Ads 468x60px

.

නිට්ටඹුවේ කට්ටඩියෙක් තරුණියක් තනිකරගෙන දරුවකු ලබා දුන් හැටි...

කට්ටඩියාගේ කරේ තිබූ සුරය පැළඳ වූ පසු දරුවන් නැති තරුණිය වෙනත් ගැහැනියක් වෙලා...

ග‍ලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණ කාන්තාවක් විවාහ වී වසර එකහමාරක් ගතවීත් දරුවකු  නොලැබිම හේතුවෙන් දරුවකු ලබා ගැනීම අරමුණු කරගෙන කට්ටඩියකුගේ පිහිට පැතුවාය.

ඇයට ඒ සඳහා  මාර්ගෝපදේශකත්වය ලැබි තිබුණේ ඥාති සහෝදරියකගෙනි. 

නිට්ටඹුව හා බැලුම්මහර යන ප්‍රදේශවල දේවාල පවත්වාගෙන යන මෙම කට්ටඩියා ඉහත කී තරුණ  කාන්තාවට දරුවකු ලබාදීම සඳහා ශාන්තිකර්මය ආරම්භ කර තිබුණේ පසුගිය 14 දා රාත්‍රියේ ඇගේ ඥාති සහෝදරියගේ නිවසේදීය. 

කට්ටඩියා තරුණිය තනිකරගෙන ඇය භූතාත්මයකට රැගෙන යන බව පවසා බිය ගන්වා ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවද පැවැසේ. කෙසේ හෝ ඉන්පසු මෙම කාන්තාව සිහිසුන් වී ඇත. 

 
මෙයින් බියට පත් කට්ටඩියා නොයෙකුත් මන්තර මතුරමින් කාන්තාවගේ ප්‍රකෘති සිහිය ගන්නට උත්සාහ කළද එය අසාර්ථක වී තිබේ. අවසානයේ කරන්නට වෙන දෙයක් නොමැති තැන තමන්ගේ කරේ තිබූ සුරය ගලවා කාන්තාවට පළඳවා ඇත්තේ අවසන් උපක්‍රමය ලෙස විය හැකිය.

කෙසේ හෝ එසැනින් මේ කාන්තාවට සිහිය ලැබි තිබේ. නමුත් ඉන් පසු ඇය පෙනී සිට ඇත්තේ සුරංගි යනුවෙන් අන් කෙනෙකු ලෙසිනි. 

පසුව ඇගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් ග‍ලේවෙල ‍පොලීසියට පැමිණිලි කර ඇති අතර කාන්තාව යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ශාන්තිකර්ම කිරීමට ඔවුනට සිදුව ඇති බව පැවැසේ.මෙම කාන්තාවට කට්ටඩියා වෙතින් ලිංගික අතවරයක් සිදු වූයේද නැද්ද යන්න අවිනිශ්චිතය. 

නමුත් කට්ටඩින් තමන්ගේ පිහිට පතා පැමිණෙන කාන්තාවන්ගේ ගැටලුවල සුලමුල අසා ඔවුන්ගේ දුර්වල ගති ස්වභාවයන් හඳුනාගෙන ඒ ඔස්සේ ගොස් ලිංගික අපයෝජනයට ලක් කිරීම අපේ රටේ නිරන්තරයෙන්ම සිදුවන තත්ත්වයකි. බොහෝ විට සදාකාලික රහස් ලෙස පවතින මෙම නිහඬ අතවර ගැන කතා කරන සොයා බලන කෙනෙක්ද නැත. 

තමන්ගේ මානසික පීඩනයන්ට පිළිසරණ ලබා ගැනීමේ අදිටනින් කට්ටඩියන් වෙත ගොස් ඒ නිහඬ අතවරවලට ඉඩදී ඒවා විඳ දරාගෙන සිටින කාන්තාවන් සේම ඒවා නිසා මහත් කම්පනයකට පත්ව අවසානයේ මානසික ව්‍යාකූල තත්ත්වයන්ට ලක්වන කාන්තාවන්ද හිඟ නැත.

අනපේක්ෂිත ලෙස මෙබඳු අතවරයකට මුහුණ දෙන්නට  සිදුවන කාන්තාවකගේ මනසට මෙමගින් විය හැකි හානිය පිළිබඳව අප විමසා සිටියේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය රුමි රූබන් මහතා වෙතිනි.
 
හිස්ටීරියා ගණයේ පෞරුෂ ලක්ෂණ සහිත දුර්වල සිත් ඇති අය අප සමාජයේ කොතෙකුත් සිටිති. මෙවැනි අය බොහෝ විටම යැපෙන්නේ අනෙක් අයගේ සිතුවිලි, අදහස් හා තීරණ මතය. මෙවැනි අයට විශාල මානසික පීඩනයක් දැනුණු විට තමන්ගේ සිතේ ඇති අදහස් කෙළින්ම ප්‍රකාශ කිරීමේ ශක්තියක් නැත.  මානසික පීඩනයක් ඇති අවස්ථාවල නිවැරැදි තීරණ ගැනීමද අසීරුය. 

එසේම එවැනි අවස්ථාවක ඇති වන මානසික පීඩනයට ඔරොත්තු දෙන්නට නොහැකි  වීම නිසා ඔවුහු කලබලයට පත්වෙති. ලොකු මානසික පීඩනයකට මුහුණ දෙන්නට සිදු වූ විට එම පීඩනය විවිධ ක්‍රම මගින් පිටතට විදාරණය වීමට පුළුවන. ඒ බොහෝ විට ශාරීරික රෝග තත්ත්වයක් ලෙසිනි. සමහර අවස්ථාවල එය වලිප්පු රෝග තත්ත්වයක් ලෙස මතුවේ.  

නමුත් එය කායික රෝගයක් මත ඇති වන වලිප්පු රෝග තත්ත්වයක් නොව මානසික හේතු මත ඇති වන්නකි. එසේම මානසික පීඩනය නිසා අතපය පණ නැතිවීම, මුළු ශරීරයම පණ නැති වීම, සිහි නැතිව ඇද වැටීම වැනි ඕනෑම තත්ත්වයක් ඇතිවිය හැකිය. මෙසේ සිහි නැතිව ඇද වැටී දරදඬු තත්ත්වයට පත් වීම විඝටන සම්මෝහය හෙවත් Dissociative stupore ලෙස මනෝ වෛද්‍ය විද්‍යාවෙහි දැක්වේ.

මෙවැනි අයකු ප්‍රකෘති තත්ත්වයට පත් වන්නේ කෙසේද?
 මනසේ පීඩනය අඩු වනවිට ප්‍රකෘති තත්ත්වයට පත්විය හැකිය.එසේම හිතේ පවතින දුක, කනගාටුව ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දුන් විටද ප්‍රකෘති තත්ත්වයට පැමිණේ.  

විඝටන සම්මෝහය යනු විඝටන අබාධය හෙවත්  Dissociative Disorder නමින් හඳුන්වන මානසික රෝග කාණ්ඩයේ එක් ලක්ෂණයකි. මෙම තත්ත්වයේදී අනෙක් අයගෙන් ලැබෙන මානසික ඇනවුම් මත ඒ තත්ත්වයෙන් මිදීමට පුළුවන. 

ඉහත කී සිද්ධියේ එන කට්ටඩියා තමන්ගේ  ගෙලෙහි පැළඳ තිබූ සුරය එම කාන්තාවට දැමීමද මෙවැනි මානසික ඇනවුමකි. එසේම මෝහන ප්‍රතිගමනය තුළින්ද රෝගියාට මානසික ඇනවුම් ලබාදිය හැකිය. මෙහිදී තමන්ට එම ප්‍රතිකර්ම යොදන පුද්ගලයා කෙරෙහි ඇති විශ්වාසය මත විඝටන ආබාධ තත්ත්වය සුව වනු ඇත. 

ඇතැම් විට ඒ තත්ත්වය සුව වීම වෙනුවට එය අන් අතකට පෙරළීමටද පුළුවන. ඒ අනුව ඔවුන් තමන්ගේ නියම පෞරුෂත්වය තුළින් පෙනී සිටීමට අසීරු නම් වෙනත් පෞරුෂත්වයකින් පෙනී සිටීම සිදුවිය හැකිය. එවිට කලින් පෞරුෂත්වයේදී තිබූ මානසික පීඩනය දවෛනි පෞරුෂත්වයේදී දැනෙන්නේ නැත. 

මෙය ඒ පුද්ගලයා හිතා මතා කරන්නක් නොවේ. එය යටි සිත විසින් යොදනු ලබන උපක්‍රමයකි. එවිට ඒ  පුද්ගලයා මුහුණ දී හිඳින   මානසික ගැටුම මතින් ඇතිවන පීඩනය අඩුකර ගත හැකි වනු ඇත.මිය ගිය පුද්ගලයන්, දෙවියන්, භූතයන් ආරූඪ වීම ආදිය මීට උදාහරණයන්ය. 

යටිසිත මේ ආකාරයට සිදු  කරනු ලබන්නේ ගැටලුවට මුහුණ දුන් පුද්ගලයා තුළ ඇති මානසික පීඩනය අඩු කිරීම සඳහාය.මෙවැනි අයට ඔවුන්ගේ මානසික ගැටුම නිරාකරණය කර ගැනීම සඳහා අන් අයගේ උපකාර අවශ්‍ය වේ. මනෝ් විද්‍යාත්මක උපදෙස්  මෙහිදී ඉතා වැදගත්  වනු ඇත.
 
Related Posts with Thumbnails