Ads 468x60px

.

අවුරුදු 17ක් කාමරයකට වැදී නිරුවත්ව සිටින අරුම පුදුම තරුණයෙක්.


අලියෙකුට 
වගේ 
කන්න 
පුළුවන්

අවුරුදු 17ක් කාමරයකට වැදී නිරුවත්ව සිටින මහේෂ් ගයාන් තුෂාර නම් අරුම පුදුම තරුණ යෙකු පිලිබඳ පුවතක් බිබිල, බැඳියාව ගම්පියසේ ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

උපන්දා සිට පුංචි ගයාන් අනෙක් දරුවන්ට වඩා වෙනස් හැසිරීම් පෙන්වන්නට වූවේය. ඇඟපතින් වුවද ගයාන් අනෙක් දරුවන් හා සසඳද්දී වැඩී සිටියේය. බහ තෝරන වියට පැමිණෙද්දී ගයාන් අනෙක් දරුවන් අතරින් සුවිශේෂී වූවේය. 


මන්දයත් අනෙක් දරුවන් අම්මා, තාත්තා යැයි ගොත ගසමින් වචන අමුණද්දී ගයාන් ඒ වෙනුවට මුවින් විවිධාකාර ශබ්ද පමණක් පිටකර සිටියේය.

කල් යද්දී ගයාන් කර්ණාබාධ සහිත දරුවකු බව සියල්ලන්හට අනාවරණය විය. පුංචි බණ්ඩාගේත් කරුණාවතීගේත් දෙනෙත් කඳුළින් පිරී ගියේය. 'කතා කරන්න බැරි වුණත් මේ අපේම දරුවානේ' පුංචි බණ්ඩා කරුණාවතීව අස්වසන්නට වූවේය. 


ටික දිනක් ගෙවී යත්ම ගයාන් අසනීපයෙන් පෙළෙන්නට වූවේය. හඬමින්ම කල් ගෙවන ගයාන්ට තම ශරීරයේ අපහසුතාව පවසා ගන්නට නොහැකි වූවේය. වෛද්‍යවරු පවා ගයාන්ගේ අසරණ බව වටහා නොගත්හ.

ගොවිතැන් බතින් ජීවත් වූ පුංචි බණ්ඩාගේ නිවෙසේ අගහිඟකම් හිස ඔසවන්නට පටන් ගත්තේ දුක් කරදර රැසක ආරම්භයක් සනිටුහන් කරමිනි. ගයාන් වරින් වර අසනීප වන්නට විය.

වයස අවුරුදු එකහමාරේදී ගයාන් තදබල සේ රෝගාතුර වූවේ අපේක්ෂා නොකළ අයුරිනි. ඔහුට තදින් උණ වැලැඳී තිබූ අතර කෙතරම් බේත් හේත් කළත් ඔහුගේ උණ අඩුවන පාටක් පෙනුණේ නැත. 


ගයාන්ව ඔසවාගත් පුංචි බණ්ඩා පයින්ම යකුන්නෑව ප්‍රදේශයේ දොස්තර මහතා සොයා පිටත් වූවේය. බෙහෙත් රැගෙන පැමිණියද ගයාන් සුව වූවේ නැත. ඔහුට ත්‍රිත්ව එන්නත ලබා දීමට යෙදුණේද වයස අවුරුදු එකහමාරේ දීය.

එම එන්නත ලබා ගැනීමටද ගයාන්ව රැගෙන ගියේ යකුන්නෑව ප්‍රජා ශාලාව වෙතටය. එන්නත ලබා ගෙන නිවෙසට පැමිණීමෙන් අනතුරුව ගයාන්ට නැවැත වතාවක් උණ ගන්නට විය. වෙවුල වෙවුලා උණ වැඩි වන්නට වූවෙන් පුංචි බණ්ඩාත්, කරුණාවතීත් බිය වන්නට වූහ. 


මුවින් හෝ වචනයක් තබා සිහින් කෙඳිරියක්වත් නොනැඟූ ගයාන් බලා ගත් වනම බලා සිටියේය. දරුවාගේ තත්ත්වය නරක අතට හැරෙන බවට වටහා ගත් පුංචි බණ්ඩා දරුවා රෝහල වෙත රැගෙන ගියේය.

'මේ ළමයාගේ ඇඟට විස බීජයක් ඇතුළු වෙලා.' දෙබැම රැලි කර ගත් වෛද්‍යවරු පැවැසූහ. ඒ පිළිබඳ තේරුම් ගන්නට තරම් දැනුමක් ගයාන්ගේ මවුපියන් සතු වූවේ නැත. 'අනේ ‍ෙදාස්තර මහත්තයෝ දරුවව සනීප කරලා දෙන්න' ගයාන්ගේ මවුපියෝ පින්සෙණ්ඩු වන්නට වූහ.

දින කිහිපයක ඇවෑමෙන් ගයාන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්වූවේය. දරුවාගේ අසනීපය නිසා පුංචි බණ්ඩාට ගොවිතැන් බතක්වත් කර ගැනීමට ඉඩ පාඩුවක් ලැබුණේ නැත. 


වේලක් කා දෙවේලක් නොකා හිඳිමින් දෙන්නා දෙමහල්ලෝ දරුවා ගැන සිතමින් කඳුළු බොන්නට වූහ. ඔවුන් කෙතරම් දුක් සුසුම්හෙළුඵවත් ගයාන් සාමාන්‍ය දරුවන් මෙන් හැසිරුණේ නැත. වයසින් වැඩෙන්න වැඩෙන්න ඔහු දඩබ්බර ගති ලක්ෂණ පෙන්වන්නට වූවේය.

ගෙදර තිබූ බඩු මුට්ටු කඩා බිඳ දමන්නට පටන් ගත් ඔහු මුවින් විවිධ භයංකාර ශබ්ද පිට කරමින් නිවෙස තුළ පෙරැළි කරන්නට පටන් ගත්තේය. ගත දවටා සිටි ඇඳුම් පැලඳුම් පවා ගලවා වීසි කර දැමූ ඔහු ඇඳුම් ඇඳීම වර්ජනය කරන්නට වූවේය. කෙතරම් උත්සාහ කළද එය ව්‍යර්ථ විය. ගයාන්ව නිවෙසේ දමා ගොස් කරුණාවතීටත් පුංචි බණ්ඩාටත් සැනසීමෙන් ගොවිතැනක් කරන්නට නොහැකි විය.

සැන්දෑයාමයේ නිවෙසට පැමිණෙන විට ඔවුන්ට දැනගත හැකි වූයේ නිවෙසේ සියලු බඩු මුට්ටු කඩා බිඳ දමා ඇති ආකාරයකි. එහෙත් ගයාන් නිවෙසේ සිටියේ නැත. කලබලයට පත්වූ පුංචි බණ්ඩාත්, කරුණාවතීත් ගම පීරමින් ගයාන්ව සොයන්නට වූහ. 


'අන්න කොල්ලා වෙල දිහා හරක් ගාලට වෙලා ඉන්නවා' ගම්වැසියකු පැවැසූ දෙයින් කරුණාවතීගේ ගතට ලේ උනන්නට විය. දෙපා ඉක්මන් කෙරූ දෙපොළට දැක ගත හැකි වූවේ වෙල මැද ගව ගාලේ ගවයකුගේ සිරුරේ එල්ලී සිටි ගයාන්වයි. 

තියුණු අං ඇති ගවයාව කුඩා වයසේ සිටි ගයාන් කෙසේ මෙල්ල කරගත්තා දැයි එතැනට පැමිණි කිසිවකුට සිතා ගන්නට නොහැකි විය. ඇඟේ නූල් පොටකුදු නොමැතිව වෙල මැදට වී සිටි ගයාන්ව දුටු ගැමියෝ සිනාසෙන්නට වූහ. කොච්චර කිව්වත් ඇඳුමක් අඳින්නේ නැහැ. ඉරලා විසි කරනවා, මොනවා කරන්නද?' කරුණාවතී ගම්මුන්ට පැවැසුවේ ලැජ්ජා සහගතවය.

'මේ විදියට කොල්ල ගෙදර දාලා ගියොත් අපිට මේ කිසි දෙයක් ඉතිරි කර ගන්න වෙන්නේ නැහැ. ගම පුරාම ඇවිදලා අපිට හොයන්න තමයි වෙන්නේ. ඒ නිසා අපි හෙට යද්දි පුතාව කාමරේ දාලා ‍ෙදාර වහලා යමු, පුංචිබණ්ඩා හිතකින් නොවුවද එම තීරණය ගත්තේය.

බත් පිඟානක් බෙදා ගෙන ගොස් ගයාන්ට කැවූ කරුණාවතී කර දඬු උස්මහත් වූ ගයාන්ව නාවා පිස දමා කාමරයකට රැගෙන ආවාය. කාමරයට හොඳින් අගුළු දැමූ පුංචි බණ්ඩාත්, කරුණාවතීත් කුඹුරට පිටත් වූහ. කාමරයේ ‍ෙදාරට ගසමින් ගයාන් කලබල කරන්නට පටන් ගත්තේය. 


එහෙත් ඔහුගේ උදව්වට කිසිවකු නොමැති තැන ඔහු කාමරයේ තිබූ ඇඳ පොළොවේ ගසා කඩා බිඳ දැම්මේය. නිවෙසට පැමිණි කරුණාවතීටත්, පුංචිබණ්ඩාටත් දැකගත හැකි වූයේ කාමරයේ තිබූ ඇඳ කඩා බිඳ දමා තිබෙන ආකාරයයි.

දෙවැනි දවසේද අකැමැත්තෙන් වුවත් ගයාන්ව කාමරයේ දමා යන්නට පුංචි බණ්ඩාටත්, කරුණාවතීටත් සිදුවූහ. ගයාන් ගැන සිතමින් කරුණාවතී වැලපෙන්නට වූවාය. 'අඬන්න එපා, දරුවාගේ ආරක්ෂාවටත් මේ කරන දේ හොඳයි. අපි නැති වෙලාවේ ගෙයින් එළියට ගිහින් අනතුරක් කරගත්තොත් ඒක ඊට වඩා වේදනාවක්' පුංචි බණ්ඩා කරුණු පහදන්නට වූවේය.

එදින දෙදෙනාගේ වැඩකටයුතු නිම වී එන විට ගයාන් කාමරයේ මුල්ලකට වී නිදාගෙන සිටියේය. ඔහු කාමරයේ ජීවිතයට දින දෙකකින්ම අනුගත වී තිබුණේය. ඉන්පසු ඔහු කිසිම දිනෙක කාමරයෙන් පිටතට පැමිණීමට පවා කැමැති වූවේ නැත. 


නිරුවතින් සිටි ගයාන් කාමරයේ මුලුගැන්වීමට ප්‍රිය කෙළේය. එදා සිට වයස අවුරුදු දාහතක් වන තුරුම ගයාන්ගේ කඳුළ, සුසුම, සතුට, සැනසීම ආදී සියලු හැඟීම් බිත්ති හතරක් තුළටම සීමා විය.

කිසිදු අවශ්‍යතාවකට ඔහු කාමරයෙන් පිටතට පැමිණියේ නැත. මල මුත්‍ර පවා ඔහු කාමරය තුළම පහ කරන්නට වූවේය. දිනෙන් දින ඔහුගේ හැසිරීම මිනිසකුට වඩා වනචාරියකුට සමාන වන්නට විය. වයස අවුරුදු 17ක යෞවනයකු වූ ගයාන් හැඩි දැඩි මුහුකුරා ගිය පිරිමියකු සේ වැඩී සිටියේය.

ගයාන්ගේ ජීවිතය පිළිබඳව දුකට පත්වූ පුංචි බණ්ඩා හිරුඑළියක් හෝ නොවැටුණු ගයාන්ගේ පුංචි කාමරයේ එක් බිත්තියකට කම්බි දැමූ ජනේලයක් සකසා දුන්නේය. එදා සිට ගයාන් ඔහුට පිටස්තර වූ ලෝකය දුටුවේ කුඩා ජනේල කවුළුව තුළිනි. 


මනස්කාන්ත බාහිර ලෝකය දුටු ගයාන් උදේ අරුණලු වැටෙන පැයේ සිට රාත්‍රිය වනතෙක් ජනේලයේ යකඩ පොලු අල්ලා ගෙන බලා සිටියේ ඇස්වලින් එම ලෝකය ගිල දැමීමට මෙනි.

එවන් අවස්ථාවලදී කරුණාවතී හැඬුම්බර වූවාය. නොදැනුවත්වම ඇගේ දෙනෙතින් කඳුළු කඩා වැටිණි. ඇගේ දෑසින් වැටුණු කඳුළුවල සැඟවී තිබුණේ මෙවන් ඛේදනීය කතාවකි. 'මගේ පුතා ඉපදුණු දවසේ ඉඳන් අනෙක් ළමයින්ගෙන් වෙනස් වුණා. 


සැරින් සැරේ අසනීප වුණා. ‍ෙදාස්තරවරුන්ට පෙන්නුවා. කොළඹ ඉස්පිරිතාලවලටත් ගෙනාවා. ඒත් කිසිම තැනකින් පුතාව සනීප කරන්න බැරි වුණා. පොඩි කාලේ ඉඳන් ඇඳුමක් අන්දනවට කැමැති වුණේ නැහැ. ඒවා ඉරලා විසි කරන්න පටන් ගත්තා.

ලොකු වෙන්න ලොකු වෙන්න ගෙදර බඩු කඩන්න පටන් ගත්තා. ඒ නිසයි කාමරයේ බඩු මුකුත් තියන්නේ නැත්තේ. කාමරයේ තියෙන්නේ බිත්ති හතරයි, සිමෙන්තියයි, වහලෙයි විතරයි. රෙද්දක්වත් පොරවන්නේ නැහැ. දැන් පුතා වැඩුණු පිරිමි ළමයෙක්. 


ජනේල ගාවට වෙලා එයා ඉද්දී එයාව දැකපු ගමේ මිනිස්සු පවා බය වුණා. ගයාන්ගේ තාත්තා පුංචිබණ්ඩා ගොඩාක් මහන්සි වෙනවා ගෙදර ගැන හිතලා. ගයාන්ට හොඳට කන්න පුළුවන්. තුන්වේලම බත් තමයි ඉල්ලන්නෙත්. 

පරිප්පුයි බතුයි තියෙනවා නම් පිඟන් දෙක තුන වුණත් කනවා. එයාට නිතර නිතර අසනීප වෙනවා. අතින් කන්න බොන්නේ නැහැ. එයාට ඒවා පුරුදු නැහැ. මම තමයි තවමත් පුතාගේ නාවන, කවන සේරම වැඩ කරන්නේ.

මල මුත්‍ර දාන්නෙත් කාමරේමයි. මමයි එයාගේ තාත්තයි, එයාගේ අයියයි තමයි කාමරේ සුද්ද කරන්නේ. ඉස්සර මාත් පුංචි බණ්ඩා එක්ක කුඹුරට ගියා. ඒත් දැන් ඒක කරන්න බැහැ. පුතා ගෙයි බිත්ති පෙරළන්න හදනවා. ‍ෙදාර, ජනෙල් කඩන්න හදනවා. ‍ෙදාර කඩාගෙන කොහේ හරි යයි කියන බයට මම ගෙදරට වෙලා ඉන්නවා.

දවසක් පුතා වැස්සට කාමරේ ඇතුළට රිංග ගත්තු කුරුමිණි වගයක් පවා කාලා තිබුණා. ඒ නිසා එයාව දාලා යන්න බයයි. ඒ නිසා ජීවත් වෙන්නත් අමාරුයි. මුළු ගෙටම තියෙන්නේ කාමර දෙකයි. අපි හරිම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ගයාන්ට අලියෙකුට වගේ කන්න පුළුවන්. අපිට වේලක් ඇර වේලක් කාලා ඉන්න පුළුවන් වුණත් ගයාන් එහෙම ඉන්නේ නෑ. කෝලාහල කරනවා.

වැස්සට මුළු ගේම තෙමෙනවා. බිත්ති ඇලවෙලා. කොයි වෙලේ අපේ ඇඟටම පාත් වෙයිද දන්නේ නැහැ. අපි ඉන්නකන් අපි මේ විදියට හරි ගයාන් පුතාව බලා ගන්නවා. ඒත් අපි නැතිව ගිය දවසට මෙයා කොහොම ජීවත් වෙයිද කියලා අපිට හිතාගන්නවත් බැහැ. අපි වැටිලා ඉන්නේ හරිම අසරණ තත්ත්වෙකට. මේ දරුවව සනීප කර ගන්න විදියක් තියෙනවා නම් අපිට ඒ හොඳටම ඇති.'

කරුණාවතීත්, පුංචිබණ්ඩාත් ගයාන්ගේ හෙට දවස ගැන සිතමින් දුක් සුසුම් හෙළද්දී, බිත්ති හතරකට මැදිවූ ගයාන් ජනෙල් පොලු අතරින් එපිට පෙනෙනා ලෝකය දෙස බලාපොරොත්තු සහගතව දෙනෙත් දල්වා බලා සිටියි. ඒ ලොවේ ඔහු නොදන්නා, ඔහුට ආගන්තුක බොහෝ දෑ සිදු වෙතත්, ඔහු දන්නේ ඉර පායන විට එළිය වැටෙනා බවත්, සඳ පායන විට අඳුර වැටෙනා බවත් පමණි.

අවුරුදු 17ක් කාමරයකට වැදී නිරුවත්ව සිටින අරුම පුදුම තරුණයකු යන හැඟීමෙන් ගයාන් දෙස බලනවාට වඩා මානව දයාවකින් ඔහු දෙස බැලීමට ඔබට හැකි වේ නම් ඔහුගේ ලෝකයද හෙට දිනයේ ඔබේ ලෝකය තරම්ම සුන්දර සහ සැබෑ එකක් වනු ඇත.
 
Related Posts with Thumbnails