Ads 468x60px

.

අද ලෝක විනාශය ගැන විද්‍යාත්මක සාක්‍ෂි නෑ - චන්දන ජයරත්න

'විශ්ව භීතිකා' රෝගය ලොව පුරා පැතිරිලා...

අඳුරු ධූම කේතුවක්‌ පෘථිවිය වෙත ඇදී ඒමේ ඉඩක්‌...
 
මෙරට වේලාවෙන් අද (21 වැනිදා) පස්‌වරු 4.41 ට සිදුවෙතැයි පැවසෙන ලෝක විනාශයක්‌ පිළිබඳව කිසිදු විද්‍යාත්මක සාක්‍ෂියක්‌ නොමැති බව අවධාරණය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඒ පිළිබඳ කිසිදු බියක්‌ හෝ සැකයක්‌ ඇති කර නොගන්නා ලෙස ජනතාවට දන්වා සිටිනවා. 

මේ පිළිබඳ මාධ්‍ය මගින් නිරන්තරයෙන් ප්‍රචාරය වීම නිසා කොස්‌මොෆොභියා (විශ්ව භීතිකාව) නමැති රෝගය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවත් හෙතෙම පැවසුවා. 

නාසා ආයතනය, ලොව පුරා සිටින විද්‍යාඥයන් සහ ඇමරිකානු රජය ඒ පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කර ඇති බවත්, මායාවරුන්ගේ වත්මන් නායකයා ද එවැනි විනාශයක්‌ සිදු නොවන බව අවධාරණය කර ඇති බවත් චන්දන ජයරත්න මහතා පැවසුවා.

එහෙයින් මෙම ලෝක විනාශය පිළිබඳ මතය සබන් බුබුලක්‌ වැනි මිත්‍යාවක්‌ බවද හෙතෙම
පැවසුවා.

අන්තර්ජාලයෙන් වෙනත් ක්‍රම මගින් ප්‍රචාරය වන කරුණු විචාරයකින් තොරව වැළඳ ගැනීම ලෝක විනාශයටත් වඩා හානියක්‌ බව සඳහන් කළ මහාචාර්ය චන්දන ජයරත්න මහතා, නවීන තාක්‍ෂණය දියුණු වනවා සේම එය භාවිත කරන මිනිසුන් ද දියුණු විය යුතු බවද
පැවසුවා.

ලෝක විනාශයක්‌ සිදුවිය හැක්‌කේ විශාල ග්‍රහයක්‌ වැදීමෙන් හෝ තෙවැනි ලෝක යුද්ධයකදී භාවිතා විය හැකි න්‍යෂ්ඨික බෝම්බවලින් හෝ තවත් වසර මිලියන හාරදහස්‌ පන්සියයකින් පසුව සූර්යයාගේ හයිඩ්‍රජන් වායුව අවසන් වී සූර්යයා පෘථිවියේ කක්‍ෂය තෙක්‌ විශාල වීමෙන් සිදුවන ගිනිදැල් විහිදුමකින් බව සඳහන් කළ හෙතෙම මෙම අවස්‌ථාව වනවිට එවැනි කිසිදු අවදානමකට පෘථිවිය නතුවී නොමැති බව ද
පැවසුවා.

අඳුරු ධූම කේතුවක්‌ පෘථිවිය වෙත ඇදී ඒමේ ඉඩක්‌...

පෘථිවිය වෙත අඳුරු ධූම කේතුවක්‌ ඇදී ඒමට ඉඩ ඇති බව මහාචාර්ය බෙල් චර්නල් මහත්මිය කියා සිටී. මේ අඳුරු ධූම කේතුව හඳුනා ගැනීම දුෂ්කර බවත් එහි විශාල වශයෙන් දූවිලි පිරී ඇති බවත් ඇය සඳහන් කරයි.

මෙම අඳුරු ධූම කේතුව පෘථිවිය සමග ගැටුණොත් දූවිලි වළාවක්‌ වායුගෝලයට එක්‌වී බිලියන ගණනාවක්‌ ජනතාව දුෂ්කරතාවන්ට පත්වන බව ඇය අනතුරු අඟවා සිටී.

මේ අතර ආචාර්ය ඩෙට්‌ රොකරි පවසන්නේ සුපිරි ගිනිකන්දක්‌ පිපිරී එහි දූවිලි වළාවන් වායුගෝලයට එක්‌වී පෘථිවියට අහිතකර තත්ත්වයක්‌ ඇතිකරන බවයි.

මෙයට සමාන ප්‍රකාශයක්‌ කරන ඇමරිකානු භූ විද්‍යා සමාජයේ හිටපු සභාපති බ්‍රයන් ලිට්‌ල් පවසන්නේ මුහුද යට නායයැම් සිදුවී මීතෙන් වායු නිධි පෘථිවියේ වායුගෝලයට එක්‌වී විනාශකාරී තත්ත්වයන් ඇති වන බවත්ය.


අද සිට යළිත් වැසි විපත්...- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

පසුගිය දින කිහිපයේ ජල ගැලීම් හා නාය යැම් තත්ත්වයන් ඇති වූ ප්‍රදේශ රැසකට අද (21 වැනිදා) සිට යළිත් වැස්‌සෙන් විපත් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන්ම උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලට සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල මහත්මිය පැවසුවාය.

නාය යැමෙන් බරපතළ හානි සිදුවූ මාතලේ දිස්‌ත්‍රික්‌කයට නැවතත් වැසි ඇතිවීමෙන් තවදුරටත් නාය යැම් අවදානමක්‌ පවතින බවද ඒ මහත්මිය කීවාය.

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්‌වභාවය හේතුවෙන් මෙසේ තවදුරටත් වැසි ඇතිවිය හැකි බවද කරුණාපාල මහත්මිය සඳහන් කළාය. 
 
Related Posts with Thumbnails