Ads 468x60px

.

මට කාටවක්වත් ස්තුතියි කියන්න ලැබුනේ නැහැ - හිටපු අගවිනිසුරුවරිය කඳුළු සලමින් කියයි..!

ප්ලීස් ලුක් ආෆ්ටර් ත්‍රි ඔෆ් අස්..

අපි තුන් දෙනාව බලාගන්න.. 

මම හැමදාම ඉන්නේ මහජනතාව එක්ක...

තමන්ට මේ මොහොතේ සාධාරණයක් ඉටුනොවූවත්, ස්වභාවධර්මයත් කාලයත් යම් දිනයක සාධාරණය ඉටුකරනු ඇතැයි හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය පවසනවා.මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය ඒ බව සදහන් කර තිබෙනවා.

තවදුරටත් නිල නිවසෙහි හෝ නිල මැදිරියෙහි හෝ මා රැඳීසිටියහොත් ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් සිදුවීමට බෙහෙවින් ඉඩ ඇති බැවින්, නිල මැදිරියෙන් හා නිල නිවසෙන් ඉවත්වීමට තීරණය කල බවත්, රටේ අහිංසක ජනතාව, විනිසුරුවරුන් කනිෂ්ඨ නීතිඥවරුන් සහ මීට කැපවුණු පුද්ගලයන් වෙත ප‍්‍රචණ්ඩත්වය එල්ලවීම වැළැක්වීම එහි අරමුණ බවත් ඇය එහි සදහන් කර
තිබෙනවා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් චෝදනාවන්ට ලක්කොට අසාධාරණ හා අත්තනෝමතික ලෙස වරදකාරිය කරනු ලැබූවද, නීතිය ඉදිරියේ  තමා  නිවැරදිකාරිය කරනු ලැබ ඇතැයි ඇය
පවසනවා.

නව අගවිනිසුරු ධුරයේ දිවුරුම් දීමත් සමග අද සවස්වරුවේ හිටපු සිය පවුලේ උදවිය සමගින් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු නිල නිවෙසින් නික්ම ගි‍යා.

පොලීසිය විසින් ඇයට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට අවස්ථාව ලබානොදුන් අතර අගවිනිසුරුවරිය සිය වාහනයේ යමින් සිටියදී හැඟුම්බරව කල කතාව පහතින් වේ.

"මට කාටවක්වත් ස්තුතියි කියන්න ලැබුනේ නැහැ මට ..මට අවස්තාවක් හම්බ උනේ නැහැ..මම නිවේදනයක් නිකුත් කරනවා..මම අවරුදු 16 ම වැඩ කලේ

බොහොම ස්ථිරසාරව නීතියට අනුකුලව..මම හැමදාමත් හිතුවෙ මගේ මහජනතාව ගැන... (වාහනය ගන්නයි පොලිසියේ බාධා කිරීම්. "පොඩ්ඩක් ගන්න වස්තුව " යනුවෙන් වාහනය එලවන පුතුට කියන අතර මාධ්‍යවේදීන් වාහනය නොගන්න ලෙසට විරුද්ධ වෙයි)

මම හැමදාම ඉන්නේ මගේ ආදරණිය මහජනතාව එක්ක...(පොලසිය - ඒයි ගන්න කියන්නකෝ ඕක) මම හැමදාම ඉන්නේ අපේ ආදරණිය ජනතාව එක්ක..එකේ කිසිවෙනසක් නැහැ.බොහොම ස්තුතියි..
බොහොම ස්තුතිය..මම නිර්දෝෂයි..මම නිර්දෝෂයි..(පොලීසිය : ඕක ගන්නවා අයිසේ..ගන්න ගන්න ගන්න වාහනේ ගන්න)


ප්ලීස් ලුක් ආෆ්ටර් ත්‍රි ඔෆ් අස්..අපි තුන් දෙනාව බලාගන්න.. මම හැමදාම ඉන්නේ මහජනතාව එක්ක...මම හැමදාම ඉන්නේ මහජනතාව එක්ක...එකේ වෙනසක් වෙන්නේ නැ"

'' මට විරුද්ධව නගා ඇති චෝදනා මුළුමනින්ම අසත්‍යය. සියලූ චෝදනාවන්ට මා සම්පූර්ණයෙන්ම නිවැරදිකාරිය වන අතර, එකී චෝදනාවල සත්‍යයේ අංශුමාත‍්‍රයක් හෝ පැවතුණේ නම් අග‍්‍රවිනිශ්චයකාර ධුරයෙහි, මෙම උත්තරීතර තනතුරෙහි මා මොහොතක් වත් රැඳීසිටින්නේ නැත. 


එහි ඩේලි මිරර් වීඩියෝව පහතින්   



අග‍්‍රවිනිශ්චයකාරවරිය හැටියටත්, පුරවැසියකු සහ කාන්තාවක හැටියටත් ඔබ ඉදිරියෙහිනැගීසිටින්නට මට හැකිවී තිබෙන්නේ මගේ නිවැරදිභාවය නිසා'' යයිද  හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය සිය නිවේදනයේ සදහන් කර ඇත.

එම නිවේදනය සම්පුර්ණයෙන් පහත පළවේ.

මම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ හතළිස් තුන්වන අග‍්‍රවිනිශ්චයකාරවරිය වෙමි.

අග‍්‍රවිනිශ්චයකාරවරිය වශයෙන් මේ රටේ විනිශ්චයකාරවරුන්, නීතිඥයන් සහ පුරවැසියන් උදෙසා වූ නොසැලෙන වගකීමක් මා වෙත තිබේ.
මා අද ඔබ ඉදිරියේ නැගී සිටින්නේ අසාධාරණ ලෙස පීඩනයට, අපවාදයට හා හෙළාදැකීමට පත්කරනු ලබමිනි. පසුගිය සති කිහිපය තුළ මා වෙත දක්වන ලද සැලකීම්, ජනරජයෙහි අග‍්‍රවිනිශ්චයකාරවරිය තබා සාමාන්‍ය පුරවැසියකුවත් නොලැබිය යුතු තරම් වේදනාකාරී ඒවාය.

අවුරුදු පනස් හතරක මගේ ජීවිත කාලයෙන් අවුරුදු තිස් දෙකක් අඛණ්ඩව කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මම මගේ මව්බිම වෙනුවෙන් සේවය කර ඇත්තෙමි. අවාසනාවකට ඒ වෙනුවෙන් මට ලැබුණු තෑග්ග නම් මේ අයුක්තිසහගත සැලකිල්ලයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් චෝදනාවන්ට ලක්කොට අසාධාරණ හා අත්තනෝමතික ලෙස වරදකාරිය කරනු ලැබූවද, නීතිය ඉදිරියේ මම නිවැරදිකාරිය කරනු ලැබ ඇත්තෙමි.

එම තීරණයන්, මට අඛණ්ඩව මගපෙන්වන හා මාද බලවත් ලෙස විශ්වාස කරන ස්වාභාවික යුක්තියේ මූලධර්ම හා නීතියේ නිසි ක‍්‍රියාදාමය අනුගමනය කරමින් එම උපරිමාධිකරණ විසින් ලබාදුන් ඒවා වීම මට මහත්අස්වැසිල්ලක් ගෙනදෙයි.

ගරු කථානායකවරයාද පිළිගත් පරිදි, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ඇති එකම සහ අනන්‍ය බලය සහිත අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගියදා ලබා දුන් අර්ථනිරූපණය මගින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවත් එහි ක‍්‍රියාපිළිවෙලත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී බවට පැහැදිලිව ප‍්‍රකාශ කළේය.

ඊට අමතරව, අභියාචනාධිකරණය විසින් විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවෙහි තීරණය රිට් ආඥාවක් මගින් අවලංගු කරන ලදි. ඒ අනුව, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ තීරණය නීතියට පිටින් ගිය, ශුන්‍ය හා බලරහිත එකකි. ඊට නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගුභාවයක් හෝ නැත. පාර්ලිමේන්තුව විසින් යොදාගන්නා ලද ක‍්‍රියාදාමයද බෙහෙවින් දෝෂ සහගතය.


මේ කරුණු මත, නීතියේ ආධිපත්‍යය මූලික පදනම වූ සහ මූලික නිදහස පවතින, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස හඳුන්වනු ලබන මාගේ රටෙහි තවමත් නිසි ලෙස පත්කරන ලද නීත්‍යනුකූල අග‍්‍රවිනිශ්චයකාරවරිය මම වෙමි.
මේ ක‍්‍රියාදාමය තුළ අග‍්‍රවිනිශ්චයකාර ධුරය පමණක් නොව අධිකරණයේ ස්වාධීනත්වයද බලහත්කාරයෙන් පැහැරගෙන තිබේ. නීතියේ පාලනය, නීතිය අනුගමනය කිරීම හා ස්වාභාවික යුක්තියේ මූලධර්ම යන සංකල්පයන් පිටමංකර ඇතිවා පමණක් නොව කෲර ලෙස විකෘති කොට තිබේ.


මා පීඩාවට පත්කොට ඇත්තේ ස්වාධීන අධිකරණයක් වෙනුවෙන් සහ, අනිසි බලපෑම්වලට එරෙහිව මා පෙනීසිටි නිසාය. ජනතාව උත්තරීතර වන හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා නීතියේ පාලනය පිළිගන්නා ජනරජයක නීතියේ ආධිපත්‍යය පැවතුණේ නම් මෙවැනි අසාධාරණ ලෙස මා දඬුවම් නොලබනු ඇත.


මට විරුද්ධව නගා ඇති චෝදනා මුළුමනින්ම අසත්‍යය. සියලූ චෝදනාවන්ට මා සම්පූර්ණයෙන්ම නිවැරදිකාරිය වන අතර, එකී චෝදනාවල සත්‍යයේ අංශුමාත‍්‍රයක් හෝ පැවතුණේ නම් අග‍්‍රවිනිශ්චයකාර ධුරයෙහි, මෙම උත්තරීතර තනතුරෙහි මා මොහොතක් වත් රැඳීසිටින්නේ නැත. අග‍්‍රවිනිශ්චයකාරවරිය හැටියටත්, පුරවැසියකු සහ කාන්තාවක හැටියටත් ඔබ ඉදිරියෙහිනැගීසිටින්නට මට හැකිවී තිබෙන්නේ මගේ නිවැරදිභාවය නිසාය.


තවදුරටත් නිල නිවසෙහි හෝ නිල මැදිරියෙහි හෝ මා රැඳීසිටියහොත් ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් සිදුවීමට බෙහෙවින් ඉඩ ඇති බැවින්, නිල මැදිරියෙන් හා නිල නිවසෙන් ඉවත්වීමට තීරණය කළෙමි.

රටේ අහිංසක ජනතාව, විනිසුරුවරුන් කනිෂ්ඨ නීතිඥවරුන් සහ මීට කැපවුණු පුද්ගලයන් වෙත ප‍්‍රචණ්ඩත්වය එල්ලවීම වැළැක්වීම එහි අරමුණයි. මාගේ අවුරුදු දහසයක ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජීවිතය මා කැපකර තිබෙන්නේ මේ රටේ, මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකිරීම සඳහාය.

මගේ උපරිම හැකියාවෙන් මිනිසුන්ගේ ජීවිත හා මිනිසුන්ගේ නිදහස, දරුවන්ගේ නිදහස, දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම මගේ අවංක වගකීම ලෙස මම හැමවිටම සැලකුවෙමි. එමෙන්ම මම ඒ උදෙසා කටයුතු කළෙමි.


අධිකරණයේ ස්වාධීනත්වය යන ශ්‍රේෂ්ඨ පරමාර්ථය වෙනුවෙන් මා සමග කටයුතු කළ සියලූම දෙනාට මම ස්තුතිවන්ත වෙමි.මට මේ මොහොතේ සාධාරණයක් ඉටුනොවූවත් ස්වභාවධර්මයත් කාලයත් මට යම් දිනයක සාධාරණය ඉටුකරනු ඇත.


බොහෝදෙනා පැමිණෙති. බොහෝදෙනා නික්ම යති. තනතුරෙහි රැඳීසිටින පුද්ගලයා කවරඅවස්ථාවකවත් වැදගත් නොවේ. වැදගත් වන්නේ අධිකරණයෙහි ස්වාධීනත්වයේ අඛණ්ඩ පැවැත්මයි.
ස්තුතියි.


ආචාර්ය ශිරාණි ඒ. බණ්ඩාරනායක
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ හතළිස් තුන්වන අග‍්‍රවිනිශ්චයකාරවරිය.
2013-01-15

1-1

2-2

4-1
 
Related Posts with Thumbnails