Ads 468x60px

.

2013 සම්පුර්ණ අයවැය යෝජනාවලිය මෙන්න.

විශ්‍රාමිකයන්ට රු. 500ක සහ 750ක ජීවන වියදම් දීමනාවක්‌...

ස්‌ථිර ජීවනෝපායක්‌ නැති 65 ඉක්‌මවූ ජූලි වර්ජකයින්ට රු.5000ක්‌...

හුදකලා පාසල් දරුවන්ට නොමිලේ පාවහන් සහ අමතර නිල ඇඳුමක්‌...


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුව හමුවේ ඊයේ දිනයේ ඉදිරිපත් කරන ලද 2013 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය මෙහි දැක්වේ. 

විදේශ මත්පැන් බදු 25 කින් ඉහළට

කුඩා ව්‍යාපාරවලට වැට්‌ සහ අමතර බදු සහන

නියඟයෙන් වගා හානි වූ ගොවීන්ගේ ණය කපා හැරේ

කොටස්‌ වෙළෙඳපොළට එන සමාගම්වලට බදු විරාම

මෝටර් වාහන ආදායම් බලපත්‍ර ගාස්‌තු වැඩිවේ

සියලුම රජයේ සේවකයන්ට 2013 වසරේදී රුපියල් 1500 ක මාසික දීමනාවක්‌ සහ විශ්‍රාමිකයන්ට මසකට රුපියල් 500ක සහ 750ක ජීවන වියදම් දීමනාවක්‌ ලබා දීමට යෝජනා කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (08 වැනිදා) පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවැසීය.

එමෙන්ම 2013 ජනවාරි මස 01 වැනිදාට වයස අවුරුදු 65 ඉක්‌මවූ ජීවනෝපාය මාර්ගයක්‌ නොමැති ජූලි වර්ජකයන්ට මසකට රුපියල් 5000 ක දීමනාවක්‌ ලබා දීමට ද ජනාධිපතිවරයා යෝජනා කළේය. ඒ සඳහා රුපියල් මිලියන 300 ක්‌ වාර්ෂිකව වෙන් කෙරේ.


ඊට අමතරව 2004 වසරට පෙර විශ්‍රාම ලත් රජයේ සේවකයන්ට රුපියල් 750 ක විශේෂ මාසික දීමනාවක්‌ ද, 2005 - 2006 කාලය තුළදී විශ්‍රාමලත් අයට රුපියල් 500 ක විශේෂ මාසික දීමනාවක්‌ ද ගෙවීමට ජනාධිපතිවරයා යෝජනා කළේය. ලබන වසරේ රජයේ සේවක දීමනාව අවම වශයෙන් මසකට රුපියල් 1500 කින් වැඩි කිරීමට ද ඉන් රුපියල් 750 ක්‌ ජීවන වියදම් වශයෙන් සියලුම දෙනාට 2013 ජනවාරි මාසයේ සිට ගෙවන බව ද ජනාධිපතිවරයා අය - වැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේය. ඉතිරිය රුපියල් 750 ක අවමයකට සහ රුපියල් 2500 ක උපරිමයකට යටත්ව මූලික වැටුපෙන් සියයට 5 ක දීමනාවක්‌ ලෙස ක්‍රියාත්මක කරන බව ද කී ජනාධිපතිවරයා ඉන් සියයට 50 ක්‌ මැයි මාසයේ සිට ද ඉතිරි සියයට 50 සැප්තැම්බර් මාසයේ සිට ද ගෙවන ලෙස යෝජනා කරන බව ද කීය.

මෙම දීමනා මාණ්‌ඩලික ශ්‍රේණිවල නිලධාරීන් නොවන අයට ගෙවීමට යෝජනා කරන බව ද මාණ්‌ඩලික ශ්‍රේණිවල නිලධාරීන්ට මෙම දීමනාවෙන් සියයට 50 ක්‌ ජුලි මස සිටත් ඉතිරිය ඔක්‌තෝම්බර් සිටත් ගෙවීමට යෝජනා කරන බව කීය. රජයේ සේවක අග්‍රහාර රක්‍ෂණ වාරිකය රුපියල් 125 ක්‌ ලෙස සංශෝධනය කිරීමට ද යෝජනා කළ ජනාධිපතිවරයා හුදකලා පාසල්වලට ඇතුළුවන සෑම දරුවකුටම නොමිලේ ධාන්‍ය, බිත්තර හා කිරි සහිත ආහාර ලබා දීමට යෝජනා කළේය.

මෙම දරුවන්ට වසර මැද දී තවත් නිල ඇඳුමක්‌ ලබා දෙන බව ද දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන්ට නොමිලේ පාවහන් යුගලයක්‌ ලබා දීමට ද යෝජනා කළේය.

විදේශ රැකියා කර පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නිවාස ණය පහසුකම් සැපයීමට පියවර ගැනේ.

සෙසු අයවැය යෝජනා

නියඟයෙන් පීඩාවට පත් ගොවීන්ගේ වගා ණය කපා හැරේ.

වගා වන්දි ලබාදීමට රුපියල් මිලියන 100 ක්‌.

කෘමිනාශක සෘජු හා වක්‍ර බදු ඉවත් කෙරේ.

රජයේ හා පෞද්ගලික අංශයේ වැටුප් සකස්‌ කිරීමේ ජාතික ප්‍රතිපත්තියක්‌ හා ඒ සඳහා කමිටුවක්‌ පත් කෙරේ.

තේ වගාවට සහනාධාර වැඩි කෙරේ.

* අන්තර්ජාල ගාස්‌තු සඳහා අදාළ විදුලි සංදේශ බද්ද සියයට 20 සිට සියයට 10 දක්‌වා අඩු කෙරේ.

* කොටස්‌ වෙළෙඳපොළේ අලුතෙන් ලැයිස්‌තුගත කර මහජනතාවට සියයට 20 ක අවම කොටස්‌ ප්‍රමාණයක්‌ නිකුත් කරන සමාගම් සඳහා වසර තුනක අර්ධ බදු විරාමයක්‌.

* විදෙස්‌ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විසින් මෙරට කරනු ලබන ආයෝජන සඳහා වසර තුනක බදු විරාමයක්‌.

* වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 12 කට අඩු ව්‍යාපාර සඳහා ජාතිය ගොඩනැඟීමේ බද්දෙන් හා එකතු කළ අගය මත බද්දෙන් නිදහස්‌ කෙරේ.

* කාර්තුවකට රුපියල් කෝටි 50 ක පිරිවැටුමක්‌ ඉක්‌මවන සුපිරි වෙළෙඳසල් හා ඉහළ මට්‌ටමේ වෙළෙඳ ව්‍යාපාර සඳහා ජාතිය ගොඩනැඟීමේ හා එකතු කළ අගය මත බදු පැනවේ.

* වසරකට රුපියල් 250,000 ක අවම බද්දක්‌ ගෙවන්නන්ට වාහන සඳහා ලබාදෙන බදු සහනය පුළුල් කෙරේ.

* ගුවන්තොටුපළ ගාස්‌තු ඩොලර් 10 කින් සහ ඔන් ලයින් වීසා ගාස්‌තු ඩොලර් පහකින් වැඩි කෙරේ.

* බදු සහන යටතේ ගෙන්වන සියලු වාහන සඳහා වන බදු සියයට 10 ත් 20 ත් අතර ප්‍රතිශතයකින් වැඩි කෙරේ.

* ඔට්‌ටු සඳහා අය කෙරෙන වාර්ෂික ලියාපදිංචි ගාස්‌තුව රුපියල් මිලියන 2 දක්‌වාත්, සූදු සමාජශාලා සඳහා රුපියල් මිලියන 100 දක්‌වාත් වැඩි කෙරේ. සූදු සහ සමාජශාලාවල දළ පිරිවැටුමට සියයට 5 ක බද්දක්‌ පැනවේ.

* විදේශයන්ගෙන් ආනයනය කරන මත්පැන් හා ස්‌ප්‍රිතු සඳහා වන තීරු බද්ද සියයට 25 කින් වැඩි කෙරේ.

* පොහොර සහනාධාරය ලබන සියලුම ගොවීන්ට වගා රක්‍ෂණ ක්‍රමයක්‌ යෝජනා කර ඇත.

* ජල විදුලිය, සූර්ය බලශක්‌තිය හා අනෙකුත් නැවත ජනනය කළ හැකි ව්‍යාපෘතිවල ආයෝජනය කරන්නන්ට අවශ්‍ය විදෙස්‌ උපකරණ ආනයනයේදී අයකරන බදු ඉවත් කෙරේ. එකී ව්‍යාපාරවල ආදායම් බද්ද සියයට 12 දක්‌වා අඩු කෙරේ.

* වී කිලෝවක සහතික මිල රුපියල් 32 ත් 35 ත් දක්‌වා වැඩි කෙරේ. කාබනික පොහොර භාවිත කරන ගොවීන්ට රුපියල් 40 ක සහතික මිලක්‌ යෝජනා කෙරේ.

* සීනි, හකුරු, පැණි කර්මාන්තය දිරිගැන්වීම සඳහා කිතුල් ගස්‌ මෙන්ම පොල් ගස්‌ මැදීමට ඉඩ දේ.

* කුකුළු මස්‌ හා බිත්තර නිෂ්පාදන ආදායම් බද්ද සියයට 10 දක්‌වා අඩු කෙරේ.

* කුඩා තේ වතු හිමියන්ට ලබා දෙන සහනාධාරය හෙක්‌ටයාරයට රුපියල් ලක්‍ෂ තුනේ සිට තුන්ලක්‍ෂ පනස්‌දහස දක්‌වා වැඩි කෙරේ. නව වගාවන් සඳහා වන සහනාධාරය රුපියල් එක්‌ලක්‍ෂ පනස්‌දහසේ සිට රුපියල් දෙලක්‍ෂ පනස්‌ දහස දක්‌වා වැඩි කෙරේ.

* කාබනික පොහොර භාවිත කර නිපදවන තේ අපනයනයේදී අය කරන ආදායම් බද්ද සියයට 12 දක්‌වා අඩු කෙරේ.

* කුඩා ව්‍යාපාර ජාතිය ගොඩනැගීමේ හා එකතු කළ අගය මත බද්දෙන් නිදහස්‌ කෙරේ. එම ක්‍ෂේත්‍රයේ සියයට 10 ක ආදායම් බද්ද රුපියල් කෝටි 50 ක වාර්ෂික පිරිවැටුමක්‌ ලබන ව්‍යාපාර දක්‌වා පුළුල් කෙරේ.

* ඇඟලුම් කර්මාන්තවල නිෂ්පාදනයට යොදා ගන්නා උපාංග ආනයනය කිරීමේදී වරාය හා ගුවන්තොටුපළ බද්ද සියයට 5 සිට සියයට 2.5 දක්‌වා අඩු කෙරේ.

* මෝටර් වාහන ආදායම් බලපත්‍ර ගාස්‌තුව 2013 ජනවාරි මස සිට වැඩි කෙරේ.

* රේස්‌ තරග සඳහා භාවිත කරන විශේෂ වාහන නිෂ්පාදන බද්දෙන් නිදහස්‌ කෙරේ.

* විදේශිකයන් සඳහා ඉඩම් විකිණීම මුළුමනින්ම තහනම් කෙරේ.

* දේශීය වෙදකම් පුළුල් කිරීම සඳහා රුපියල් කෝටි 30 ක්‌ ලබන වසරට වෙන් කෙරේ.

* විශ්වවිද්‍යාලවලට අතිරේක සිසුන් 5,000 ක්‌ ඇතුළත් කර ගැනීම නිසා අදාළ පහසුකම් වැඩි කිරීමට රුපියල් කෝටි 400 ක පරිපූරක ප්‍රතිපාදනයක්‌ වෙන් කෙරේ. විශ්වවිද්‍යාල කාර්යමණ්‌ඩල වැටුප් මෙන්ම ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමටද මෙම මුදල වෙන් කෙරේ.


Budget Speech 2013 Sin


සන්ධාන ආණ්ඩුවේ අටවැනි අයවැය සාරාංශය - 2013

 
Related Posts with Thumbnails