Ads 468x60px

.

පෘථිවියේ ගෑවී නොගෑවී අපේ කන ළඟින් යන ග්‍රහකය ගමන් කරන්නේ පෙබරවාරි 16 දා...

මෙම ග්‍රහකය නිසා පෘථිවිය සමීපයෙන් යන චන්ද්‍රිකාවලට අවදානමක්...

මෙම මස 16 වනදා පෘථිවිය ආසන්න යෙන්ම යාමට සැර සෙන ග්‍රාහකයක් ගැන විදේශීය ජන මාධ්‍ය විසින් තොරතුරු හෙළි කර තිබෙනවා.

මීටර 45ක පමණ විශ්කම්භයකින් එනම් පාපන්දු පිටියකින් හරි අඩක් පමණ ප්‍රමාණයකින් යුතු  2012 DA14 ලෙස නම් කර ඇති මෙම ග්‍රාහකය, පෘථිවියට කෙතරම් ආසන්න වනුයේ දැයි කියතොත්, පෙබරවාරි 15 වන දිනට ආසන්නවත්ම සාමාන්‍ය දුරේක්ෂයකින් එය නිරීක්ෂණය කළ හැකි බව පැවසෙනවා.

මෙය වාර්තා සහගත සමීපතාවයක් බවත් 1990 සිට සාමාන්‍ය ආකාශ ගවේෂණ (Sky Surveys) ආරම්භ කළදා පටන් මෙතරම් විශාල වස්තුවක් පෘථිවියට මෙතරම් සමීපව පැමිණෙනු කිසිදාක දැක නොමැති බවත් NASA  ආයතනයේ Near Earth Object Program හි විද්‍යාඥ දොන් යෙඕමන්ස් විසින් මාධ්‍ය වෙත පවසා තිබුණා. 

ඉතා වේගයෙන් ගමන් කරන බැවින් පෘථිවියට ආසන්නවත්ම මෙම ග්‍රාහකය සෑම මිනිත්තුවකදීම අංශකයක් එනම් පූර්ණ චන්ද්‍රයාගේ පළල මෙන් දෙගුණයක් පමණ චලනය වන ආකාරයට පෙනෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ආසන්නතම අවස්ථාවේදී එනම් පෙබරවාරි 16 වන දින, ඉන්දියානු වේලාවෙන් උදෑසන 12.55ට පෘථිවි මධ්‍යයේ සිට කිලෝමීටර 34,100ක පමණ දුරකින් හෙවත් පෘථිවිය මතුපිට සිට කිලෝමීටර් 28,000ක පමණ දුරකින් මෙය ගමන් කරනු ඇති බව ඉන්දියාවේ Birla institute of fundamental Research ආයතනයේ පර්යේෂණ සහ ශාස්ත්‍ර අංශයේ අධ්‍යක්ෂ දෙබි‍පොසාද් දුආර් විසින්, මාධ්‍ය වෙත ප්‍රකාශ කර
තිබුණා.

සාමාන්‍යයෙන් අභ්‍යවකාශ වස්තූන් සම්බන්ධයෙන් කතා කිරීමේදී මෙය ඉතාම ආසන්න තත්ත්වයක් වන අතර එනම් මෙය පෘථිවියේ සිට එහි උප ග්‍රහයා වන චන්ද්‍රයාට ඇති දුර මෙන් දහයෙන් පංගුවක් පමණ වන අතර පෘථිවිය වටා ගමන් කරන චන්ද්‍රිකාවලටත් වඩා මෙය පෘථිවියට ආසන්න බවත් ඔහු වැඩිදුරටත් පවසා
තිබෙනවා.

2012 පෙබරවාරි 23 වන දින ස්පාඤ්ඤයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දී මුල්වරට සොයා ගත් මෙම ග්‍රාහකය, ඉන් සතියකට පසු පෘථිවියට කිලෝමීටර් මිලියන 1.6ක දුරකින් ගමන් කර ඇත. මෙට්‍රික්ටොන් 130,000ක් පමණ වන ඉතා දැඩි පාෂාණවලින් සැදුම් ලත් මෙහි කක්ෂීය කාලය දින 366ක් බව
පැවසෙනවා.

තාරකා විද්‍යාඥයින්ගේ ගණනය කිරීම්වලට අනුව මෙම ග්‍රාහකය පෘථිවිය සමග ගැටීමක් ඇතිවීමට කිසිසේත්ම ඉඩක් නොමැති බව පැවසෙන අතර, පෘථිවිය වටා සැරිසරන චන්ද්‍රිකාවන් එකිනෙක අතර කිලෝමීටර 95ක පමණ අවකාශයක් පවතින බැවින් චන්ද්‍රිකාවක් සමග  ගැටීමට ද  ඉඩක් නොමැති බැව්
පැවසෙනවා.

මෙම ග්‍රාහකය මීළඟට අප හට සමීප වන්නේ වර්ෂ 2046, පෙබරවාරි 16 වන දින වන අතර, එවිට එය පෘථිවි මධ්‍යයේ සිට කිලෝමීටර් 60,000ක පමණ දුරකින් ගමන් කරනු ඇති බව
පැවසෙනවා.

NASA ආයතනයේ Goldstone රේඩාර් පද්ධතිය මගින් මෙහි ගමන්මග සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනයක් සිදු කරනු ඇතැයි පැවසෙන අතර පෙබරවාරි 16-20 අතර කාලය තුළ මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටිනා බව
පැවසෙනවා.

මෙය පෘථිවිය මත පතිත වුවහොත් එහි බලපෑම, ප්‍රබල පුපුරණ ද්‍රව්‍යයක්  වන TNT මෙගා ටොන් 2.5ක පිපිරුමකට සමාන තරම් වනු ඇති බව
පැවසෙනවා. යෙඕමන්ස් පවසන පරිදි සැතපුමක් පමණ පළලින් යුතු ඇරිසෝනාහි සුප්‍රසිද්ධ ආවාටය ද වසර 50,000කට පමණ පෙරදී ප්‍රමාණයෙන් මේ හා සමාන වුවද යකඩවලින් සංයුක්ත වූ අභ්‍යවකාශ වස්තුවක් කඩා වැටීම නිසා ඇති වන්නට ඇත. 

එය සැතපුම් 50ක් පමණ දුරකට බලපා ඇති බව පැවසේ. 1908 දී ද මේ හා සමානම ප්‍රමාණයකින් යුතු අභ්‍යවකාශ වස්තුවක් සයිබිරියාවට ඉහළින්  පුපුරා ගිය බව පැවසෙන අතර එමගින් වර්ග සැතපුම් සිය ගණනක වනාන්තර පද්ධතියක්  සහමුලින්ම විනාශ වී ගිය බව පැවසෙනවා.   

Tunguska Event  ලෙස හඳුන්වන මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ සිදුවන අතර මෙහිදී කඩා වැටුණේ යැයි සැලකෙන වස්තුව තවමත් අබිරහසකි. අභ්‍යවකාශ ගවේෂණයෙහිලා පුවත් මැවූ වසරක් වන 2013, ආරම්භයේදීම Apophis (99942 Apophis) නම් ග්‍රාහකයක් ජනවාරි මාසය මුලදී පෘථිවියට කිලෝමීටර මිලියන 14.5ක් ඈතින් ගමන් කළේය.

පැරණි ඊජිප්තු ආගමික විශ්වාසවලට අනුව, නපුරට අධිපති ලෙස සැලකෙන Apophis නම් දේව නාමයෙන් හඳුන්වනු ලැබූ, පළලින් මීටර 275ක් වන මෙම ග්‍රාහකය, 2004 දී මුල්වරට සොයා ගන්නා විට වූ විශ්වාසයට අනුව 2029 දී පෘථිවිය හා ඝට්ටනයක් ඇතිවේ යැයි අනුමාන කෙරිණි. 

නමුත් එම අවස්ථාවේ 2013දී 2012DA14 මෙන්, 2029 දී මෙය ද පෘථිවියට කිලෝමීටර 30,000ක් පමණ ආසන්නයෙන් ගමන්  ගනු ඇති බවට පසුව සනාථ විය. නමුත් 2036 අප්‍රේල් 13 වන දිනදී මෙය පෘථිවිය හා ගැටීමේ යම් තරමක ඉඩක් ඇති බව ප්‍රකාශ කොට ඇත.

NASA ආයතනයේ ගණනය කිරීම්වලට අනුව Apophis පෘථිවිය හා ඝට්ටනය වුවහොත් එය TNT මෙගා ටොන් 500කට සමාන ප්‍රතිඵලයක් ගෙන දෙනු ඇති බව පැවසේ. මතෛක් ලොව පිපිරුණු විශාලතම හයිඩ්‍රජන් පරමාණු බෝම්බය ලෙස සැලකෙන Soviet Tsar Bomba නම් බෝම්බයේ බලපෑම වූයේ ද මෙගා ටොන් 57ක් පමණක් බැව් පැවසේ.


නාසා ආයතනය පවසන මෙම කුඩා ප්‍රමාණයේ ග්‍රහකය (Asteroid) පෘථිවියට සමීප වෙමින් පවතින අතර ඩා ෆෝර්ටීන් 2012 නමින් හඳුන්වා ඇති මෙම ග්‍රහකය මේ මස 15දා පෘථිවියට සැතපුම් 17,500ක් සමීපව ගමන් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයීය භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පැවැසීය. 

2012දී ස්පාඤ්ඤ විද්‍යාඥයන් පිරිසක් විසින් සොයා ගනු ලැබ ඇති මෙම ග්‍රහකයේ විෂ්කම්භය මීටර් 45ක් පමණ ඇති වේ.වසර 15ට පසුව පෘථිවිය සමීපයෙන්ම ගමන් කරන මෙය  තත්පරයට සැතපුම් 8ක වේගයකින් ගමන් කරනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. කෙසේ වෙතත් මෙය පෘථිවියේ ගැටීමේ අවදානමක් නැතැයි නාසා ආයතනය තහවුරු කර තිබේ. 

ඇතැම් විට පෘථිවිය වටා යන චන්ද්‍රිකාවලට නම් මෙමගින් යම් හානිදායක තත්ත්වයක් ඇතිවිය හැකි යැයි මහාචාර්ය චන්දන ජයරත්න කීය. ග්‍රහකයක් යනු අභ්‍යවකාශයේ පාවෙන ගල් කැබලි වැනි ද්‍රව්‍යයක් වේ. යකඩ වැඩිපුර අඩංගු නම් යකඩ වර්ගයේ ග්‍රහක ලෙසත්, පාෂාණ වැඩිපුර අඩංගු නම් පාෂාණ වර්ගයේ ග්‍රහක ලෙසත් ඒවා හඳුන්වයි.

මේ සතියේ පෘථිවියේ කණ ලඟින් යන 2012 DA 14 ග‍්‍රාහකය...
 
Related Posts with Thumbnails