Ads 468x60px

.

අලුත්ගම ගනේගම අනාරක්‍ෂිත දුම්රිය වෑන් රථ ගැටුමේ ඇත්ත කතාව...

අලූත්ගම, ගනේගම අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගය හරහා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්‌ (25 වැනිදා) රාත්‍රි දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ හයදෙනෙක්‌ මියගොස්‌ තවත් පස්‌දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා. එහි මියගිය පිරිස තොරණ්‌ බැලීම සඳහා වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි අලුත්ගම පොලිසියට පෙරේදා (25 වැනිදා) රාත්‍රි තොරතුරු ලැබී තිබුනා. 

එහිදී මියගිය පිරිස දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මියගිය පිරිස අතර වයස අවුරුදු හතළිහක පමණ කාන්තාවන් දෙදෙනකු, ගැහැණු දරුවන් තිදෙනෙක්‌ සිටින බව අලුත්ගම රෝහල් ප්‍රකාශකයකු පැවසුවා.අනතුරට පත් මෙම පිරිස ඥාතීන් බවටද හඳුනාගෙන තිබෙනවා

තුවාල ලැබූවන් පෙරේදා (25 වැනිදා) රාත්‍රි අලුත්ගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ සිටි පස්‌දෙනකු කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කළ බවද එම ප්‍රකාශකයා පැවසුවා. ඔවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවද හෙතෙම පැවසුවා. 


තුවාල ලැබූවන් අතර කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් පස්‌දෙනකු සිටී. වෑන් රථයේ රියෑදුරු දැඩි පොලිස්‌ ආරක්‍ෂාව මධ්‍යයේ ධර්ගා නගරයේ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනතුරට ලක්‌වූ දුම්රිය ඊයේ (25 වැනිදා) පස්‌වරු 4.55 ට මරදානේ සිට හික්‌කඩුව බල ධාවනය වීමට තිබූ දුම්රියක්‌ වන අතර දුම්රිය විනාඩි හතළිස්‌පහක්‌ පමණ ප්‍රමාදවී මරදාන දුම්රිය ස්‌ථානයෙන් ගමන් ආරම්භ කළ බව මගීහු පැවසුවා. 


මෙම අනතුර සිදුවීමෙන් පසු ප්‍රකෝප වූ ප්‍රදේශවාසීහු විශාල පිරිසක්‌ දුම්රිය මාර්ගය හරස්‌ කරමින් පෙරේදා (25 වැනිදා) රාත්‍රි විරෝධතාවකද නිරත වුනා. සිද්ධිය විස්‌තර කළ තුවාලකරුවකු වූ තාරක බටුවන්තුඩාව මහතා මෙසේ පවසනවා .

"අපේ පවුලේ අය එකතු වෙලා බේරුවල අලුත්ගම ප්‍රදේශයේ පොසොන් තොරණ බලන්න ගියා.. අලුත්ගම ප්‍රදේශයට ළංවන විට මහ වැස්‌සක්‌ ඇද හැලුනා. එතකොට වෙලාව රාත්‍රී 7 ත් 7.10 ත් අතර ඇති. 

අලුත්ගම ගනේගම අනාරක්‍ෂිත දුම්රිය රේල් පාරට ආසන්නව අපේ වෑන් රථය ගමන් කරනවා මතකයි. එක පාරටම ප්‍රදේශයම දෙදරුම්කමින්a ශබ්දයක්‌ ඇසුණා වගේ මතකයි. ඒ වෙච්ච දේ මට හීනයක්‌ වගේ...." තාරක මහතා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙම ඛේදවාචකයෙන් කළුතර, දොඩන්ගොඩ, අඹගහකුඹුර පදිංචි කරුවන් වූ ඉෂාරා බිනරමලී බටුවන්තුඩාව (16), කළුමැදිරිය කංකානම්ගේ රාණි (54), ජාවිගොඩගේ රෂ්මි කවිෂානි (20), ජයවර්ධන මහමුදලිගේ ධම්මිකා (39), ජාවිගොඩගේ ලක්‌මි මධුෂාණි (23), දසනායක මුදියන්සේලාගේ දිනේෂිකා මධුෂාණි (12) යන හය දෙනා මෙසේ මරුමුවට පත්වූනා.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් කළුතර, දොඩන්ගොඩ, අඹගහකුඹුර ප්‍රදේශයම එකම මළගමක්‌ බවට පත්වී තිබෙනවා. අනතුරින් තුවාල ලබා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන තාරක බටුවන්තුඩාව මහතා මෙසේද කීය.

"මෙම අනතුරින් මියගිය ලක්‌මි මධුෂාණි මගේ බිරිඳ. මියගිය ඉෂාරා බිනරමලී කියන්නේ මගේ නංගී. මමයි ලක්‌මියි විවාහ වො හරියටම මාසයයි. මා රැකියාව ලෙස ගොවිපළක්‌ පවත්වාගෙන යනවා.

අපේ පවුලේ අය පොසොන් සිරි බලන්න යමු කියලා කතා කළාම අපි සතුටින් ගියා. වෑන් රථයේ අපි එකොළොස්‌ දෙනෙක්‌ ගමන් කළා. ඒ අතර මගේ බිරිඳ, නංගි, අපේ ඥතීන් ද සිටියා. 


බේරුවල අලුත්ගම පැත්තේ තිබූ පොසොන් තොරණ හා සැරසිලි අපි නරඹමින් ගියා. අනතුර සිදුවීමත් සමග මට සිහිය තිබුණේ නැහැ. සිහිය එන විට මා සිටියේ ගිලන් රථයකයි. 26 දා උදේ මගේ බිරිඳ හා නංගි මියගිය බව දැන ගන්න ලැබුණා....."

මෙහිදී අදහස්‌ දැක්‌වූ අලුත්ගම ගනේගම පූර්වාරාම විහාරවාසී වීරකැටියේ ජිනාරාම පොඩි හාමුදුරුවෝ මෙසේ පැවසුවා.

"25 දා සවස සැරින් සැරේ වැසි ඇද හැලුනා. පන්සලෙ පොසොන් තොරණ මහජනතාවට ප්‍රදර්ශනය කරන්න සූදානම් වෙමින් හිටියා. තොරණ විවෘත කරන්න ආරාධිත අමුත්තො එන නිසා මා කීප දෙනෙක්‌ සමග අනතුර වූ දුම්රිය හරස්‌ පාර ළඟ ඇති පන්සලේ ප්‍රධාන ගේට්‌ටුව අසල හිටියා. 


මේ වෙලාවේ මා දැක්‌කා ත්‍රිරෝද රථයකුයි, සුදු පාට වෑන් රථයකුයි දුම්රිය මාර්ගය හරහා දාන්න යනවා. ඔය අතරේ දුම්රිය එන ශබ්දයකුත් ඇසුණා. ත්‍රීරෝද රථය දුම්රිය මාර්ගය පසු කරනවාත් සමග වෑන් රථය දුම්රියේ ගැටුණා. ඩෝං ගාන විශාල ශබ්දයත් සමග මරලතෝනි හඬක්‌ ද ඇසුණා...

පස්‌සේ අපියි පන්සලේ සිටි පිරිසයි එතනට දිව්වා. අපි එතැනට යන විට තුවාලකරුවන් තැන තැන වැටී සිටිනවා දැක්‌කා. වෑන් රථය පොඩි පට්‌ටම් වෙලා තිබුණා. පසුව අපි තුවාලකරුවන්ව වාහනවල දමා රෝහලට පිටත් කර හැටියා...."


කාන්තාවන් හය දෙනකුට මරු කැඳවමින් හා තවත් පුද්ගලයන් සිව් දෙනකුට බරපතළ තුවාල සිදුකරමින් අලුත්ගම ගනේගම අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගයේදී පෙරේදා (25 දා) රාත්‍රී සිදුවූ දුම්රිය - වෑන් රථ අනතුර සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත් වෑන් රථයේ රියෑදුරු වන දොඩන්ගොඩ. අඹගහකුඹුර පදිංචිව සිටි ඒ. ඩී. සුනිල් ශාන්ත නමැත්තා රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත මුදාහැරුනා.

දිවයින පුරා අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ග 486 ක්‌

දිවයින පුරා අධි අනාරක්‍ෂිත සහ අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ග 486 ක්‌ ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා කියයි.අනතුරු බහුලව සිදුවන දුම්රිය හරස්‌ මාර්ග හරහා ගේට්‌ටු කඩිනමින් ඉදි කිරීමේ වැඩ පිළිවෙළක්‌ මේ වනවිට ආරම්භ කර ඇති බවද හෙතෙම කීය.

අනාරක්‍ෂිත හරස්‌ මාර්ගවලට දුම්රිය ගේට්‌ටු සවි කිරීම සඳහා රුපියල් මිලියන 643 ක්‌ වෙන් කර ඇති බවත් ප්‍රමුඛතාව අනුව ගේට්‌ටු ඉදි කිරීම් සිදුවන බවත් ඒ මහතා පැවැසීය.එක්‌ දුම්රිය ගේට්‌ටුවක්‌ ඉදි කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 55 ක්‌ වැය වන බවත් මෙම වසර ඇතුළත අවම වශයෙන් එවැනි දුම්රිය ගේට්‌ටු 116 ක්‌ ඉදි කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


අළුත්ගම දුම්රිය වෑන් රථ අනතුර
 
Related Posts with Thumbnails