Ads 468x60px

.

මම තවම පෙම්වතියක් නෙමෙයි - විනූ උදානි...

මම දෙමව්පියන්ට විරුද්ධ වෙන කෙනෙක් නෙමෙයි...

දැන් බොහෝ දෙනෙක් ඇය අමතන්නේ ‘පාරමී’ කියාය. ඒ මේ දිනවල දෙරණ නාළිකා වෙන් විකාශය වන “පිපෙන මල්” ටෙලි නාට්‍යයේ පාරමී ලෙස කරන රංගනය නිසාය. ඇය විනූ උදානි සිරිවර්ධන

විනූ 2012 වසරේදී ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළු පළන් යුවතියයි. එසේම ඇය ලෝක සංචාරක රූ රැජන තරගයට ද ශ්‍රී ලංකාව නියෝජනය කළාය. විනූ අපගේ රංගන ක්ෂේත්‍රයට පායා එන තරුවක් ලෙස හැඳින්වීම නිවැරැදිය. 

මේ විනූ උදානි එක්ක කල කතා බහක්.

ඔබට රංගනයට එක්වෙන්න අවස්ථාව ලැබුණේ රූ රැජනක් වුණාට පසුවද?

ඔව් 2012 අවුරුද්දේ මම ශ්‍රී ලංකා රූ රැජින තරගය ජයග්‍රහණය කළාට පසුව එයින් ලැබුණු ප්‍රසිද්ධියත් සමඟ තමයි මට රංගනයට එන්න ආරාධනා ලැබුණේ.

ඔබේ පාසල් කාලය ගෙවුණේ කොහොමද?

මම පාසල් ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. එහිදී මම අධ්‍යාපන කටයුතුවලට අමතරව බාහිර ක්‍රියාකාරකම්වලටත් සහභාගි වුණා. පාසල් තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව වුණේ මම. පාසලේදී කලා කටයුතු විදියට මම නියැළුනේ නර්තනය සහ චිත්‍ර කියන විෂයන්වල. පාසල් අතර පැවැත්වුණු සමස්ත ලංකා චිත්‍ර නර්තන තරගවලින් මම ජය අරගෙන තියෙනවා. පාසලේදී මම රංගනයට නම් එක්වුණේ නෑ.

ඔබ ජාත්‍යන්තර රූ රැජින තරග සඳහා ලංකාව නියෝජනය කළා නේද?

ඔව් ශ්‍රී ලංකා රූ රැජන වුණාට පසුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අන්තර්ජාතික සංචාරක රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙන්න මට අවස්ථාව ලැබුණා. එහිදී මට හැකි වුණා Best talent අංශයේ මුල් තරගකාරියන් දහදෙනා අතරට එන්න. ඒ වගේම Best National Costume අංශයෙන් මුල් 25 දෙනා අතරට එන්න. මම හිතනව ඒක ලොකු ජයග්‍රහණයක් කියල.

ඔබ හිතන විදියට රූ රැජනක් වෙන්න රූපය පමණක් ප්‍රමාණවත් ද?

රූපය කියන එක මූලික සුදුසුකමක් විතරයි. එවැනි තරගයකින් ජයගන්න නම්, බුද්ධිමත් බවෙනුත් ආත්ම ශක්තියෙනුත් පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕන.

ඔබ රංගනයට පිවිසියේ කොහොමද?

මිස් ශ්‍රී ලංකා තරගය පැවැත්වෙන කාලයේදි තමයි මට මුලින්ම ආරාධනයක් ලැබුණේ ටෙලිනාට්‍යයක රඟපාන්න. ඒ ආරාධනාව මට ඉතාම කනගාටුවෙන් ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා, ඒ දවස්වල මම මිස් ශ්‍රී ලංකා තරගයට සූදානම් වෙන නිසා. මිස් ශ්‍රී ලංකා තරගය ජයගත්තට පසුව දෙරණ නාළිකාවෙන් මට ආරාධනයක් ලැබුණා “පිපෙන මල්” ටෙලිනාට්‍යයේ රඟපාන්න. ඒ ආරාධනය මම සතුටින් බාර ගත්තා. එහෙමයි මම රංගනයට ආවේ.

”පිපෙන මල්” ටෙලිනාට්‍යයේ පාරමී ගැන ප්‍රේක්ෂකයින් මොනවද කියන්නෙ?

මේ මගේ පළමු රංගනය. පාරමී කියන්නෙ දුප්පත් පවුලක කොල්ලෙකුට ආදරය කරන නාගරික පෝසත් පවුලක කෙනෙක්. පාරමීට සමාජයේ ගොඩක් දෙනෙක් ආදරය කරන බව මට ලැබෙන ප්‍රතිචාර වලින් පේනව.

ඔබ පාරමී නම් ඔබත් පාරමී වගේ තීරණ ගන්න කෙනෙක් වේවිද?

පාරමී තමන්ගෙ ආදරය වෙනුවෙන් දෙමව්පියන්ට විරුද්ධ වෙන කෙනෙක්. මම දෙමව්පියන්ට විරුද්ධ වෙන කෙනෙක් නෙමෙයි. මගේ ජීවිතයේ තීරණ ගන්නා විට මගේ දෙමව්පියන්ගේ සහයෝගය ලබාගන්නවා.

ඔබ තාම අධ්‍යාපන කටයුතු කරනවද?

ඔව්. මම උසස්පෙළ වාණිජ අංශයෙන් සමත් වෙලා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අනාගතයේ ඔබගේ වෘත්තීය ලෙස ඔබ තෝරාගන්නේ රංගනය ද? එහෙම නැතිනම් වෙනත් ක්ෂේත්‍රයක් ද?

රංගනයට මම එක්වුණේ ආශාවට. කලාවට සම්බන්ධ වෙන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒක වාසනාවට ලැබෙන දෙයක්. හැබැයි මගේ වෘත්තිය ලෙස රංගනය තෝරා ගන්නේ නෑ. මම උසස් අධ්‍යාපනය හදාරන ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න තමයි බලාපොරොත්තුව.

ඔබ හිතන්නෙ රංගනය සරලයි කියලද?

අපෝ නැහැ. මම කොහොමත් එහෙම හිතන්නේ නෑ. වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක් වෙන්න විශාල දැනුමක් තියෙන්න ඕන; විශාල කැපකිරීමක් කරන්න ඕන. රංගනය කියන්නෙ ඉතාම පුළුල් විෂයක්. රංගනයේ රැඳිල ඉන්න සමාජයේ මිනිසුන්ගේ හැසිරීම් පිළිබඳ හොඳ අවබෝධයකුත් තියෙන්න ඕන. රංගනය සරල දෙයක් නෙමෙයි.

රූ රැජනක් රංගන ශිල්පිනියක් වීම නිසා සමාජයෙන් ලැබෙන ආදරය ගැන මොනවද හිතන්නෙ?

තමන්ගේ දෙමව්පියන්ගේ පවුලේ අයගේ නෑදෑ හිතවතුන්ගේ ආදරයට අමතරව සමාජයක ආදරය ලබන්න තියෙනවා නම් ඒක වාසනාවක්. ඒ වාසනාව මටත් ලැබීම ගැන මම සතුටු වෙනවා.

මොනවද මේ දවස්වල ඔබ නිරතවෙලා ඉන්න කලා කටයුතු

ස්වර්ණවාහිනී නාළිකාවෙන් විකාශය වන ‘තරුමල’ ටෙලිනාට්‍යයේ රූපගතකිරීම්වලට මේ දිනවල සහභාගී වෙනවා. එහි මම නිරූපණය කරන්නේ ගැමි චරිතයක්.ඒ චරිතය “පිපෙන මල්” ටෙලිනාට්‍යයේ පාරමීගේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස්.ගැමි චරිතයක් රඟපෑම මට තරමක අභියෝගයක් වුණා. හැබැයි මම හරිම කැමැත්තෙන් ඒක කළේ.

රංගනයේදී පෙම්වතියක් වෙලා ඉන්න ඔබ දැන් සැබෑ ජීවිතයේදීත් පෙම්වතියක් ද?

නැහැ සැබෑ ජීවිතයේ මම තවම පෙම්වතියක් නෙමෙයි.
 
Related Posts with Thumbnails