Ads 468x60px

.

දයාසිරි ගිය නිසා ඔට්ටුව පැරදී හෙළුවෙන් ගිය ව්‍යාපාරිකයාගේ ඇත්ත කතාව...

දයාසිරි ජයසේකර ආණ්ඩුවට ගියොත් නගරය මැද්දෙන් නිරුවතින් ඇවිදින බවට ප්‍රතිඥාවක් දුන්න දැරණියගල ව්‍යාපාරිකයෙක් එම පොරොන්දුව ඊයේ (25) උදේ ඉටු කරන්නට සූදානම් වූ මොහොතේ පොලිසිය මැදිහත් වී එම නාටකය බොහෝ පෙරුත්ත කොට නවතා ගත්තේය. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

දැරණියගල ව්‍යාපාරිකයා, දයාසිරි ජයසේකර මහතාගේ කිට්ටු පාක්ෂිකයෙකි. ටෙලිෆෝනයෙන් පවා දයාසිරිට අමතන්නට තරම් ඔහු කුලුපග යැයි පැවසෙනවා. රථ වාහන කිහිපයක හිමිකරුවෙන් වන මොහු දැරණියගල නගරයේ සිය වාහන කුළියට දී මුදලක් උපයයි.

මෙම ව්‍යාපාරිකයාගේ ගමේම මිතුරෙක් සේවය කළේ කොළඹ හෝටලයකය. 23 වැනිදා ඔහු ව්‍යාපාරික මිතුරාට කතා කළේය.

“අන්න මචෝ දයාසිරි ආණ්ඩුවට පනින්නයි යන්නේ..” මිතුරා කීවේය.


“පිස්සුද බං..එහෙම නං එයා මටත් කියනවනේ. පොඩ්ඩක් හිටපංකෝ මම දයාගෙන් අහලා බලලා උඹට කතා කරන්නම්” යැයි කී ව්‍යාපාරික මිතුරා අනතුරුව දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාට දුරකතනය ඔස්සේ කතා කළැයි පැවසේ. මන්ත්‍රිවරයා එවිට පවසා ඇත්තේ තමන් කිසිම දිනෙක එජාපය දමා ආණ්ඩුවට නොයන බවක් යැයි කියති.

ව්‍යාපාරික මිතුරා යළි කොළඹ හෝටලේ සේවය කරන මිතුරාට කතා කළේය.“උඹට මඤ්ඤංද බං..මම මේ දැන් මන්ත්‍රිතුමාට කතා කළා. බල්ලවත් යන්නේ නැහැයි කිව්වේ..”

“හරි දාපං ඔට්ටුවක්..” මිතුරා කීවේ.

“අඩෝ.. දයා ආණ්ඩුවට ගියොත් මං හෙලුවෙන් ඇවිදිනවා ඩෝ දැරණියගල ටවුමේ” ව්‍යාපාරික මිතුරා ආඩම්බරයෙන් ප්‍රතිඥාවක් දුන්නේ දයාසිරි ජයසේකර ගැන දැඩි විශ්වාසයකිනි. අනතුරුව මෙම ඔට්ටුව ගැන ව්‍යාපාරික මිතුරා කට පියාගෙන නොසිට අහල පහළ ව්‍යාපාරික හිත මිතුරන්නට පැවසුවේය.

සියලු පොරොන්දු දියවන්නා ඔයේ ඔබා දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ආණ්ඩුවට එකතු විය. අද (26) උදේ දැරණියගල ටවුමේ තරමක සෙනඟකි. කලබල ගතියකි. ව්‍යාපාරිකයාට පොරොන්දුව ඉෂ්ඨ කරන්නැයි ඔහුගේ සගයෝ බල කරති. 


කරන්න දෙයක් නැත. පොරොන්දුව ඉටු කළ යුතුමය. සෙසු ව්‍යාපාරික මිතුරන්ද සිය මිතුරා ඒ සඳහා ‍පොළඹවති. අවසානයේ සරම ගලවා දමා නිරුවතින් ටවුම මැද්දෙන් ගමන් කරන්නට ව්‍යාපාරික මිතුරා තීරණය කළේය.

පුද්ගලයෙක් නිරුවතින් ඇවිදින්නට සැරසෙන බවක් දැරණියගල පොලිසියට වාර්ථා විය. එහෙත් ඒ කුමක් සඳහාදැයි පොලිසිය දැන සිටියේ නැත.වහාම පොලිස් ජීප් රියක් එම ස්ථානයට ආවේය. 


ව්‍යාපාරිකයා වදෙන් පොරෙන් ජීප් රථයේ දමා ගෙන පොලිසියට රැගෙන ආවේය. අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී ඉහත සිද්ධිය අනාවරණය විය. පොලිසිය ඔහුට නීතිමය තත්ත්වය පෙන්වා දී අවවාද කර නිදහස් කර හැරියේය. 

- ගයාන් කුමාර වීරසිංහ 
 
Related Posts with Thumbnails