Ads 468x60px

.

දන්නෙම නැතුව වෙන්න තියෙන දේවල් සිද්ධ වුණා බොක්ස් එකකදී දූෂණය වු දැරිය කියන කතාව

බොක්ස් එකකට එයා මාව එක්කරගෙන ගියා. 

එදා කතාකර කර හිටියා විතරයි. 

දෙවැනි පාරට ගියාම අපි දෙන්නා සිපගත්තා.

සිය වැඩිමහල් දියණියද කැටුව ඉකුත් සතියේ දිනක ගම්‍පොළ පොලීසියට පැමිණෙන මවක සහ පියෙකු සාමාන්‍යයෙන් පොලීසියකට වාර්තා නොවන ආකාරයේ පැමිණිල්ලක් කරන්නේ සිනමා ශාලාවල ‘බොක්ස්’ නමින් හඳුන්වන, ආවරණය කරන ලද කුටි සම්බන්ධයෙන් විධිමත් නීති රාමුවක අවශ්‍යතාව බලධාරීන්ගේ අවධානයටද යොමුකරමිනි. 

ඒ ඔවුන්ගේ පහළොස් හැවිරිදි දියණිය ගම්‍පොළ පිහිටි සිනමාශාලාවක ‘බොක්ස්’ ආසන කුටියකදී ඇගේ පෙම්වතා අතින් දූෂණයට ලක්වී තිබිම නිසාය. ‍පොලීසියට පැමිණිල්ල කරන්නට දියණියද කැටුව දෙමාපියන් පැමිණෙන්නේ ඇය දූෂණය වී මාසයකට පමණ පසුවය. 

එහෙත් මෙම යුවතිය මෙම ලිංගික කටයුත්තට සම්බන්ධ වන්නේ වයස අවුරුදු දහසයට පෙර බැවින් සිය පෙම්වතා සමග වුවත් ඇගේ කැමැත්තෙන්  සම්බන්ධකමක් පැවැත්වුවත්  එය සැලකෙන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසිනි. ඒ අනුව එකී පැමිණිල්ල ‍පොලිස් ‍පොතේ සටහන් වන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසය.

මෙය චිත්‍රපටශාලාවක ‘බොක්ස්’ ආසන කුටියක් තුළ සිදුවූ පළමු ස්ත්‍රී දූෂණය නොවන්නට පුළුවන. එසේම මෙය ඒ ආකාරයේ අවසාන ස්ත්‍රී දූෂණයද නොවනු ඇත. 


නමුත් සිනමාශාලාවල බොක්ස් ආසන කුටිවලට රිංගන තරුණ තරුණියන්ගේ නැතිනම් පෙම්වතුන් පෙම්වතියන්ගේ අනාගතය ඒ තුළින් ලියැවෙන්නේ කෙසේදැයි ‍පොලීසියට ලැබුණු ඒ පැමිණිල්ලෙන්ම පැහැදිලි විය.

ගම්‍පොළ ‍පොලීසියේ නිලධාරීන් සඳහන් කරන ආකාරයට අනුව එම පැමිණිල්ල පවා ‍පොලීසියට ලැබෙන්නේ විසි හැවිරිදි පෙම්වතා ඇගේ නිවසට පැමිණ ඇයට තමාගෙන් කරදරයක් වූ බැවින් විවාහ කරගන්නට අවසරය ඉල්ලා දෙමාපියන්ට එක දිගට ඇවිටිලි කරන්නට වූ බැවින් එයින් බේරීමටය. 


ගම්‍පොළ ‍පොලිස් වසමට අයත් වැලිගල්‍ලේ ඇල්පිටිය වත්තේ පදිංචිව සිටින ඇය ගම්‍පොළ පිහිටි ප්‍රසිද්ධම පාසලක අධ්‍යාපනය ලබන්නියකි. එකොළොස්වන වසරේ ඉගෙනුම ලබන මෙම යුවතිය මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයටද මුහුණදීමට සූදානමින් සිටින්නියකි. 

ඒ නිසා මේ දිනවල ඇයට උපකාරක පන්තිවලට යාමට දෙමාපියන්ගෙන් ලැබි තිබෙන්නේ ලොකු නිදහසකි. ඇය සිය පෙම්වතා සමග ගම්‍පොළ නගරයේ පිහිටි සිනමා ශාලාවක බොක්ස් කුටියක තනිවී දූෂණය වන්නේ එම නිදහස නිසාය.

“මුල් දවස්වල පන්ති යනව කියල මහනුවර පැත්තේ හෝල්වලට ගියා. ඒ ගිහින් චිත්‍රපට බැලුව විතරයි. ඊට පස්සේ එක දවසක් ගම්‍පොළ චිත්‍රපට ශාලාවේ බොක්ස් එකකට එයා මාව එක්කරගෙන ගියා. 


එදා කතාකර කර හිටියා විතරයි. දෙවැනි පාරට ගියාම අපි දෙන්නා සිපගත්තා. පස්සේ දන්නෙම නැතුව වෙන්න තියෙන දේවල් සිද්ධ වුණා” ඇය ‍පොලීසියට සිද්ධිය විස්තර කළේ එසේය.

ඇය සිය පෙම්වතා අතින්  මේ ආකාරයෙන් දූෂණය වන්නේ ඉකුත් ජූලි 13 වෙනි සෙනසුරාදාය. එදත් ඇය සිය පෙම්වතා සමග චිත්‍රපටශාලාවට රිංගන්නේ උපකාරක පන්ති මගහරිමිනි. ඒ යන්නේද මේ දිනවල ප්‍රසිද්ධ,  රජකතා පුවතක් රැගත් ජනප්‍රිය චිත්‍රපටයක් බලන්නටය. බොක්ස් ආසන කුටියට ඔවුන් රුපියල් 400ක මුදලක් වැය කර ඇත. 


රුපියල් 400කට කිසිවෙකු බොක්ස් ආසන කුටියක් මිලදී ගැනීමෙන් පසු ඒ කුටිය තුළ ඕනෑම කෙළියක් කරගන්නට සිනමාශාලා කළමනා කාරිත්වයෙන් උපරිම නිදහසක් ලැබි තිබිමද මෙහිදී අවධානයට ලක් විය යුත්තකි.

“කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි රුපියල් හත් අට සීයක් දීල පැයක් හමාරක් හෝටල් කාමරයකට යනවට වඩා චිත්‍රපටශාලාවක බොක්ස් එකකට යන එක ලාභයි. ආරක්ෂිතයි. අනික ‍පොලීසිය චිත්‍රපටශාලාවලට කඩා පැනල මතෛක් පරීක්ෂා කිරීම් කළෙත් නැති නිසා ‍පොලීසියෙනුත් ගැටලුවක් නැහැනේ. 


අපි මෙච්චර කල් හිතන් හිටියේ කොල්ලෙක් කෙල්ලෙක් චිත්‍රපට ශාලාවකදී වැඩිම උනොත් සිපගැනීමක් කරයි කියල විතරයි. එහෙත් ඊට එහා ගිය කටයුතු පවා චිත්‍රපටශාලා තුළ සිදුවන බව ගම්‍පොළ  චිත්‍රපට ශාලාවෙදී බාලවයස්කාර දැරියක් දූෂණය වීමෙන් පැහැදිලියි. 

ඒ වගේම තමයි බොක්ස් ආසන කුටි බොහෝ චිත්‍රපටශාලාවල පවත්වාගෙන යන්නේ පෙම්වතුන්ට මේ විදියට නිදහසේ පෙම්සුව විඳින්න මිස චිත්‍රපට නරඹන්න නොවන බවත් පැහැදිලියි” උසස් ‍පොලිස් නිලධාරියෙකු ඒ ගැන සිය අදහස් ප්‍රකාශ කළේ එසේය.

වයස අවුරුදු දහසයට අඩු බාල දැරිවියන්ට හෝටල් කාමරවල දොරවල් වැසී ඇත්තේ නීතියෙන් එය තහනම් කර ඇති බැවිනි. එය එසේ යැයි කියා බාල වයස්කාරියන් සිය පෙම්වතුන් සමග හෝටල් කාමරවලට රිංගන්නේ නැතිවාම නොවේ. එහෙත් ඒ සම්බන්ධයෙන් නීතියක් රටේ පවතී. නමුත් චිත්‍රපටශාලාවල බොක්ස් ආසන කුටිවලට රිංගන්නට පෙම්වතුන්ට වයස් සීමාවක් නැත. 


බොක්ස් ආසන කුටි තුළට රිංගා ගත්තාට පසු චිත්‍රපටය අවසන්ව ඒ අය බොක්ස් කුටියෙන් එළියට පැමිණෙනතුරු ඔවුන් චිත්‍රපටය නැරඹුවාද නැතිනම් වෙන යමක් කළාද යන්න සොයා බලන්නට ක්‍රමවේදයක්ද නැත. එහෙත් බොක්ස් කුටිවල සිදුවන්නේ කුමක්දැයි චිත්‍රපටශාලා සේවකයන්ට නම් රහසක් නොවේ. ඒ ඉඳහිට උපත් පාලන කොපුවක් දෙකක්ද ඒ තුළින් හමුවන නිසාය.

බොහෝ චිත්‍රපටශාලා තුළ ඇති බොක්ස් කුටිවල ඇති ආසන දෙක ඇත්තේ දෙකක් ලෙස නොව එක් ආසනයක් ලෙසිනි. ඒ නිසාම බොක්ස් ආසන කුටිවලට රිංගන පෙම්වතුන් වැඩි අපහසුවකින් තොරවම එම ආසන තම සිරි යහන බවට පත්කර ගනිති. එවන් ආසන චිත්‍රපටශාලා තුළ ඇත්තේද ඒ සඳහාම බව පෙනේ. 


එවන් ආසන ඇති චිත්‍රපටශාලාවල බොක්ස් ආසනයක් වෙන්කර ගැනීමද එතරම් පහසු නැත. ඒ සෑම දර්ශන වාරයකදීම පාහේ එම ආසන කුටි පිරී යන බැවිනි. බොහෝ විට ඒ බාල වයස්කාර පෙම්වතුන්ගෙනි. ඒ අය එක්කෝ උපකාරක පන්තිවලට යන බව කියා නිවසින් එළියට බසින දරුවන්ය.  

නැතිනම් මව්පියන්ට වෙනත් ලොකු බොරුවක් ඇද බා නිවසින් එළියට පැනගන්නා දරුවන්ය. ගම්‍පොළ පිහිටි චිත්‍රපටශාලාවකදී මේ කියන දැරිවිය දූෂණය වීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් පමණක් ගම්‍පොළ ‍පොලීසියේ නිලධාරීන් නතර වූයේ නැත.  

චිත්‍රපටශාලාව තුළදී එම දැරිය දූෂණය කළ තරුණයාවද අත්අඩංගුවට ගත්තේය. චිත්‍රපටශාලාවේ බොක්ස් ආසන කුටියක් තුළ ඇය තමා අතින් දූෂණය වූ බව ඔහු එහිදී පිළිගත්තේ ඇයට නිසි වයස සම්පූර්ණ වූ පසු විවාහ කරගන්නා බවද පවසමිනි.

චිත්‍රපටශාලාව තුළ සිය පෙම්වතිය තමා අතින් දූෂණය වූ බව පෙම්වතාත් පිළිගත් බැවින් ගම්‍පොළ ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක චන්ද්‍රා ජයවීර, අපරාධ අංශයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ටී.ආර්.තල්වත්ත ඇතුළු කණ්ඩායමක්ම අදාළ චිත්‍රපටශාලාවේ බොක්ස් ආසන කුටි පරීකෂා කරන්නට ගියේය. 


ඒ උසස් ‍පොලිස් නිලධාරීන් වන ගම්‍පොළ කොට්ඨාසය භාර ‍පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා සහ සහකාර ‍පොලිස් අධිකාරී චූලනී වීරරත්න යන මහත්වරුන්ගේ උපදෙසිනි.

චිත්‍රපටශාලාවක ඇති බොක්ස් හෝ බැල්කනි හෝ වෙනයම් ආසනයක් හෝ තිබිය යුතු වන්නේ තිරය හොඳින් දිස්වන ලෙසය. එහෙත් මේ කියන චිත්‍රපටශාලාවේ බොක්ස් ආසනයට පෙනෙන්නේ තිරයේ අඩක් පමණි. ඒද කොඳුනාරටිය හොඳහැටි කෙලින් කරගෙන සිටියහොත් පමණි. 


නැතිනම් එකී බොක්ස් ආසනයේ සිට චිත්‍රපටයක් නරඹන්නට විදිහක් නැති තරම්ය. ‍පොලීසිය සඳහන් කරන ආකාරයට අනුව එම චිත්‍රපටශාලාවේ බොක්ස් ආසන කුටි හතළිස් පහක්ම තිබි ඇත. ඒ හාඩ්බෝඩ්වලින් කොටුකරය.

එතරම් කුටි ප්‍රමාණයක් චිත්‍රපට නරඹන්නට එන ප්‍රේක්ෂකයන්ට සැබෑ ලෙසම අවශ්‍යදැයි ඇත්තේ ගැටලුවකි. ඒ එම කුටි පිරෙන්නේ සැබෑ ප්‍රේක්ෂකයන්ගෙන් නොව කම්සුව විඳින්නට එන කොල්ලන් කෙල්ලන්ගෙන් බැවිනි.

ගම්‍පොළ ‍පොලීසියට වාර්තාවූ මෙකී ස්ත්‍රී දූෂණ පැමිණිල්ලත් සමග චිත්‍රපටශාලාවල  ඇති බොක්ස් ආසන කුටිවල සිදුවන්නාවූ   කටයුතු  සම්බන්ධයෙන් සොයා බලන්නට මේ වන විටත් රටේ සියලුම වගකිවයුතු ආයතනවල අවධානය යොමුවී තිබිම වැදගත්ය.


සංස්කෘතික සහ කලා කටයුතු ඇමැති ටී.බි.ඒකනායක මහතා පවසන්නේ චිත්‍රපටශාලාවක් තුළ කිසිවිටෙකත් සිදුනොවිය යුතු ඒ අවාසනාවන්ත සිද්ධිය තමා දැනගත් වහාම ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතාට දැනුම් දුන් බවය. 


චිත්‍රපටශාලා හිමිකරුවන් සමග සාකච්ඡා කර බොක්ස් ආසන සම්බන්ධයෙන් යම් පියවරක් ගන්නා ලෙසද තමා සංස්ථාවෙන් ඉල්ලා සිටි බව ඇමැතිවරයා සඳහන් කළේය. 

ජාතික චිත්‍රපට සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යංශයේ විෂය පථයට අයත් ආයතනයක් වුවත් ටී.බි.ඒකනායක මහතා මේ කටයුත්තට වගකිවයුතු ඇමැතිවරයෙකු ලෙස මැදිහත්වීම මෙහිදී අගය කළ යුතුය. කෙසේ වෙතත් චිත්‍රපටශාලාවලට අද වන විට සැලකිය යුතු ආදායමක් ලැබෙන්නේ බොක්ස් ආසනවලින් බවද මෙහිදී අමතක නොකළ යුතුය.

එබැවින් බොක්ස් ආසන ඉවත්කරගන්නට හෝ පාලනයකට නතුකර ගන්නට චිත්‍රපටශාලා හිමිකරුවන් කැමැත්තක් දක්වාවි දැයි කිව නොහැකිය. එහෙත් ඊට පිළිතුරු දෙමින් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතා පවසන්නේ බොක්ස් ආසනය කිසිවිටෙකත් යහනක් බවට පත්කරගන්නට ඉඩදිය නොහැකි බවය.

“මතෛක් කාලයක් බොක්ස් ආසන සම්බන්ධයෙන් ප්‍රමිතියක් තිබ්බෙ නැහැ. හැබැයි ප්‍රමිතියක අවශ්‍යතාවක් ඇති වන්නේ ගම්‍පොළ චිත්‍රපටශාලාවේදී දැරියක් දූෂණය වීම වාර්තා වීමත් සමගයි. ඒ ගැන මට තොරතුරු වාර්තා වීමත් සමග අදාළ චිත්‍රපටශාලාවට මම කථා කළා.


යමක් සිද්ධවෙලා තිබෙනව කියල පැහැදිලියි. හුඟ වේලාවට චිත්‍රපටයක ස්වරූපය අනුව එම චිත්‍රපටය මොන වයස් සීමාවට ගැළපේද කියල බලල වැඩිහිටියන්ට පමණයි ආදී ‍ලේබල් ගැහුවත් බොක්ස් ආසන ලබාදිය යුත්තේ මොනවගේ වයස් කාණ්ඩයට දැයි කියල නියමයන් තිබුණේ නැහැ. 

ඒ නිසා මම මගේ පරීක්ෂණ අංශයට මේ වන විටත් දැනුම් දීලයි තිබෙන්නේ බොක්ස් ආසන සම්බන්ධයෙන් ප්‍රමිතියක් සකස්කරන්න කියල” සභාපතිවරයා පැවැසීය.

“බොක්ස් ආසන කියල ඔය දැන් හඳුන්වන විදියේ ආසන නමෛයි ඉස්සර තිබුණේ. ඉස්සර තිබුණේ ‘ෆැමිලි බොක්ස්’. පවුලක කට්ටියට එකට අසුන්ගෙන චිත්‍රපට නරඹන්නයි ෆැමිලි බොක්ස් තිබුණේ. කොළඹ සිනමාශාලා දෙක තුනක විතරයි එම පහසුකම් තිබ්බෙත්. 


එහෙත් පහුගිය කා‍ලේ සිනමාශාලාවල ආදායම අඩුවන විට සිනමාශාලා හිමියන්ගේ ඉල්ලීම් මත බොක්ස් පහසුකම් සඳහා අවසර දෙන්නට සංස්ථාවට සිදුවුණා. මත්පැන් බලපත්‍ර පවා සිනමාශාලාවලට දුන්නේ දිරිගැන්වීමක් ලෙසයි. ඒ තුළින් අමතර ආදායමක් සිනමාශාලා හිමියන්ට ලැබුණා. 

නමුත් දැන් ප්‍රශ්නයක් තියෙනවා සිනමාශාලාකරුවන් දිරිමත් කරන්නට කියල වුණත් බොක්ස් මෙන්ම මත්පැන් බලපත්‍ර සිනමා ශාලාවකට අත්‍යවශ්‍ය දැයි කියල. චිත්‍රපටයක් රසවිඳින්නට බොක්ස් එකකටම යායුතුද, මත්පැන් තිබිය යුතුමද කියන ගැටලුවත් තිබෙනව.”යැයිද අශෝක සේරසිංහ මහතා ප්‍රකාශ කළේය.

චිත්‍රපටශාලාවල ඇති තැබෑරුමට කෙසේවෙතත් වැඩිම ඉල්ලුම ඇත්තේ බොක්ස් ආසන වලටය. බොක්ස් ආසන පහසුකම් ඇතැයි ඇතැම් චිත්‍රපට ශාලාවල පාරට පෙනෙන්නට පුවරු ප්‍රදර්ශනයේ ඇත්තේද එබැවිනි. 


එය හරියට සුව පහසු, ආරක්ෂිත කාමර පහසුකම් ඇතැයි පාසල් සහ උපකාරක පන්ති බහුල වශයෙන් ඇති නගර ආශ්‍රිතව දක්නට ලැබෙන බෝඩ් ලෑලි වගේමය. මේ බෝඩ් ලෑලි දෙකෙන්ම දෙන්නේ එකම පණිවුඩයකි. අදාළ කටයුත්තට බාධාවන් කිසිවක් ඒ තැන්වල නැති බවය.
 
Related Posts with Thumbnails