Ads 468x60px

.

අවුරුදු 16ක යකැදුරකු කාන්තාවන්ට කළ හූනියමකින් සමාධිගම බියෙන් ඇලිලී යයි...


මගේ මූණට 
පිඹලා මට 
නටපන් කිව්වා. 

ඉතින් මම 
එළිවෙනකම් 
නැටුවා. 

අම්බලන්තොට-නෝනාගම සමාධිගම ප්‍රදේශයේ ඉකුත් 11දා භූමිදෝෂ, ලෙඩ රෝග තුරන් කිරීම සඳහා කරනු ලැබූ ශාන්තිකර්මයකින් අනතුරුව දින 5ක් තිස්සේ ප්‍රදේශයේ බොහෝ කාන්තාවන් පිරිසක් අසාමාන්‍ය රෝගී තත්ත්වයකින් පෙළෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේ වයස අවුරුදු 16ක් පමණ වන යකැ දුරකු ලවා මෙම ශාන්ති කර්ම කරවාගෙන තිබූ බවයි. 

ඒ අතර මෙය නැරැඹීම සඳහා ගිය ප්‍රදේශයේ කාන්තාවන් බොහො මයක් මෙම අසාමාන්‍ය රෝගී තත්ත්වයට ගොදුරුවී තිබෙනවා. 

එදින ප්‍රදේශයේ නිවාස කිහිපයකම මෙසේ ශාන්තිකර්ම කර ඇති අතර දිනෙන් දින මෙම රෝගය වැලඳෙන පිරිස වැඩිවන නිසා ප්‍රදේශයේ ජනතාව මහත් බියකින් පසුවන බවත් වාර්තා වෙනවා.

මෙසේ රෝගී තත්ත්වයට ගොදුරු වූ කාන්තාවන් 6 දෙනකු මේ වන විට රැඳී සිටින්නේ අම්බලන්තොට පලුගස්වල විහාරස්ථානයේ වන අතර ඔවුන්ට පන්සලෙන් පිටතට පැමිණීමට පවා නොහැකි බව රෝගී කාන්තාවෝ පවසනවා.

මෙම යකැදුරා දේව වරමකින් පුද පූජා පවත්වන බවත්, තංගල්ල ප්‍රදේශයේ ඔහු සතුව දේවාලයක්ද පවතින බවත්, මෙම රෝගී තත්ත්වය සුව කිරීම සඳහා පූජා වට්ටියක්ද රැගෙන ඔහුගේ දේවාලය වෙත පැමිණෙන ලෙසද යකැදුරා පවසා ඇති බවත් ප්‍රදේශවාසීහු
පවසනවා.

මෙම රෝගය සුව කිරීම සඳහා වෙනත් බොහෝ යකැදුරන් ජනතාවගෙන් රුපියල් 50,000-70,000ක් ඉල්ලා තිබෙන බවද ප්‍රදේශ වාසීහු
පවසනවා.

මෙම සිදුවීමත් සමඟ කෝපයට පත් ප්‍රදේශවාසීන් පෙරේදා (15දා) පස්වරුවේ ශාන්තිකර්මය කරන ලද යකැදුරා රෝගී කාන්තාවන් රැඳී සිටින පන්සල වෙත ගෙනැවිත් සුවකරන ලෙස ඉල්ලා සිටිය අතර යකැදුරා එය කිරීමට හැකියාවක් නොමැති බව පවසා තිබෙනවා. 


ඉන් අනතුරුව ප්‍රදේශවාසීන් මෙම පුද්ගලයාට පහරදීම හේතුවෙන් පන්සල් භූමිය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇතිවි තිබෙනවා.

රෝගී කාන්තාවන් කිහිපදෙනකුම අප වෙත අදහස් දැක්වූ අතර ඉන් එක් කාන්තාවක් කියා සිටියේ, 


අපේ ගෙදරට ශාන්තිකර්මයක් කරන්න කියලා ආවා. ආවාම මම ගණන් ගත්තේ නෑ. මම මගේ පාඩුවේ හිටියා. අරක්කු, සිගරැට් බොන අයට ශාන්තිකර්ම කරන්න බෑනේ. 

මම මේක කියනකොට ඇඬෙනවා වෙච්ච වැඩේට. මම වින්ද දුකට. මම මගේ පාඩුවෙ ඉන්නකොට මෙහෙට වරෙන් කියලා මගේ කොණ්ඩෙන් ඇදල අරගෙන මොනවද මගේ මූණට පිඹලා මට නටපන් කිව්වා. ඉතින් මම එළිවෙනකම් නැටුවා. 

මට ගහල මුළු ඇඟම නිල්වෙලා. මාව පිච්චුවා. උණු කිරි නෑව්වා. පුදුම දුකක්, වේදනාවක් දවස් 5ක් තිස්සේ මම විඳිනවා. මගේ දරුවන් බඩගින්නේ. මගේ මුළු පවුලම බඩගින්නේ. අපි වගේ අසරණ මිනිසුන්ට ඇයි මෙහෙම කරන්නේ.

මට කිව්වා මම වරමක් දුන්නා උඹ සාත්තර කියපං කියලා. උඹට භාගයයි මට භාගයයි කියලා. මට හා හා කියනවා ඇරෙන්න වෙන මුකුත් කියන්න කට අරින්න බැරි වුණා. බැරිම තැන තමයි පන්සලට ආවේ. 


ලොකු හාමුදුරුවො පිරිත් නූලයි, පිරිත් වතුරයි දුන්නට පස්සේ තමයි මෙහෙම හරි ඉන්නේ. බඩගාගෙන තමයි පන්සලට ආවේ. දැන් පන්සලෙන් එළියට යන්න බෑ. ලෙඩ වෙනවා. අපේ හාමුදුරුවො තමයි මෙහෙමවත් මාව වාඩි කෙරෙව්වේ. හාමුදුරුවන්ට බුදු බව අත්වෙනවා.

අදහස් දක්වමින් තවත් රෝගී කාන්තාවක් කියා සිටියේ, 


11දා ගමේ කිහිපතැනකම ශාන්තිකර්ම පැවැත්වුවා. ඒක බලන්න ඉතින් අපිත් ගියා. එහෙම ගියාම පූජාව පවත්වපු කට්ටඩි මහත්තයා අපේ ඔළුවලට තියලා දෙහි කැපුවා. ගොක් අත්තක් අතට දීල නටන්න කිව්වා. අපිව බය කර කර නැටෙව්වා. ඇඟේ ඉන්න කවුද යන්න කියලා අපිව පිච්චුවා. 

පොල්මල්වලින් ගැහුවා. අපිට දසවධ දුන්නා. දැන් අපිට මොකක්ද වෙනවා. කියන්න තේරෙන්නේ නෑ. ඒත් ඔක්කොම දේවල් මතකයි. මේවා ඉබේම වෙනවා. ඉබේ කියැවෙනවා. අපිට දවස් ගාණකින් කෑමක් නෑ. වතුර විතරයි බොන්න පුළුවන්.

මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා පෙරේදා (15දා) පස්වරුවේ ශ්‍රී ලංකා ස්වාසන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. එන්. විද්‍යා කුලපති මහතා මෙම ප්‍රදේශයට පැමිණි අතර රෝගී කාන්තාවන් කිහිපදෙනකුම ඒ මහතා පරීක්‍ෂාවට ලක්කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර කිරීම සිදුකෙරුණා.

මෙම රෝගී තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් විද්‍යා කුලපති මහතා කියා සිටියේ, 


මෙය මනසේ ඇතිකරගන්නා මානසික රෝගී තත්ත්වයක්. මේක හිස්ටීරියා හෙවත් මායා රෝගය යනුවෙන් හඳුන්වනවා. මෙය බොහෝවිට වැලඳෙන්නේ අවිවාහක කාන්තාවන්ට. බොහොම කලාතුරකින් තමයි පිරිමින්ට බෝවීමක් සිදුවන්නේ. 

මෙම රෝගී තත්ත්වයේ ලක්‍ෂණයක් තමයි මළගිය පුද්ගලයෙක්, වෙනත් පෙරේත දිෂ්ටි වගේ දේවල් ඇඟට ඇතුළු කරගෙන ඒ ආකාරයෙන් ක්‍රියා කිරීම. මේ වගේ දේවල් සිදුවන්නේ තමන්ගේ ජීවිතයේ අභිප්‍රායයන් ඉෂ්ටකර ගැනීමට, අන් අයගේ අවධානය යොමුකර ගැනීමක් සඳහායි යනුවෙනි.

එහි තවත් විස්තර පහතින්

අම්බලන්තොට නෝනාගම සමාධිගම ප්‍රදේශයේ ඉකුත් 11දා භූමිදෝෂ, ලෙඩරෝග තුරන් කිරීම සඳහා කරනු ලැබූ ශාන්තිකර්මයකින් අනතුරුව දින කීපයක් තිස්සේ ප්‍රදේශයේ බොහෝ කාන්තාවන් පිරිසක් අසාමාන්‍ය රෝගී තත්වයෙන් පෙලීමේ පුවතක් පසුගියදා ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වූවා.

වයස දහසයක යකදුරෙකු විසින් කරන ලද ශාන්තිකර්මයකින් අනතුරුව එම ශාන්තිකර්මය ඉටු කලේ නිවසේ සිටි පිරිස් මෙන්ම එය නැරඹීමට පැමිණි කාන්තාවන්ද ආරුඩවීමට ලක්වී තිබෙනවා. එම ආරුඩ වීමෙන් අනතුරුව කාන්තාවන්ට කිසි දෙයක් කෑමට නොහැකි වී අතර බඩගාමින් පන්සල වෙත පැමිණ ඇත.

පන්සල තුලදී පිරිත් කීමෙන් අනතුරුව එය පහව ගියත් පන්සලෙන් පිටතට පැමිණිවිට නැවතත් එම රෝගී තත්වය ඇතිවන බව වාර්තා විය. මේ පිලිබඳ වැඩිදුර විස්තර විමසීම සඳහා අප පලුගස්වල ශ්‍රී ධර්මරාජ විහාරස්ථානයේ රන්සෑගොඩ නන්දරතන හිමියන් ඇමතුවා.
එහිදී උන්වහන්සේ විස්තර කල පරිදි සිද්ධිය සැකෙවින් මෙසේය.

වැලිගම - මිදිගම කලපුව ආසන්නයේ පදිංචිව සිටින රාජපක්ෂ පතිරණගේ ගයාන් නමැති අවරුදු 16 ක තරුණයා මෙයට ටික කලකට පෙර නිවසින් පැන එන්නේ තමාට සිය ආච්චිගෙන් දේව වරමක් ලැබුණු බව පවසමිනි.

ඒ අනුව පවුලේ උදවියටත් සොයාගත නොහැකිව ඔහු මෙතක් කල් වාසය කලේ තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශ යේය. එම ප්‍රදේශයේ කුඩා දේවාලයක් තනාගෙන ගුරුකම් කරමින් සිටි ඇතිඅතර එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ ඔහුගෙන් ගමේ මිනිසුන්ට හිරිහැරයක් නොතිබුණු බවයි.

යාගහෝම සෙත් ශාන්ති කටයුතු සඳහා රුපියල් පනස් දහසක් හැත්තෑ දහසක් පමණ අයකරන මෙම යකදුරු සතුව යම්කිසි ගුප්ත බලයක් පවතින බව ගම්වාසීන් විස්වාශ කරයි. (ඔහුට යම්කිසි වරමක් තිබුනත් ඔහු යන්තර මන්ත්‍ර ගුරුකම් කිසිදු දෙයක් ප්‍රගුණ කර නොමැති බව යකදුරාගේ පවුලේ උදවිය ප්‍රකාශකර සිටී)

ඒ අනුව යාග හෝම ඉටු කිරීමට ප්‍රථම ඔහුගේ ඇනවුම වන්නේ අරක්කු බෝතලයකි. එම අරක්කු බෝතලය එක හුස්මට පානය කිරීමෙන් අනතරුව ඔහු යාග හෝම කටයුතු සිදුකරනු ලබයි. ඒ අනුව පසුගියදා ඔහු සිය සගයාද කැටුව (ඔහුටත් වයස දහසයකි) නිවැසියන්ගේ ඉල්ලීම මත සමාධිගම ප්‍රදේශයේ යාගයක් පවත්වා ඇත්තේ එහි ඇති භුමි දෝෂ ඉවත් කිරීම සඳහායි.

එම යාගය නැරඹීම සඳහා පැමිණෙන මෙන් එම නිවැසියන් විසින් විසින් අසල්වාසීන්ටද ඇරයුම් කොට තිබේ. ඒ අනුව යාගයේ උච්චතම අවස්ථාවට පැමිණෙන විට බෙර තාලයත් සමග කාන්තාවන් නටාගෙන ඉදිරියට පැමිණ ඇත.

ඉන් අනතුරුව යකදුරාගේ සහයකයා විසින් ඔවුන්ට පොල්මලෙන් ගැසීමත්, උණුකිරෙන් නහවීමත් නියෝග ලබාදීමත් සිදුකොට තිබෙනවා. යාගය නිමවෙමෙන් අනතුරුවත් කාන්තාවන් හය දෙනෙකුත් පිරිමින් දෙදෙනකුත් ආරුඪ වී සිට ඇත. නිවැසියන් ඔවුන්ගේ ආරුඪය ඉවත්කර දෙන මෙන් ඉල්ලුවත් ඔහු පවසා ඇත්තේ තමා එවන් දෙයක් කිරීමට නොදන්නා බවය. ඒ අනුව එම කාන්තාවන් පන්සලේ පිහිට පතා ඇත.


එහිදී රන්සෑගොඩ නන්දරතන හිමියන් විසින් ඔවුන්ට පිරිත් දේශනාකොට තාවකාලික සහනයක් ලබාදී ඇත. එහිදී කාන්තාවන්ට දවස් කීපයක් තිස්සේ සුව නොවෙන බව දැනගත් ගම්වාසීන් යකදුරා පන්සලට ගෙනවිත් තිබෙනවා. නන්දරතන හිමියන් අපට පැවසු පරිදි ඔහු ඒ වේලාවේද සිට ඇත්තේ හොඳටම බීමතිනි.

ඔහුගෙන් ගම්වාසීන් ඉල්ලා ඇත්තේ පන්සලේ නතරව සිටින කාන්තාවන් සුවපත්කොට දෙන ලෙසයි. ඔහු එම අවස්ථාවේදීත් පෙර පරිදි තමාට නොහැකි බව පැවසු විට ගම්වාසීන් කෝපයට පත්ව ඔහුට පහරදී ඇත. එහිදී ඔහුව එතනින් ගලවාගත් එක්පුද්ගලයෙක් විසින් ඔහුව ගොඩිගමුව ප්‍රදේශය නවතා ඇති අතර පසුව එම සිදුවීම රූපවාහිනියේ දැකීමෙන් අනතුරුව ඔහුගේ නිවැසියන් සොයා විත් ඔහුව නැවතත් වැලිගම ඔහුගේ නිවාස වෙත ගෙන ගොස් තිබෙනවා.

ඉන්පසුව පන්සලේ නැවතී සිටින කාන්තාවන්ගේ තත්වය බැලීම සඳහා ශ්‍රී ලංකා ස්වාසන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. එන්. විද්‍යා කුලපති මහතා සහ ප්‍රසිද්ධ යකදුරෙකු වෙන වෙනම එකම අවස්ථාවේ පන්සලට පැමිණ ඇත. එහිදී ප්‍රසිද්ධ යකදුරා විසින් ඉල්ලා ඇත්තේ තනි කාමරයකට කාන්තාවන් දමා දුන්නොත් තමාට සුව කල හැකි බවයි.

නමුත් පන්සලේ කාමර නොවූ හෙයින් කාන්තාවන් ගෙවල් බලාගොස් තිබෙනවා. නමුත් යකදුරාගේ ගුරුකමට ප්‍රථම විද්‍යා කුලපති මහතාගේ මෝහන ප්‍රතිකර්ම වලින් කාන්තාවන් තිදෙනෙක් සුවපත්වී තිබෙනවා.

තවමත් රෝගී තත්වයෙන් පසුවන්නේ එම ශාන්තිකර්මය පැවැත්වූ නිවසේ කාන්තාවන් තිදෙනෙක් වන අතර ඔවුන්ට මෝහන ප්‍රතිකාර සිදු කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේපකොට තිබෙනවා. දැන් එම නිවසද ගමේ අත්භූත ස්ථානයක් ලෙස සැලකෙන අතර එහි නිවැසියන් එම නිවසද වසා දමා වෙනත් නිවසකට ගොස් තිබෙනවා.

තවමත් ආරුඪ තත්වයෙන් එම තිදෙනාට එම ප්‍රදේශයේ පිහිටි පල්ලියේ දේවගැතිවරයා විසින් පවසා ඇත්තේ තමාට දෙවියන්ගේ ආශීර්වාදය මගින් එය සුව කල හැකි බවය. ඒ අනුව ඔවුන් දැන් එම පල්ලියට නිතර යන එන බව දැනගැනීමට ලැබී ඇත.

ඔවුන්ගේ තත්වය තවමත් බරපතල බවත් පවුන් බේරාගැනීමට මැදිහත්වන ලෙසත් නන්දරතන හිමියන් අපගෙන් ඉල්ලීමක් සිදුකොට සිටියා. කිසියම් කෙනෙකු මේ සම්බන්ධව උනන්දුවක් හා ඔවුන්ට උපකාර කිරීමට කැමැත්ත දක්වන්නේ නම් අප හරහා නන්දරතන හිමියන් සමග සම්බන්ධ විය හැක.

යකදුරාට පහරදුන් ආකාරය , ආරුඪ වූ කාන්තාවන් කියන කතා පහතින් බලන්න
 

 
Related Posts with Thumbnails