහාර ගැනීමේ අවන්හලක් ලෙසත් විවෘතයි. උදෑසන 11 සිට රාත‍්‍රී 12.30 පමණ තෙක් මෙය විවෘතව තබනවා. බදාදා සිට ඉරිදා දක්වා සජීව සංගීත කණ්ඩායමක මිහිර විඳගත හැකියි. දැනට මෙලෙසින් පවත්වාගෙන යන අතරේ වෙනත් පාටි උත්සව ගැන අපි පසුව සලකා බලනවා’’

සුසී පැවසූ පරිදි ඒ සියල්ල යථාර්ථයක්ම බව මේ රාත‍්‍රීයේදී අපට පසක් වූ කරුණකි. මෙම (කිව්බා) අවන්හල විවෘත කෙරුණු මොහොත සඳහා දෙස් විදෙස් ක‍්‍රිකට් තරු රැසක් ආරාධනා ලැබ සිටියහ. ඒ අතරින් වත්මනෙහි ක‍්‍රිකට් ලොව සම්මාන පිට සම්මාන ලැබූ කුමාර් සංගක්කාර ද සිටීම විශේෂත්වයකි. සුළු මොහොතකට හෝ මෙතැනට පැමිණ හිටපු අග‍්‍රගණ්‍ය ක‍්‍රීඩක සනත්ට සුබ පතා යන්නට තරම් ඔහු නිහතමානී විය.

එහෙනං......සනත් අයියේ සුබපැතුම්......මම ගිහින් එන්නම්......කියා ඔහු කීවේය.

"බොහෝම ස්තූතියි සංගා මල්ලි මෙච්චර කාර්ය බහුල මොහොතක විනාඩියකට හරි මෙතැනට ආවාට" කියා සනත් ද පෙරළා ඔහුට ස්තූතිය පුද කළේය.

සංගාට අමතරව ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, ඇන්ජෙලෝමැතිව්ස්, ජීවන් මෙන්ඩිස් සිය බිරිඳ සහ පුතු සමඟ පැමිණ සිටියේය. සනත් මාලිංග සහ අජන්ත, ඇන්ජෙලෝ සහ ජීවන් සමඟ සතුටු සාමිචියේ යෙදී සිටියදී ඩිල්ෂාන් ද බිරිඳ සමඟ පැමිණියේය. මේ සියලූ දෙනා බොහෝම හැඩකාර විදියට සැරසී හැඩවී සිටියා පමණක් නොව ඡායාරූප ගැනීම සඳහා මාධ්‍ය හමුවේ පෙනී සිටියේ වඩාත් මිත‍්‍රශීලීවය. 


මෙම ක‍්‍රිකට් තරුවලට අමතරව ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ විවිධ තරු මෙන්ම අනර්කලී ඇතූළු කලා ක්‍ෂේත‍්‍රයේ තරු ද දේශපාලන ක්‍ෂේත‍්‍රයේ ජනප‍්‍රිය චරිත ද පැමිණ සනත් ඇතුළු පිරිසට සුබ පතා යන්නට අමතක කළේ නැත. 

හෝරාවක දෙකකට පමණක් සීමා වූ මෙම විවෘත කිරීමේ උත්සවයට පැමිණි අමුත්තන්ට රසවත්ව ආහාරපානවලින් සංග‍්‍රහ කළ අතර ලෝ ප‍්‍රකට කළු ඇමරිකානු ගායන ශිල්පියකු ගීතවත් කළ සංගීතය ද ඒ සියල්ලෝ අපූරුවට විඳගත්හ. තරු පිරිවරාගත් ඒ මොහොත සැබැවින්ම සුන්දර අවස්ථාවක් විය.!
 
Related Posts with Thumbnails