Ads 468x60px

.

එහෙම කෙනෙක් මුණ ගැහිලා මගේ හිත ගියොත් මං එතැන නවතිනවා - චංචලා කියයි

බොහෝ දෙනෙක් මට කියන්නෙ මං නපුරුයි, ආඩම්බරයි කියලා... 

මට දුක දැනුණම හරියට රිදෙනවා...

සුදු හාමිනේ කියන්නෙ වලව්වක ඉපදිලා මවුපියන්ට හොරෙන් කළු අප්පුත් එක්ක පැනල ගිහින් කසාද බැඳලා දුක්විඳින ගැහැනියක්.

වලව්වක සැප සම්පත් වින්ද සුදු හාමිනේ කළු අප්පුත් එක්ක ඇවිත් දුකේ වැටුණා මදිවට කළු අප්පුගෙන් ගුටි බැට කන්නත් සිදුවෙනවා.

අගහිඟකම් මැද්දේ මොන දුක් ගැහැටක් වින්දත් ඇය කළු අප්පුට දක්වන්නේ පුදුම ආදරයක්. මේ ටෙලි නාට්‍යයේ දෙබස් තදින්ම හිතට වදිනවා. ඒ නිසා ඒ චරිතය ඇතුළෙ තියෙන සංවේදීකම මට තදින්ම දැනෙනවා. 

ඒ නිසාම මට දුක්බර අවස්ථාවලදී හැබෑවටම ඇඬුණා. කොයිම වෙලාවක වත් මට ග්ලිසරින් පාවිච්චි කරන්න වුණේ නෑ. චංචලා අපිත් එක්ක කිව්වේ එහෙමයි.

මේ 'සර් ලාස්ට් චාන්ස්, පායා එන්න හිරු සේ, මුතු සළඹ, සිහිනය දිගේ එන්න, සමනල සංධ්වනිය' චිත්‍රපටවල මං රඟපෑ චංචලා සමඟ කල කතා බහක්. එම කතාව පහතින්.

සුදු හාමිනේ මුහුණ දෙන ප්‍රශ්න නිසා ඔයාට සංවේදීකමක් ඇති වෙන්න නම් ඔයත් යම් තරමකට සංවේදී චරිතයක් වෙන්න ඕනෑ.
ඔව්. මං හරිම සංවේදීයි. බොහෝ දෙනෙක් මට කියන්නෙ මං නපුරුයි, ආඩම්බරයි කියලා. මට දුක දැනුණම හරියට රිදෙනවා. ඒක සුදු හාමිනේගේ චරිතයේදී විතරක් නෙවි තවත් චරිතවලදී මට දැනුණු දෙයක්.

ප්‍රංශයේ දීර්ඝ කාලයක් පදිංචි වෙලා ඉඳලා, එහෙම උසස් අධ්‍යාපනය හැදෑරූ ඔයාට සුදු හාමිනේ වගේ චරිතයක වේදනාව දැනෙන්නේ කොහොමද?
ප්‍රංශයේ ජීවත් වුණාට මං ඉපදුණේ හැදුණේ වැඩුණේ දෙනගම. ගැමිකම මං හොඳට දන්නවා. දුක, වේදනාව මට හොඳට හුරුයි. පුංචි සන්දියේදීම මගේ තාත්ති මට නැති වුණා. තාත්තගේ මරණයත් එක්ක මරණය කියන්නේ මොකක්ද කියල මට තේරුණේ පුංචි සන්දියේදිමයි. මාත් මැරෙනව කියල දැනගෙනයි මං හැම දෙයක්ම කරන්නේ.

ප්‍රංශයේදී ඔබ නිරූපණ ශිල්පිනියක්...
ඔව්. මං ප්‍රංශයේ නිරූපණ වලට පෙනී සිටියා. එහිදී මං හිටිය නිරූපණ දැකල ප්‍රවීණ නිළි සුමනා අමරසිංහ ඒක බොහොම අගය කළා.

ඔයාට තියෙන්නෙ නිල් පාට ඇස් දෙකක්?
ඔව්. ඒක මගේ උපතින්ම ආපු එකක්. ඒත් සමහරු ඒක විශ්වාස කරන්නේ නැහැ. 'පායා එන්න හිරු සේ' චිත්‍රපටයේ රඟපාන්න ගියාම උදයකාන්ත අයියා මට කිව්වා ඔය නිල් පාට ලෙන්සස් ගලවලා එන්න කියලා. එතකොට මම කිව්වා එහෙම නම් මට ඇස් දෙක නැතුව තමයි රඟපාන්න වෙන්නෙ කියලා.

රංගනය දැන් ඔයාගේ වෘත්තියද?
මං රඟපෑමට ආදරෙයි. බොහොම ආසාවෙන් ඒක කරනවා. හැබැයි මං කවදාවත් රංගනය වෘත්තිය කරගන්න යන්නෙ නෑ. ඒ නිසාම මට නිදහසේ චරිත තෝරා බේරාගෙන රඟපාන්න පුළුවන්.

ඔබ ප්‍රංශයේදී ගායිකාවක් හැටියටත් ප්‍රසිද්ධ වුණා නේද?
ඔව්. ගීත නව ආරකින් කීම සඳහා තෝරා ගත්තේ මාවයි. ලෝක ප්‍රකට ඒ ගීතයේ අයිතිය දැන් මා සතුයි.

චංචලා රඟපෑමට එක්වුණේ කොහොමද?
මං ඉස්සෙල්ලාම ඊටෙලි නාට්‍ය කිහිපයකම පෙනී සිටියා. මොහාන් නියාස් එක්ක එකක් කරන්න ගියාට පස්සේ මට 'සීතාම්බර සළු' කියන ටෙලි නාට්‍යයේ රඟපෑම සඳහා වරම් ලැබුණා. ඉන්පස්සේ 'පුතුනි හඹා ගිය, කඩවර ගෙදර, සතර දෙනෙක් සෙන්පතියෝ, ගුරු ගීතය, සිරි වාසල, හංසි' ටෙලි නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා. 


ළඟදීම විකාශනය වීමට නියමිත 'දෙවන මවු, සෙනෙහස සුවඳයි. දේදුන්නෙන් එහා, දිය මත අඳිමි, ඉසුරු විමන' ටෙලි නාට්‍ය වලිනුත් මං ප්‍රේක්‍ෂකයන් හමුවට එනවා.

චිත්‍රපටවලත් චංචලාගේ රඟපෑම් දකින්න ලැබුණා...
'සර් ලාස්ට් චාන්ස්, පායා එන්න හිරු සේ, මුතු සළඹ, සිහිනය දිගේ එන්න, සමනල සංධ්වනිය' චිත්‍රපටවල මං රඟපෑවා.

නිරූපණ ශිල්පිනියක් සහ නිළියක් හැටියට ඔයාට යම් බලපෑම්වලට මුහුණ පාන්න සිදුවී තිබෙනවද?
මං ජීවත්වන විදියක් තියෙනවා. ඒ පිළිවෙළ නිසා මට වැඩ කිරීම පහසුයි. ඒ පිළිවෙළ මං පුංචි කාලෙම මගේ ගෙදරින්ම හදාගත්ත එකක්. යුරෝපය වගේ රටක ඉතා විනයානුකූල ජීවිතයට හුරු වුණු මට මෙහෙ ජීවත්වීම අපහසු නෑ.

දැන් ඔබ ආදරවන්තියක්ද?
තවම නෑ. ආදරය බඩගින්න, නිදිමත වගේ වචනයක් කරගන්න මං කැමැති නෑ. මං කවදාහරි ආදරය කරන්නේ මාව විශ්වාස කරන, මාව අගය කරන, මට ආරක්‍ෂාව දෙන්න පුළුවන්, මට මඟ පෙන්වන කෙනකුටයි. එහෙම කෙනෙක් මුණ ගැහිලා මගේ හිත ගියොත් මං එතැන නවතිනවා. 


හැබැයි මට ඒකට අම්මගේ ආශිර්වාදයත් ඕනෑ වෙනවා. මං මගේ අම්මට බොහොම ගරු කරනවා. තාත්ති නැති වුණාට පස්සේ අම්මා තමයි අපේ ජීවිතය ගොඩනැඟුවේ. අම්මාට ආදරේ කරනවා වගේම මං තාමත් අම්මට හරිම බයයි.
 
Related Posts with Thumbnails