Ads 468x60px

.

සංවේදී ඔබට හැකිනම් පුංචි කවීෂාට ජීවිතය දෙන්න

පුංචි කවීෂාගේ දැන් වයස අවුරුදු හතයි. රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යා ලයේ පළමු වැනි ශ්‍රේණියේ ඉතා දක්‍ෂ ලෙස ඇය අධ්‍යා පන කටයුතු කරගෙන ගියා. 

ඒත් ඇයට දෙවැනි ශ්‍රේණිය ට එන්න බැරි වුණා. ඒ බියකරු, අවාසනාවන්ත සිද්ධියක්‌ නිසා.

පුංචි කවීෂාගේ තාත්තා රැකියාව කළේ ගරාජයක. ඒක එයාගෙම ගෙදර මිදුලේ තමයි තියෙන්නේ. තමන්ගෙම පුංචි ව්‍යාපාරයක්‌ හැටියට තාත්තා ගරාජය කරගෙන ගියා. දවසට වාහන දෙක තුනක්‌ නෙවෙයි. ඊට වැඩිය හදපු දවසුත් තිබුණා. 


ඒ ලැබෙන මුදලින් තමයි ගෙදර හැමෝම ජීවත් වුණේ. කවීෂා පුංචි වුණාට අවුරුදු 22 ක අක්‌කෙකුයි අවුරුදු 21 ක අයියෙකුයි කවීෂාට ඉන්නවා. තාත්තාගෙයි අම්මාගෙයි මහන්සියෙන් අක්‌කා විශ්වවිද්‍යාලයට ගියා. අයියත් ඉගෙන ගන්නවා.

මේ හැමෝගෙම ආදරය පුංචි කවීෂාට අඩුවක්‌ නැතුව ලැබුණා. පුංචි කවීෂාගේ වැඩේම අම්මාගේ සාරි ඇඳගෙන, පොත් මිටියකුයි, කුඩේකුයි අරගෙන එයාගේ ඉස්‌කෝලේ ගුරුතුමිය වගේ හැම තිස්‌සෙම රඟපාන එකයි. 


එදත් (2011 නොවැම්බර් 20 දා) පුංචි කවීෂා තරුදි අම්මාගේ සිල්ක්‌ සාරියක්‌ ඇඳගෙන ගේ පුරාම ඇවිද ඇවිද සෙල්ලම් කරමින් සිටියා. හදිසියේම දුරකථනය නාද වුණා. 

ඒ වෙලාවට කතා කරන්නේ විශ්වවිද්‍යාලෙ ඉන්න අක්‌කා තමයි කියලා පුංචි කවීෂා දුවගෙන ගිහින් රිසීවරය අරගෙන ''හලෝ '' කිව්වා. ඇත්තමයි, ඒ අක්‌කා තමයි. 

අම්මාත් කවීෂා ළඟට දුවගෙන ආවා. අක්‌කා කතා කරන බව තාත්තට කියන්න කවීෂාට තිබුණේ පුදුම හදිස්‌සියක්‌. රිසීවරය අම්මාට දීලා, සාරියත් දෙපැත්තෙන් උඩට උස්‌සගෙන කවීෂා එයාගේ තාත්තගේ ගරාජය පැත්තට එක පිම්මේ දිව්වා.

දවස්‌ ගාණක්‌ හදන්න බැහැ කියලා හරවලා යවපු හමුදාවේ වාහනයක්‌ භාර අරගෙන තාත්තගේ යාළුවෙක්‌ ඒ වෙලාවේ තාත්තාගේ ගරාජයේ ඉඳගෙන හදමින් සිටියා. හදිසියේම ගරාජයේ තිබුණු පෙට්‍රල් භාජනයකට ගිනි ඇවිලුණේ ඔය වෙලාවේදීයි. කොහේදෝ සිට ආ හුළං පොදක්‌ පෙට්‍රල් ගිනිදැල්ල වේගයෙන් අරගෙන ඇවිත් පුංචි කවීෂාගේ සාරියේ වෙළුණා.


කවීෂාත් ගරාජය පැත්තට දුවමින් සිටි නිසා ගින්න එසැනින් කවීෂාගේ මුළු ඇඟම මහා ගිනි කඳක්‌ සේ වෙලා ගනිමින් ඇවිළුණේ පුංචි කවීෂාගේ ජීවිතයට වගේම ගෙදර හැමෝගෙම අවාසනාවටත් එක්‌කයි. ගින්නේ දැවෙද්දීත් පුංචි කවීෂා එයාගේ ඇස්‌ දෙක ඇහි පිල්ලම්වලින් තදට වසා ගෙන ඇස්‌දෙක විතරක්‌ බේරගන්න කියලා ලොකු සටනක නිරත වුණා.

පුංචි කවීෂාව ගින්නෙන් බේරගන්න හදපු එයාගේ අම්මාවත් ඒ ගින්නෙන් හොඳටම පිච්චුණා. ගින්න නිවුණා. කවීෂාගේ මුළුඇඟම විකෘති වුණා. කෙස්‌ ගස්‌ ටික පිච්චිලා, උණුවෙලා ගිහින් තිබුණා. රත්නපුර රෝහලෙන් ඒ මොහොතේම පුංචි කවීෂාව ගිලන් රථයක දමා කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට එව්වා. 

පිළිස්‌සුණු හම උණුවෙමින් ඕජස්‌ ගලමින් තිබෙන අයුරු දුටුව රෝහල් කාර්ය මණ්‌ඩලය තිගැස්‌සුණා. තදකරගෙන හිටපු ඇස්‌ දෙක ඇරලා පුංචි කවීෂා ළමා රෝහලේ හෙදියන් දෙස බැලුවා. රෝහලට භාර ගන්න බැරි තරම් භයානක තත්ත්වයක සිටි පුංචි කවීෂාව කඩි මුඩියේ වාට්‌ටුවට අරගෙන ගියා. 

ඉක්‌මණින්ම දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා. හරියටම මාස දෙකහමාරක්‌ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. ඇස්‌දෙක ඉතිරි වෙන්න මුළු ඇඟම වෙළුම් පටිවලින් ඔතලා කවීෂාව ගෙදර එව්වා. කවීෂා මේ තත්ත්වයටවත් ඒවි කියලා වෛද්‍යවරුන්ටත් විශ්වාස කරන්න අමාරු වුණා.

ඒත් පුංචි කවීෂාට හොඳටම හොඳ වුණේ නැහැ. ඇඟේ තැනින් තැන ඕජස්‌ ගලන්න පටන් ගත්තා. උණු වුණු හම යථා තත්ත්වයට ගන්න පුළුවන් කමක්‌ තිබුණේ නැහැ. දවස ගානේ රත්නපුරේ සිට කොළඹ ළමා රෝහලට කවීෂාව රැගෙන යන්න සිද්ධ වුණා. අතේ තිබුණු හැම සතයක්‌ම ඉවර වුණා.

මේ අතරේ හිතවතුන්ගේ උදව් උපකාරයෙන් පුංචි කවීෂාව ඉන්දියාවේ ඇපලෝ රෝහලට රැගෙන යන්න කවීෂාගේ අම්මාටත් (නිලුෂා මල්කාන්ති) තාත්තාටත් (කවීන්ටස්‌ ජයරත්න) හැකි වුණා.පළමු සැත්කමට රුපියල් ලක්‍ෂ 35 ක්‌ පමණ වැය වන බව ඇපලෝ රෝහල දැන්වූවා. 


කණකර අබරණ දේපළ ඉඩකඩම් උකස්‌ කළත් එච්චර මුදලක්‌ හොයා ගන්න බැරි වුණා. මේ ගැන පළ වුණු ලිපිය දැකලා බොහෝ දෙනෙකුගේ උදව් උපකාර පුංචි කවීෂා වෙනුවෙන් ලැබෙන්න පටන් ගත්තා. 

පුංචි කවීෂා පිළිස්‌සුණු දෑත් එකතු කරලා ළමා රෝහලේ ඇඳ උඩ ඉඳගෙන ජනාධිපතිතුමාට ලියපු ලියුම දැකලා ජනාධිපති අරමුදලිනුත් රුපියල් ලක්‍ෂ 5 ක මුදලක්‌ කවීෂාට ලැබුණා. පළමු සැත්කම සඳහා කවීෂා ඇපලෝ රෝහලට ඇතුළත් කෙරුණා. පැය හතර බැගින් ශල්‍යකර්ම 3 ක්‌ සිදු කළා. පුංචි කවීෂාට අට වතාවක්‌ සිහිනැති කළා. ඒත් මූණ විතරයි හැදුවේ. 

ඒකට රුපියල් ලක්‍ෂ 21 ක්‌ වැය වෙලා තිබුණා. මූQණ ටික ටික හැදෙන්න කියලා ක්‍රීම් වර්ගයක්‌ නිර්දේශ කරලා තියෙනවා. ඒ ක්‍රීම් ටියුබ් 6 ක්‌ මාසෙකට ඕනෑ වෙනවා. ටියුබ් එකක මිල රුපියල් 67950 යි. ඒ වගේ හයක්‌ එක මාසෙකට ඕනේ. ඒ බෙහෙතෙන් තමයි හම දියවීම නැවතිලා තියෙන්නේ.

පුංචි කවීෂාගේ පපුවත් හොඳටම පිච්චිලා, උණුවෙලා, හම ඇකිළිලා ගිහින් තියෙනවා. තැනින් තැනින් තවමත් ඕජස්‌ ගලනවා. පිච්චුණු හම කපා ඉවත් කරලා තවත් ලොකු සැත්කමක්‌ කරන්න තියෙනවා. ඉන්දියාවේ ඇපලෝ රෝහල ඒ සඳහා තවත් ඉන්දියානු රුපියල් ලක්‍ෂ 12 ක මුදලක්‌ වැයවෙතැයි කවීෂාගේ දෙමාපියන්ට පවසා තිබෙනවා. 


දැනටමත් බොහෝ දෙනකුගේ උදව් උපකාරවලින් හා තමන් සතුව තිබූ සියලු සේසත මුදල් කිරීමෙන් සොයා ගත් රුපියල් ලක්‍ෂ 50 කට වැඩි මුදලක්‌ පුංචි කවීෂාගේ ජීවිතය බේරා ගැනීම උදෙසා වැය වෙලා ඉවරයි. 

තවත් රුපියල් ලක්‍ෂ තිහක්‌ තිස්‌පහක්‌ සොයා ගන්න හිතන තරම් ලේසි නැහැ. ඒත් අම්මා තාත්තා හැටියට මේ අහිංසක මල් කැකුළ බේරගන්න දහදුක්‌ විඳිනවා හැරෙන්නට වෙන මොනවා කරන්නද.

මේ කතාව කියවූ සංවේදී ඔබට හැකිනම් පුංචි කවීෂාගේ සැත්කමට උදව් කරන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රත්නපුර ශාඛාවේ ඒ. කේ. කේ. තරුදි නමින් ඇති අංක 100-10-50-7759-1 ගිණුමට මුදල් පරිත්‍යාග ලබාදෙන්න. 


ක්‌වීන්ටස්‌ ජයරත්න, අංක 55 කොලින් ක්‍රෙස්‌කෙට්‌, මුවගම, රත්නපුර ලිපිනයෙන් සහ 0452230463, 0710707380 දුරකථන අංක ඔස්‌සේ පුංචි කවීෂාට හෝ ඇගේ දෙමාපියන්ට කතා කරලා උදව් කරන්නත් ඔබට හැකියි. මේ අහිංසක පුංචි දැරියට ඔබගේ පිහිට මිස දැන්නම් වෙනත් පිළිසරණක්‌ නැත.
 
Related Posts with Thumbnails