Ads 468x60px

.

උපේක්ෂා ගැන අලුත්ම ආරංචිය...

කෙටි කලක් තුළදී රංගන ක්‍ෂේත්‍රය හා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල “සිහින විලක්” ටෙලි නාට්‍යය තුළින් ආලින්දයට ගොඩවදිනවා. 

උපේක්ෂා පුවත් මවන්නියක් වුණේ ඇගේ කලා දිවිය, දේශපාලන දිවිය වගේම පුද්ගලික දිවිය ගැනත් මැවුණු විවිධ පුවත් හින්දාමයි. පසුගියදා උපේක්ෂා ගැන අලුත්ම ආරංචියක් අසන්නට ලැබුණා. 

ඇගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයා විසින් කරන ලද මුදල් වංචාවක් ගැනයි මේ ප්‍රවෘත්තිය ඇසුණේ. අදාළ පුද්ගලයා විසින් රැකියා දෙන බවට මිනිසුන් රැසකගෙන් මුදල් ලබාගෙන ඇති බවත්, උපේක්ෂාගේ නම පාවිච්චි කරමින් ඔහු මෙම කාර්යය සිදුකළ බවත් ආරංචි මාර්ග පවසනවා. 

මේ පුවත ගැන දැනගන්න අපි උපේක්ෂාට කතා කළා. ඇය බොහොම හෘදයාංගම විදියට අපේ කතාබහට එකතු වුණා. කතාබහ අතරේ අපි උපේක්ෂාගේ කලා ජීවිතේ තොරතුරු ටිකකුයි, පුද්ගලික ජීවිතේ තොරතුරු ටිකකුයි විමසන්නත් අමතක කළේ නැහැ.

උපේක්ෂා, ඔබේ නම පාවිච්චි කරලා ඔබේ මාධ්‍ය ‍ලේකම් මූල්‍ය වංචාවක් කළාය කියන චෝදනාව ඇත්තද?

මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට වූ ප්‍රවෘත්තිය සත්‍යයක්. ඇත්තටම එවැනි චෝදනාවක් පුද්ගලයෙකුට එල්ලවී තියෙනවා. ඒත් ඒ පුද්ගලයා මගේ මාධ්‍ය ‍ලේකම් නොවෙයි.

ඒ පුද්ගලයා කවුද?

ඔය කියන තැනැත්තා හා මා අතර ඥාති සම්බන්ධතාවක් තිබෙනවා. ඒත් ඒක ළඟ සම්බන්ධයක් නමෛයි. කාලෙකින් අප හමුවෙලත් නැහැ. මේ පුද්ගලයා හඳුනන කෙනකුට රැකියාවක් අවශ්‍ය බව කියමින් කාලෙකට ඉස්සර මොහු මගෙන් උදව් ඉල්ලා සිටිනවා. ඒ විදියේ උදව්වක් ඉල්ලූවිට මා ඒ උදව්ව කළා. ඒ ලිපිය ප්‍රයෝජනයට අරගෙන තමයි මේ මනුස්සයා මේ වැඩේ කරල තියෙන්නේ.

ඔබට මෙය ආරංචි වුණේ කොහොමද?

‍පොලීසියෙන් තමයි මට දුරකථනයෙන් කතා කරලා මේ ගැන කිව්වෙ. ඒ වෙලාවේ මම පැහැදිලිව ප්‍රකාශ කළා අවශ්‍ය පරීක්ෂණ කරලා ඔහු වරදකරු බව ඔප්පු කරලා නිසි නීතිමය පියවර ගන්න කියලා. ඒ විතරක් නමෛයි ඔහු පදිංචි තැනත් මම ‍පොලීසියට දන්වා සිටියා.

මොකක්ද උපේක්ෂා මේ සිද්ධිය ගැන දරන මතය?

මම රටේ නීතියට ගරු කරන කෙනෙක්. මගේ අම්මා තාත්තා හෝ නීති විරෝධී ක්‍රියාවක් කළා නම් දඬුවම් ලැබිය යුතුයි කියන තැනයි මම ඉන්නේ.

අදාළ පුද්ගලයා පවසා තිබෙනවා නේද ඔහු ඔබේ තාත්තා බව?

ඒක සම්පූර්ණ බොරු කතාවක්. ඥාති සම්බන්ධයක් තිබුණත් කාලෙක ඉඳන් අපි ළඟින් ඇසුරු කරලාවත් නැහැ.

ඔහු ඔබේ දේශපාලන කටයුතුවලට සහය දීලා තියෙනවද?

නැහැ.

මේ සිදුවීමෙන් ඔබේ කීර්ති  නාමයට කැළලක් වීම ගැන මොකද හිතෙන්නේ?

දේශපාලන චරිතවලට මේ වගේ දේවල් සිදුවනවා. තමන් යම් යම් ප්‍රබල දේශපාලනඥයන් ළඟින් ඇසුරු කරන බව කියමින් නොයෙක් අයථා ක්‍රියා කළ අය ගැන පුවත් වාර්තා වී තිබෙනවා. මට දුක මේ මනුස්සයට රැවටිලා තමන්ගේ අතේ තිබුණු මුදල නැති කරගත් අය ගැනයි. ඇයි මිනිස්සු මේ තරම් මෝඩ වෙන්නෙ. 


කාට වුණත් කියන්න පුළුවනි ‘මම අහවල් දේශපාලනඥයාගේ ‍ලේකම්’ කියලා. ඒසේ කියූ පමණින් ඇයි රැවටෙන්නේ. මේ ලිපිය කියවන පාඨක පිරිසෙන් මම ඉල්ලා සිටිනවා මින් පසුවවත් මෙවැනි දේට රැවටෙන්න එපා කියලා. ඒ වගේම මෙවැනි වංචනිකයින් ගැන දැනගන්න ලැබුණහම වහාම ‍පොලීසියට දන්වන ලෙස මා ඉල්ලා සිටිනවා.

උපේක්ෂාගෙ කලා දිවිය ගැන කතා කළොත්?

මා රඟපෑ “සිහින විලක්” ටෙලි නාට්‍ය මේ දිනවල විකාශය වනවා. “සින්ඩ්‍රැල්ලා” චිත්‍රපටය ළඟදීම තිරගත වේවි. තව නිර්මාණ කිහිපයකුත් ඉදිරියේදී ප්‍රේක්ෂකයින් අතරට ඒවි.

“සිහින විලක්” හා “සින්ඩ්‍රැල්ලා” හි ඔබේ පෙම්වතා වූ අකලංක ගනේගම ළඟදීම විවාහ වනවාලු නේද?

ඔව්. මම ඒ ගැන සතුටුයි. මොකද කියනවා නම් අකලංක මගේ හොඳ යාළුවෙක්. ඉතින් ඔහුගේ ජීවිතේ අලුත් ඇරඹුමට මමත් සතුටු වෙනවා.

ඒ විවාහ උත්සවයට අනිවාර්යයෙන්ම උපේක්ෂාට ආරාධනා කරන බව අකලංක පැවසුවා.

එදාට මම ලංකාවේ හිටියොත්, විශේෂ දේශපාලන කටයුත්තක් නොතිබුණොත් අනිවාර්යයෙන්ම මම ඒ විවාහ උත්සවයට සහභාගි වනවා.

අකලංක හා ඔබ පෙම්වතුන් බවට රාවයක් පසුගිය කාලෙ පැතිර ගියා...?

අපි දෙන්නා එක දිගට නිර්මාණ කිහිපයකම පෙම්වතුන් විදියට රඟපෑවා. ඒ කාලයේ තමයි මගෙ විවාහය බිඳී යාමත් සිදුවුණේ. ඒකයි ඒ විදියේ කතාවක් පැතිරිලා ගියේ.

ඔබේ නම විකුණලා යම් අය වංචනික කටයුතු කරනවා. නළුවන්ගේ නම් ඈඳලා ඔබට කට කතා පැතිරෙනවා. ආදරය හා රැකවරණය දෙන කෙනෙක් ළංකර ගත්තා නම් මේ වගෙ දේවල් වෙන්නේ නැහැ නේද?

සමහර වෙලාවට මටත් ඔය විදියට හිතෙනවා. තවත් සමහර වෙලාවට විවාහය ගැන හිතද්දි ලොකු කලකිරීමක් හිතට එනවා. දැනට මං ඉන්නේ ඔය සිතුවිලි අතර දෝලනය වෙමිනුයි. මේ හිත හැදිලා විවාහ විය යුතුයි කියා හිතුණොත් සුදුසු කෙනෙකු ලැබුණොත් මමත් විවාහ වේවි.
 
Related Posts with Thumbnails