Ads 468x60px

.

අගවිනිසුරුවරිය‍ට එරෙහිව දෝෂාභියෝගයෙන් බරපතළ චෝදනා

නීතිය සාධාරණ වන්නේ, වරදක් සිදුවූ අවස්ථාවේ දී වරදට දඩුවම් දීමත්, ඒ වරදේම මූලය මිස වෙන කිසිවක් එකී දඩුවම සඳහා පාදක කර නොගැනීමත් මතය.

වරදක් සිදුවන අවස්ථාවේ පියවරක් නොගෙන සිටි කිසි බලාධිකාරියකට එම වරද වෙනත් අවස්ථාවක දී පියවර ගැනීමේ සදාචාරමය අයිතියක් හිමිවන්නේ නැත.


අගවිනිසුරුවරිය‍ට එරෙහිව දෝෂාභියෝගයෙන් බරපතළ චෝදනා මෙසේය...

* වත්කම් ප්‍රකාශවල නැති ගිණුම් විස්සක් එකම බැංකුවේ.

* උපයාගත් ආකාරය හෙළි නොකළ රු.19,362,500 මුදලක්.


* මිලියන 34ක විදේශීය මුදල් තැන්පත් කිරීමේ තොරතුරු වසන් කරලා.


* වෙනත් විනිසුරු මඩුල්ලක් විභාග කළ සෙලින්කෝ නඩුව තමන් වෙත පවරාගෙන.


* සෙලින්කෝ ආයතනයෙන්ම විශේෂ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කරගෙන නිවසක් මිලට අරන්.


* තමන්ට එරෙහිව නඩුවක් ගොනු කළ නීතිඥයාගේ සහෝදරියක වූ මහේස්ත්‍රාත් ඈන් ස්වර්ණාධිපතිට හිරිහැර කරලා.


* අධිකරණවල නඩු කාරණා විය හැකි හෝ මත භේදයට ඉවහල් වන කරුණු හෝ සම්බන්ධයෙන් කටයුතු කරලා.


* ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීන් සිටිය දී ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ නිලධාරීයෙකු අධිකරණ සේවා කොමිසමේ ලේකම් තනතුරට පත් කරලා.


* තමන්ගේ ලිපි පළ කළ මාධ්‍ය ප්‍රකාශන අංශය අයත් ආයතනයේ පෙත්සම් අසා තීරණයක් ලබා දීලා.


* අග්‍රවිනිශ්චයකාර තනතුරට නොගැළපෙන පැවැත්මක්.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඊයේ (06) ඇතුළත් කර තිබේ. 



ඒ අනුව එකී දෝෂාභියෝග යෝජනාව පිළිබඳ කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව දැනුවත් කරනු ඇත. කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝග යෝජනාවට අනුව අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා 14 ක් ඉදිරිපත් කර තිබේ.

දෝෂාභියෝග චෝදනා මෙසේය.

චෝදනා අංක 1

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් වන සෙලින්කෝ ශ්‍රී රාම් කැපිටල් මැනේජ්මන්ට්, ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් කම්පැනි සහ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරැන්ටි කම්පැනි ලිමිටඩ් යන සමාගම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක පිළිවෙළින් 262/2009, 191/2009 සහ 317/2009 දරන නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් විනිසුරු මඬුල්ලක් විසින් විභාග කරමින් තිබියදී, එකී නඩු එම විනිසුරු මඬුල්ලෙන් ඉවත් කර, තම අධිකරණයේ වැඩිදුර විභාගය සඳහා ගෙන එම නඩු විභාග කිරීමේ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරමින් එම නඩුවල විෂයය වස්තුවක් වන්නා වූ සෙලින්කෝ නිවාස සහ දේපළ සමාගම නමින් හැඳින් වූ, සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්ටේට් කම්පැනි ලිමිටඩ් සහ සෙලින්කෝ කොන්ඩොමිනියම් ලිමිටඩ් නමින් හැඳින්වූ වර්තමානයේ ට්‍රිලියම් රෙසිඩන්සීස් නමින් හඳුන්වනු ලබන ආයතනයට අයත්, කොළඹ 08, ඇල්විටිගල මාවතේ, අංක 153 දරන ස්ථානයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක 262/2009 දරන නඩුවේ දේපළ ලැයිස්තුවේ සඳහන් නිවාස ව්‍යාපෘතියෙන් අංක 2 සී එෆ් 2/ පී 4 සහ වරිපනම් අංක 153/1-2/4 දරන නිවස, ඕස්ට්‍රේලියාවේ, බටහිර ඕස්ට්‍රේලියා 6016 හි, මවුන්ට් භෝතෝර්න් හි, එජිනා වීදියේ, අංක 127 දරන ස්ථානයේ පදිංචි රේණුකා නිරංජලි බණ්ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනා විසින් ලබාදෙන ලද ප්‍රසිද්ධ නොතාරිස් කේ. බී. අරෝෂි පෙරේරාගේ අංක 823 දරන විශේෂ ඇටර්නි බලපත්‍රය උපයෝගී කරගෙන රේණුකා නිරංජලි බණ්ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනාගේ නමට මිල දී ගැනීම.

චෝදනා අංක 2

ඉහත කී දේපළ මිල දී ගැනීම සඳහා ගෙවීම් කිරීමේ දී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් 19,362,500 ක මුදලක් එම දේපළ ඳල දී ගැනීමට පෙර එම දේපළ විකුණන ලද සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්ටේට් කම්පැනි ලිමිටඩ් සහ ට්‍රිලියම් රෙසිඩන්සීස් සමාගමට මුදලින් ගෙවීම,

චෝදනා අංක 3

එන්ඩීබී බැංකුවේ, කොළඹ 07, ධර්මපාල මාවතේ පිහිටි ශාඛාවේ 106450013024, 101000046737, 100002001360 සහ 100001014772 යන ගිණුම්වලට 2011 අප්‍රේල් 18 සිට 2012 මාර්තු 27 දින දක්වා කාලය තුළ රුපියල් මිලියන 34 ක පමණ විදේශීය මුදල් තැන්පත් කිරීමෙන් පසු එම තොරතුරු අධිකරණ නිලධාරියෙකු විසින් ලබා දිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීම,

ඇටෝනි බලපත්‍රයක් යොදාගෙන නිවාසය මිලදී ගෙන ඇත්තේ දැන් ට්‍රිලියම් රෙසිඩන්සිස් ලෙස හඳුන්වන සෙලින්කෝ කොන්ඩොමිනියම් ගොඩනැගිල්ල.

චෝදනා අංක 4

ඉහත කී එන්ඩීබී බැංකු ශාඛාවේ ගිණුම් අංක 106450013024, 101000046737, 100002001360, 100001014772, 100002001967, 100101001275, 100110000338, 100121001797 සහ 100124000238 දරන ගිණුම් නවයක් ඇතුළුව විවිධ බැංකුවල බැංකු ගිණුම් විස්සකට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යමින්, එකී තොරතුරු අධිකරණ නිලධාරියෙකු විසින් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීම,

චෝදනා අංක 5

දැනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවතින වර්ෂ 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභා පනත යටතේ අල්ලස් සහ / හෝ දුෂණ ක්‍රියාවලට අදාළ වරදවල් සම්බන්ධයෙන් නීති කෘත්‍යයන්වලට එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මියගේ නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණි සුරාජ් කාරියවසම් මහතා සැකකරුවෙකු වන හෙයින්ද ;

ඉහත කී අල්ලස් හෝ දුෂණ නඩුව විභාගවීමට නියමිත වූ එකී අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා මාරු කිරීම, විනය පාලනය සහ ඉවත් කිරීමේ බලතල පැවරී ඇති අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිධුරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ(2) ව්‍යවස්ථාව අනුව එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින් දරන හෙයින්ද ;

එකී අධිකරණය විසින් පවත්වාගෙන යනු ලබන අධිකරණ වාර්තා, රෙජිස්ටර් සහ වෙනත් ලේඛන පරීක්ෂා කිරීමේ බලතල අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරිය වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඌ(3) ව්‍යවස්ථාව යටතේ එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය වෙත පැරවී ඇති හෙයින්ද;

ඉහත කී ආකාරයට ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මියගේ නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණි සුරාජ් කාරියවසම් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති අල්ලස් හෝ දූෂණ චෝදනාවලට අදාළ නීති කෘත්‍යය හේතුවෙන් අග්‍ර විනිශ්චයකාර ධුරයේ තව දුරටත් ක්‍රියා කිරීමට එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය නුසුදුස්සෙකු වන හෙයින් ද අග්‍ර විනිශ්චයකාර ධුරයේ ඇය අඛණ්ඩව ක්‍රියා කිරීම හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය ඉෂ්ට කිරීම සඳහා බාධාවක් වීම සහ යුක්තිය පසිඳලීම පිළිබඳ මූලික සිද්ධාන්ත එමගින් උල්ලංඝනය වන බැවින් සහ යුක්තිය ඉටුවීම පමණක් නොව යුක්තිය ඉටුවන බවට දෘශ්‍යමාන විය යුතු හෙයින් ;

චෝදනා අංක 6

මුල් අවස්ථා අධිකරණවල ජ්‍යෙෂ්ඨ නිලධරයන් අතුරෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා පත්කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඌ ව්‍යවස්ථාව මගින් ප්‍රතිපාදන සලසා තිබියදී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය අග්‍රවිනිශ්චයකාරවරිය වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ඇගේ නිල තත්ත්වයෙන් ක්‍රියා කරමින් , මුල් අවස්ථා අධිකරණයන්හි සුදුසු ජ්‍යෙෂ්ඨ අධිකරණ නිලධාරීන් සිටියදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වශයෙන් එසේ නොවන නිලධාරියෙකු වන මංජුල තිලකරත්න මහතා පත් කිරීමෙන් අධිකරණ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරීමෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරිය වශයෙන් කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඌ ව්‍යස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින් ද;

චෝදනා අංක 7

අංක 2/2012 සහ 3/2012 දරන ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ තීන්දු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යස්ථාව යටතේ වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලය යටතේ පවරන ලද පෙත්සමක පිටපතක් ඒ අවස්ථාවේදීම පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාරදිය යුතු බවට සඳහන්ව තිබියදී , පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට අධිකරණයේ ගොනු කරනු ලැබු පෙත්සමක පිටපතක් භාරදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන සපුරා ඇති බවට එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව නොසලකා හැර සහ / හෝ පටහැනිව ක්‍රියාකර ඇති හෙයින් ද;

ගිණුම් 20ක් පවත්වාගෙන ගිය N D B බැංකුව

චෝදනා අංක 8

අංක 5/91, 6/91, 7/91 සහ 13/91 දරන ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ තීන්දුවලදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණය කර ඇති ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාවේ සඳහන් අනිවාර්ය ක්‍රියාපටිපාටියට අනුකූලව ක්‍රියා කළ යුතු බවට තීරණය කර තිබුණ ද, ඉහත කී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින් එකී ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින් ද;

චෝදනා අංක 9

ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක වශයෙන් පත්කරන අවස්ථාවේදී ඇයගේ පත්වීම අභියෝගයට ලක්කරමින් පවරන ලද ජනාධිපති නීතිඥ එඩ්වඩ් ප්‍රැන්සිස් විලියම් සිල්වා සහ තවත් තිදෙනෙක් එදිරිව ශිරානි බණ්ඩාරනායක (1992 ශ්‍රී ලංකා නව නීති වාර්තා 92) මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත්කරන ලද බහුතර තීරණය නොසලකා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ධුරයට පත්වීමෙන් පසු එකී තීන්දුවට පටහැනිව කටයුතු කර ඇති හෙයින් ද;

චෝදනා අංක 10

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක වීමට ප්‍රථම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරියකව සිටියදී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මියගේ ලිපියක් ප්‍රකාශයට පත්කර තිබූ Ground View නමැති මාධ්‍ය ප්‍රකාශන අංශය අයත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නමැති ආයතනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ තීන්දු පෙත්සම් අංක 02/2012 දරන පෙත්සම් අසා තීරණයක් ලබා දී ඇති හෙයින් ද;

චෝදනා අංක 11

අග්‍රවිනිශ්චයකාර ධුරය දරනු ලබන සහ එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිධුරය දරනු ලබන ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාල බණ්ඩාරනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ධුරයකට පත්කිරීමේ යෝග්‍යතාව අභියෝගයට ලක්කරන ලද ජනාධිපති නීතිඥ එඩ්වඩ් ප්‍රැන්සිස් විලියම් සිල්වා සහ තවත් තිදෙනෙක් එදිරිව ශිරානි බණ්ඩාරනායක (1992 ශ්‍රී ලංකා නව නීති වාර්තා 92) නඩුවේදී එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මියගේ පත්වීමට එරෙහිව කුරුප්පුගේ බීටා ඈන් වර්ණසූරිය ස්වර්ණාධිපති මහේස්ත්‍රාත්වරියගේ සහෝදරයා වූ නීතිඥ එල්. සී. එම්. ස්වර්ණාධිපති යන අය පෙත්සමක් ඉදිරිපත් කිරීම හේතුවෙන්, එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින් එකී මහේස්ත්‍රාත් කුරුප්පුගේ බීටා ඈන් වර්ණසූරිය ස්වර්ණාධිපතිට හිරිහැර සිදුකර ඇති හෙයින් ද,

චෝදනා අංක 12

අග්‍ර විනිශ්චයකාරධූරය දරනු ලබන සහ එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඈ (2) ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිධුරය දරනු ලබන ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඌ ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති ඇගේ ව්‍යවස්ථානුකූල බලය අභිබවා ක්‍රියාකරමින්, මහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මියට තමාගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට පෙරාතුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරය ලබාගන්නා ලෙස නියම කිරීම මඟින්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතා විසින් ඇයට සිදුකළ හිංසනය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කිරීම සඳහා රංගනී ගමගේ මහේස්ත්‍රාත්වරියගේ නීතියේ පිහිට ලබා ගැනීමේ අයිතියට බාධා එල්ල කර ඇති හෙයින් ද;

චෝදනා අංක 13

එකී ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින් අග්‍ර විනිශ්චයකාරවරිය වශයෙන් සහ ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඈ(2) ව්‍යවස්ථාව ප්‍රකාරව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති වශයෙන් ක්‍රියාකරමින්, තම බලය අනිසි ලෙස භාවිතා කරමින් මහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මියට පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට පෙරාතුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරය ලබාගන්නා ලෙස නියම කරමින් ඇයට පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට ඇති නීත්‍යානුකූල අයිතිය ක්‍රියාත්මක කිරීම වළක්වා ඇති හෙයින් ද;

චෝදනා අංක 14

තම නීත්‍යානුකූල අයිතිය ක්‍රියාත්මක කරමින් මහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය විසින් පොලිස්පතිවරයාගෙන් ආරක්ෂාව ඉල්ලා සිටීම පිළිබඳව විනය පරීක්ෂණයක් නොපැවැත්විය යුත්තේ ඇයි ද යන්න පිළිබඳ එකී මහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මියගෙන් නිදහසට කරුණු විමසමින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ලෙස ක්‍රියා කරමින් ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මගින් ලිපියක් යොමුකර ඇති හෙයින් ද;

ඉහත කී ආකාරයෙන් කටයුතු කිරීම මඟින්,

(I) අනිසි පැවැත්මක් හෝ අග්‍රවිනිශ්චකාර ධුරය දරන්නෙකුට නොගැලපෙන අන්දමේ පැවැත්මක් හෝ ස්ථාපිත වන බැවින් ද,

(II) අධිකරණවල නඩු කාරණා විය හැකි කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න හෝ මතභේදයට ඉවහල් වන කරුණු සම්බන්ධයෙන් අදාළ වන සහ / හෝ විය හැකි කරුණු සම්බන්ධයෙන් කටයුතු කර ඇති බැවින් ද,

(III) සාධාරණ යුක්තිය සලසාලීම කෙරෙහි බලපෑම් ඇති කරඇති හෙයින්ද,

(එම) නඩු පාර්ශ්වයන් විසින් පක්ෂපාතිත්වය සහ / හෝ අපක්ෂපාතිත්වය පිළිබඳ චෝදනා එල්ල කිරීමට ඉඩ ඇති හේතු ඇතිවිය හැකි බැවින් ද, මුළු මහත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ විශේෂයෙන්ම අග්‍ර විනිශ්චයකාර ධුරය අපකීර්තියට පත් කර ඇත්තේ ය.

එබැවින් ඉහත සඳහන් විෂමාචාර චෝදනා හේතුවෙන්, එම විෂමාචාර චෝදනා පිළිබඳව පරීක්ෂා කර එම චෝදනා එකක් හෝ එයට වැඩි ගණනක් ඔප්පු වී ඇතැයි විශේෂ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබුවහොත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රවිනිශ්චයකාර පදවියෙන්, ගරු (ආචාර්ය) උපතිස්ස අතපත්තු බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සඳහා යෝජනාවක් අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කළහැකි වන පරිදි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි ඉහත නම් සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අපි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (3) ව්‍යවස්ථාව සමඟ කියැවෙන 107(2) ව්‍යවස්ථාවේ විධිවිධාන සහ, 78 අ දරන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ද ප්‍රකාරව යෝජනා කර සිටිමු.


තමා සභාපතිත්වය දරන විනිසුරු මඩුල්ලක් යටතේ විභාග වන නඩුවක විෂය වස්තුවක් වන දේපළක් වෙනත් අයගේ නමට මිලදී ගැනීම, විවිධ බැංකුවල බැංකු ගිණුම් 20ක් පමණ පවත්වාගෙන යාම, ඒවායින් එන්.ඩී.බී. බැංකුවේ ගිණුම් 4 ක් වෙත මාස 11 ක කාලයක් තුළදී රුපියල් මිලයන 34 ක් වටිනා විදේශ මුදල් තැන්පත් කිරීම ඇතුළු චෝදනා 14 ක් ඇතුළත් අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව  ඊයේ (06) පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරුණි. 

මන්ත්‍රීවරුන්‍ 117 දෙනෙකුගේ අත්සනින් යුතුව අදාළ යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරුණි. චෝදනා 14 කින් යුත් ‍එම දෝෂාභියෝග යෝජනාවට අත්සන් තබා ඇති මන්ත්‍රී නාමලේඛණය මෙසේය.

 
Related Posts with Thumbnails