Ads 468x60px

.

පිටකොටුවේ බෝධියේ අපි නොදන්න ඇත්ත කතාව


මේ බෝධියේ පුදුම හාස්‌කම් තියෙන ස්‌ථානයක්‌...

ප්‍රේමදාස මහත්තයා ආවා... එතුමා රටේ ජනාධිපති වුණා

මහින්ද රාජපක්‍ෂ මහත්තයා ආවා.. එතුමාත් රටේ ජනාධිපති වුණා..

පිටකොටුව ශ්‍රී ලංගම බස්‌ නැවතුම්පල අසල පිහිටි බෝධීන් වහන්සේ වසර 191 ක්‌ පැරැණි ඉතිහාසයක්‌ ඇති ස්‌ථානයක්‌

හාස්‌කම් ඇතැයි පැවසෙන මෙම බෝධීන් වහන්සේට වන්දනාමාන කර ගිය කෙනකු දියුණුවේ හිනි පෙත්තටම ළඟා වන බවද පැවසෙනවා. වර්තමානයේ මෙම පිටකොටුව ඓතිහාසික බෝධීන් වහන්සේ රැකබලා ගන්නේ පිටකොටුව එක්‌සත් බෝධිරාජ සමිතිය මගිනුයි.

මෙම සමිතිය බෝධීන් වහන්සේ රැකබලා ගන්නවාට අමතරව විශාල සමාජ සද්කාර්යයන් රැසක්‌ද ඉටු කරනු ලබනවා. එම සමිතියේ වත්මන් ලේකම් ඡේ. පී. සමරසිංහ මහතා සිය හඬ අවදි කරමින් මෙසේ පැවසුවා.

"මේ බෝධීන් වහන්සේ ගැන කියනවා නම් එයට ඉපැරණි ඉතිහාසයක්‌ තිබෙනවා. අද මේ බෝධීන් වහන්සේ වැඩ සිටින ස්‌ථානය පිහිටි මාර්ගයේ එදා බේරේ වැව හා මුහුද යා කෙරෙන ඇළ මාර්ගයක්‌ තිබුණා. 


ඒ දවස්‌වල මේ ඇළේ විශාල කිඹුලන්ද ඉඳලා තිබෙනවා. පසුව කාලයාගේ ඇවෑමෙන් ඒ කියන්නේ 1815 න් පසු මේ ඇළ මාර්ගය වසා දැමුවා. පසුව ඒ වසා දැමූ ඇළ මාර්ගය දිගටම ගස්‌ සිටුවනු ලැබූවා."

" එදා සිටි නාට්‌ටාමිවරයෙක්‌ හා රික්‌ෂෝකරුවෙක්‌ බේරේ වැව ආසන්නයේ තිබූ බෝ පැළයක්‌ ගලවා ගෙනැවිත් එම බෝධීන් වහන්සේ දැන් තිබෙන ස්‌ථානයේ රෝපණය කළා. මේ බෝධීන් වහන්සේ ක්‍රම ක්‍රමයෙන් ලොකු වෙනකොට බොහෝ දෙනා මේ බෝ ගහේ හරක්‌ බඳින්න පටන් ගත්තා."

" එදා සුදු මහත්වරුන් ඇළ මාර්ගය දිගට ගස්‌ සිටු වූ නිලධාරී මහත්වරුන්ගෙන් ඇහුවා, මිනිස්‌සු මොකද මේ ගසට වඳින්නේ කියලා. එහි දී මේ රටේ නිලධාරි මහත්වරුන් සුදු මහත්වරුන්ට කිව්වා, ඒක බෞද්ධයන් වන්දනාමාන කරන බෝගහ කියලා. ඊට පසු සුදු මහත්වරුන් 1841 දී ඒ ගස කපන්න ආයුධ අරන් ආවා. 

 
ඒ බෝ ගස කපන්න ආපු වෙලාවේ කරත්තකාරයෝ, නාට්‌ටාමිලා මේ සියලු දෙනා සමග මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියනුත් මේ ගස කපන්න ඉඩ නොදී එතැනට රැස්‌වුණා. එනම් උන්වහන්සේ බෝධීන් වහන්සේ යට වැතිරී නිර්භීතව කිව්වා, මේ බෝධි වෘක්‍ෂය කපන්න ඕන නම් මාව මරලා කපපල්ලා කියලා. පසුව සුදු මහත්වරුන් ඒ කාර්යය අත්හැර දමා ගියා."

" පසුව මේ ප්‍රදේශයේ සිටි චණ්‌ඩි, සිංහල ව්‍යාපාරිකයෝ, නාට්‌ටාමිලා එකතු වෙලා මේ බෝ පැළය ආරක්‍ෂා කරන්න කටයුතු කළා. ඒ වගේම ගල් බැම්මක්‌ දාලා වන්දනාමාන කළා. "

"1938 දී නැවතත් සුද්දෝ මේ බෝධීන් වහන්සේ කපන්න ආවා. එතකොට මේ බෝධීන් වහන්සේ වැඩ සිටි හංදියේ යාපනයෙන් ඇවිත් සුරුට්‌ටු ව්‍යාපාරයක්‌ කරගෙන ගිය තරුණයෙක්‌ හිටියා. ඔහු ඒ අතරේම එම ස්‌ථානයේ ප්‍රවීණ කවීන්ගේ කවි පොත් අච්චු ගහන්න පටන් ගත්තා.


ඒ කාලයේ මීමන ප්‍රේමතිලක, සාගර පලන්සූරිය, පී. බී. අල්විස්‌ පෙරේරා වැනි කවීන්ගේ පොත් එකතු කර අච්චු ගැහුවා. ඒ සුරුට්‌ටු ව්‍යාපාරිකයා මේ බෝධීන් වහන්සේට ඉතා ආදරයෙන් ගෞරවයෙන් පුද සත්කාර කටයුතු කළා."

දෙවැනි වරට සුදු මහත්වරුන් මේ බෝගහ කපන්න ආපු වෙලාවේ මේ සුරුට්‌ටු ව්‍යාපාරිකයා ඉදිරියට පැන මේ වැඩේ වැළැකුවා. ඒ විතරක්‌ නෙවෙයි, චණ්‌ඩින් ද පැන්නා. සුදු මහත්වරු යළිත් මේ කාර්යය නවතා යන්න ගියා. මේ සුරුට්‌ටු ව්‍යාපාරිකයා හින්දු ආගමේ වුණාට බුද්ධාගමට ලැදි කෙනෙක්‌"

" පසුව මේ බෝධීන් වහන්සේ ළඟ සුළුවෙන් කාමරයක්‌ හදලා බුද්ධ රූපයක්‌ තබලා පහන් තබලා වන්දනාමාන කරන්න පටන් ගත්තා. පසුව ඒ ස්‌ථානයට විදුලිය ද ගත්තා. මේ ස්‌ථානයට බෞද්ධයන් දමා යන මුදල් මෙතන සිටි අය ඕන ඕන විදිහට පරිහරණය කළා. 


මේ නිසා හය මාසයක විදුලි බිල වූ රුපියල් 215 ක්‌ ගෙවා ගන්න නැති නිසා විදුලිබල මණ්‌ඩලය විදුලිය අත්හිටෙව්වා. පසුව සුරුට්‌ටු මුදලාලි එහි විදුලි බිල ගෙවා තීරණයක්‌ ගත්තා, සමිතියක්‌ ගොඩනඟා මේ බෝධීන් වහන්සේගේ ස්‌ථානය පාලනය කරන්න."

" ඒ අනුව 1958 දී පිටකොටුව එක්‌සත් බෝධිරාජ සමිතිය නමින් එය පිහිටුවා ගත්තා. එදා සමිතියේ මුල්ම සභාපති වුණේ වරායේ සේවය කළ සේවකයකු වූ එන්. යූ. ගුණසේකර මහතා. එතකොට ලේකම් වුණේ විලියම් සිල්වා මහතා. භාණ්‌ඩාගාරික ලෙස සුරුට්‌ටු මුදලාලි වන සින්නදොරේ මුදලාලි තේරී පත් වී තිබෙනවා.

" ඉන්පසු සින්නදොරේ මුදලාලි ඉවත් කර භාණ්‌ඩාගාරික ලෙස එන්. ඩබ්. රත්නපාල මහතා පත්වුණා. මෙම සමිතියේ දෙවැනි සභාපතිවරයා ලෙස යූ. ඩබ්. සුමතිපාල මහතා පත් කරගත්තා."

" ඉන්පසුව ඊ. ඩී. ඒ. පෙරේරා, පී, නවරත්න, යන මහත්වරුන් සභාපතිවරුන් ලෙස පත්වුණා."දැනට මේ සමිතියේ සාමාජිකයන් තිස්‌පස්‌දෙනෙක්‌ ඉන්නවා. මේ ඔක්‌කොම ව්‍යාපාරිකයෝ."

"පිටකොටුව බෝධීන් වහන්සේ අවට සිංහල බෞද්ධයන් ඉන්නේ සියයට දහතුනක්‌ විතරයි. පිටකොටුවේ බෞද්ධකම රැකිලා තිබෙන්නේ මේ ඓතිහාසික බෝධීන් වහන්සේ නිසා. සතරදිග් භාගයෙන් පිටකොටුව නගරයට කෙනෙක්‌ ඇවිත් බැස්‌සොත් මුලින්ම දකින්න ලැබෙන්නේ පිටකොටුවෙ මේ බෝධිරාජ විහාරය."

මේ ස්‌ථානය පුදුම හාස්‌කම් ඇති ස්‌ථානයක්‌. එදා මෙතනට ආර්. ප්‍රේමදාස මහත්තයා අගමැති වෙලා ඉන්න කොට ආවා. එතුමා එදා මේ බෝධිරාජ විහාරය දියුණු කිරීමට ආධාර උපකාර කළා. එතුමා රටේ ජනාධිපති වුණා."

" ඒ වගේම 2000 දී මහින්ද රාජපක්‍ෂ මහත්තයා ආවා. ඒ වගේම එතුමා ජනාධිපති වුණා.""එසේම රටේ බොහෝ දේශපාලනඥයන් උපවාස කරන්න එන්නෙත් මේ බෝධීන් වහන්සේ අසලට."

" 1988 දී මේ ස්‌ථානයේ විශාල බෝම්බයක්‌ පුපුරා ගියා. එහිදී විශාල පිරිසක්‌ මියගියා. නමුත් මේ බෝධීන් වහන්සේට කිසිම දෙයක්‌ වුණේ නැහැ. මෙතන හාස්‌කම් තිබෙනවා කිව්වේ ඒකයි."

"පිටකොටුව බස්‌ නැවතුම්පළේ තමන්ට අවශ්‍ය බස්‌ රථය එනතෙක්‌ විවේකී සුවයෙන් ඉන්න, බණ භාවනා කරන්න, ස්‌නානය කරන්න භික්‌ෂුන් වහන්සේලාට මෙහි ඉඩකඩ තිබෙනවා. ඒ වගේම අපි උන්වහන්සේලාට දානයත් පූජා කරනවා.

" මේ විහාරය වටා දමාගෙන හිටපු අනවසර වෙළෙඳ සල් සියල්ලක්‌ම ඉවත් කර වෙනත් ස්‌ථාන ලබාදුන්නා. දැන් යළිත් අනවසර වෙළෙඳ සල් මේ විහාරස්‌ථානය වටා දාගෙන. මේවා මේ විහාරයට අවහිරයක්‌. ඒ වගේම අප්‍රසන්න බවක්‌ ගෙනෙනවා. මේ ගැන වගකිවයුත්තන් යළිත් සලකා බලනවා නම් හොඳයි.
 
Related Posts with Thumbnails