Ads 468x60px

.

තරුණ ගුරුවරියගේ අඩ නිරුවත් ඡායාරූප වලින් ෆේස්බුක් පිටුව හදා කප්පම් ඉල්ලූ සිසුවාගේ කතාව

ලොව අංක එකේ සමාජ ජාල වබේ අඩවිය වන ෆේස්බුක් ගැන මේ දිනවල වැඩියෙන්ම කතාබහ කරන රට විය යුත්තේ ශ්‍රී ලංකාවය. 

ඒ ෆේස්බුක් මුල්කරගත් සිද්ධීන් කිහිපයකින් පාසල් සිසුවියන් තිදෙනෙකුම එක දිගට, මසක් ඇතුළත සියදිවි හානිකර ගත් බැවිනි. ඇතැම් විට ෆේස්බුක් මුල්කර ගනිමින් කෙටි කාලයක් තුළ එතරම් පිරිසක් සියදිවි හානිකර ගත් එකම රට ශ්‍රී ලංකාව වන්නටද පුළුවන.

හොඳට මෙන්ම නරකටද එක හා සමානව යොදා ගැනීමට හැකි ෆේස්බුක් ගැන රටම අවදියෙන් සිටින මෙවන් කාලයක තවත් ෆේස්බුක් අපරාධයක් වාර්තා වන්නේ නාවලපිටිය පැත්තෙනි. 


ඒ තරුණ පාසල් ගුරුවරියකගේ අඩ නිරුවත් ඡායාරූප සහිත ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් විවෘත කොට, ඒ සම්බන්ධයෙන් අර ගුරුවරියගෙන් කප්පම් ඉල්ලා සිටීමකි. එසේ කප්පම් ඉල්ලා ඇත්තේ එම ෆේස්බුක් ගිණුම වසා දැමීමත්, ඇගේ තවත් ඡායාරූප ප්‍රසිද්ධ නොකිරීමත් සඳහාය.

ඉල්ලා ඇති කප්පම රුපියල් ලක්ෂ තුනකි. යමෙකුට මෙය ඉතා සුළු මුදලක් යැයි සිතෙන්නට පුළුවන. මුදල සුළු වූවාට මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ කප්පම ඉල්ලන්නේ පාසල් සිසුවෙකු වීමය. මෙහි ඇති භයානකකම වන්නේ පාසල් සිසුවෙකු ගුරුවරියකගේ නමින් ව්‍යාජ

ෆේස්බුක් ගිණුමක් විවෘත කොට ඇයට තර්ජනය කොට කප්පම් ඉල්ලා සිටීමය.

ෆේස්බුක් සමාජ ජාලය තුළ ව්‍යාජ පුද්ගල ගිණුම් විවෘත කිරීම්, පවත්වාගෙන යාම්, නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර කප්පම් ගැනීම් ආදී විවිධාකාර සයිබර් අපරාධ සිදුවුවත් පාසල් සිසුවෙකු මේ ආකාරයට තර්ජනය කර කප්පම් ඉල්ලා සිටීමක් මෙරටින් වාර්තා වන පළමු අවස්ථාව වන්නේ මෙයය. 


මෙකී සිසුවා අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටින්නෙකි. ඒ මධ්‍යම පළාතේ පිහිටි දෙමළ විද්‍යාලයකිනි. ගුරුවරිය මධ්‍යම පළාතේ පිහිටි ජාත්‍යන්තර පාසලක සේවය කරන්නියකි. අවිවාහක තැනැත්තියක වන එම තරුණ ගුරුවරියද ෆේස්බුක් සමාජ ජාලයේ නිතර දකින්නට හැකි තැනැත්තියකි.

සිසුවාද ෆේස්බුක් සමාජ ජාලයේ ගිණුමක් හිමි තැනැත්තෙකි. ෆේස්බුක් සමාජ ජාලයට ඔහු බොහෝ විට පිවිසෙන්නේ ජංගම දුරකථනයෙනි. ගුරුවරිය බිය ගන්වමින් ඔහු කප්පම් ඉල්ලා ඇත්තේද ජංගම දුරකථනය හරහාය.


මෙම තරුණ ගුරුවරියගේ මවද ගුරුවරියකි. ඇය දැන් සිටින්නේ විශ්‍රාම සුවයෙනි. සිසුවා ඇගේ ගෝලයෙකි. ඇය විශ්‍රාම ලබා ඇත්තේද එම සිසුවා අධ්‍යාපනය ලබන පාසලෙන් වීම විශේෂිතය. මේ දෙගොල්ලම අසල්වාසීන් වීම තවත් විශේෂත්වයකි.


තරුණ ගුරුවරියගේත් සිසුවාගේත් මෙම ෆේස්බුක් පලහිලව්ව පටන් ගන්නේ මෙයට මාසයකට පමණ පෙරය. ඒ සිසුවාට අහඹු ලෙස හමුවන දුරකථන මෙමරි කාඩ්පතක් හේතුවෙනි. සිසුවා පවසන ආකාරයට අනුව එම මෙමරි කාඩ්පත ඔහුට හමුවන්නේ මාස හතරකට පහකට පෙරය. ඒ පාරේ වැටී තිබියදීය. 


එම මෙමරි කාඩ්පත ඔහු තම ජංගම දුරකථනයට දමා පරීක්ෂා කර බලන්නේ එය ප්‍රයෝජනයට ගත හැකි එකක් දැයි කියාය.
සිසුවාට සිය  දෑස් අදහා ගන්නට නොහැකිවන්නේ මෙම මෙමරි කාඩ්පතේ ඇති ඡායාරූප ගොන්න දැකීමෙනි. 


එහි ඇත්තේ වැඩි හරියක්ම අඩ නිරුවත් ඡායාරූපය. ඒ තම අසල්වාසී නිවසේ සිටින තරුණ ගුරුවරියගේය. ඇගේ උඩුකය නිරුවත් ඡායාරූප ගොන්නක්ම ඒ තුළ තිබුණේය. ඒ කණ්ණාඩියක් ඉදිරිපිට සිට ඇය විසින් ජංගම දුරකථනයෙන්ම ගත් ඒවාය.

එම ඡායාරූප කාලයක් තිස්සේ ළඟ තබාගෙන සිටි සිසුවා එය අපරාධමය කටයුත්තක් සඳහා යොදා ගන්නේ මෙයට සති කිහිපයකට පෙරය. ඒ ඔහුට ඉන්දියාවට යන්නට අවස්ථාවක් උදාවීමත් සමග ඒ ගමනට මුදල් අවශ්‍යතාවක් පැන නැගීම හේතුවෙනි.


සිසුවා ඉන්දියාවට යන්නට සූදානම් වූයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහාය. එම සිසුවාගේ මවගේ පාර්ශ්වයේ ඥාතීන් වැඩි දෙනෙක් පදිංචිව සිටින්නේ ද දකුණු ඉන්දියාවේ ය. 


පරිගණක භාවිතයේ දක්ෂයෙකු වන ඔහු සයිබර් අපරාධකරුවෙකුගේ භූමිකාවට පිවිසෙන්නේ මෙමරි කාඩ්පතේ තිබුණු ඡායාරූපවලින් තෝරාගත්  ඡායාරූප කිහිපයක් යොදා ව්‍යාජ ෆේස්බුක් පිටුවක් විවෘත කිරීම තුළිනි. එහි මුල් පිටුව ඔහු සරසන්නේ ගුරුවරිය සිය මිතුරියකගේ විවාහ මංගල්‍ය උත්සවයකදී සාරියකින් සැරසී ගත් ඡායාරූපයකිනි. 

එම ඡායාරූපයද සිසුවාට හමුවන්නේ මෙමරි කාඩ්පතෙනි. ඇගේ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් ඔහු එම පිටුවට දමන්නේ ඉන් අනතුරුවය. ඒ ඇය සම්බන්ධයෙන් අසභ්‍ය තොරතුරු ඇතුළත් ලිපියක්ද සමගිනි.

අන්තර්ජාලයට එම ෆේස්බුක් පිටුව මුදාහැර වැඩි කාලයක් ගත නොවීය. ෆේස්බුක් සමාජ ජාලය හරහා ගුරුවරිය සමග අදහස් හුවමාරු කර ගන්නා මිතුරියකගේ නෙත එම ව්‍යාජ ෆේස්බුක් පිටුවට යොමුවන්නේ අහඹු ලෙසිනි. ඇයට දෑස් අදහාගත නොහැකි විය. තුෂ්ණිම්භූත වූ එම මිතුරිය වහා ගුරුවරියට ඒ බව දැනුම් දුන්නාය.


ඒ අනුව ගුරුවරියද එම ෆේස්බුක් පිටුවට පිවිසුනාය. ඇගේ අඩ නිරුවත් ඡායාරූප එම ෆේස්බුක් පිටුවට ගියේ කෙසේදැයි ඇයටද සිතා ගන්නට නොහැකි විය. එම ඡායාරූප තමාගේ බවත්, ඒවා තමා විසින්ම ගත් ඒවා බවත් නම් ඇය දැන සිටියාය. එම ඡායාරූප ඇතුළත් දුරකථන මෙමරි කාඩ්පත ගැන ඇගේ මතකයට එන්නේ එවිටය. ඒ සැනින් ඇය තම අත්බෑගය පරීක්ෂා කළද එහි මෙමරි කාඩ්පත නොවීය.


සියල්ල ඇයට පැහැදිලි විය. ඒ තම පියයුරේ ඇති ගැටිත්තක් හේතුවෙන් එය  පියයුරු පිළිකාවක්දැයි සැකකර කළ සේයාරූ පරීක්ෂාවක් අතරතුර  විටෙන් විට නිකමට මෙන් තම ජංගම දුරකථනයෙන් ගත් ඒ ඡායාරූප ඇතුළත් මෙමරි කාඩ්පත යම් පුද්ගලයෙකු අතට පත්වී ඇති බවය. 


එහෙත් ඒ ව්‍යාජ ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන්නේ තම මවගෙන් අකුරු කළ අසල නිවසක පදිංචිව සිටින සිසුවා බව ඇය දැන නොසිටියාය.
ඇය ව්‍යාජ ෆේස්බුක් පිටුව සමග අදහස් හුවමාරු කරමින් එම පිටුව වසා දමන ලෙස, එය පවත්වාගෙන ගිය අබිරහස් පුද්ගලයාගෙන් ඉල්ලීමක් කරනුයේ එබැවිනි.

ඊට අනෙක් පාර්ශ්වයෙන් (එනම් සිසුවාගෙන්) ඇයට ලැබෙන්නේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නම් නොවේ. ඇයට ලැබෙන්නේ, තවත් ඡායාරූප ගොන්නක්ම ඇති බැවින් එම ඡායාරූපද ප්‍රසිද්ධ කරන බවට වූ තර්ජනයකි. ඒත් සමගම ඔහු ඇයට යෝජනාවක්ද ගෙන ආවේය. ඒ රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාදිය හැකිනම් ෆේස්බුක් පිටුව වසා දමන බවය.


මෙමරි කාඩ්පතේ ඇති ඡායාරූප මොනවාදැයි හොඳ හැටි දැන සිටි ගුරුවරියට ඉල්ලා සිටි කප්පම් මුදල ලබාදෙන්නට ‍පොරොන්දු වෙනවා හැරෙන්නට විකල්පයක් නොවීය. ඒ එම ඡායාරූපද අන්තර්ජාලයට මුදාහැරුණහොත් තමාට මහත් ලජ්ජාවක් ඇති වන බව ඇය හොඳ හැටි දැන සිටි බැවිනි. 


ඒ අනුව ඇය එම කප්පම ලබාදීමට සිසුවාට ‍පොරොන්දු වන්නේ එය ලබාදිය යුතු ආකාරය ගැනද විමසමිනි. එවිට ගුරුවරියගේ දුරකථන අංකය ලබාගන්නා ඔහු එතැන් සිට ඇය සමග එම ගනුදෙනුව ගැන කතාබහ කරනුයේ දුරකථනය ඔස්සේය.  

තමාට ලක්ෂ තුනක මුදලක් දීමට තරම් වත්කමක් නොමැති බැවින් රුපියල් 50,000 ක් දෙන්නම් යයි ගුරුවරිය සිසුවාට පවසා තිබේ. ඒ අතර ගුරුවරිය තමාට සිදුවී ඇති මේ කරදරය ගැන නාවලපිටිය ‍පොලීසියට ගොස් පවසන්නේ ඒ ගැන පිහිටක් පතන්නට කිසිවෙකු නොමැතිවූ තැනය.  

ගුරුවරියගේ කතාව ඇසූ ‍පොලිස් ස්ථානාධිපති විජිත කුමාර, අපරාධ අංශයේ ස්ථානාධිපති දොලවත්ත මගින් සැලැස්මක් දියත් කළේය. ඊට කාන්තා ‍පොලිස් කොස්තාපල් සමන්මලී, සැරයන්වරුන් වන සිල්වා සහ සුගත් ද එක් විය.


ඔවුහු කප්පම් මුදල සේ පෙනෙන ආකාරයට කඩදාසි කපා බන්ඩල් කිහිපයක් සකස් කරගත්හ. ‍පොලිස් සැලසුමට අනුව ගුරුවරිය මේ බන්ඩල්ද සූදානම් කරගෙන, නියමිත දිනයේ නාවලපිටිය නගරයට ගොස් ඇතත් කප්පම්කරු නැවත දුරකථන ඇමැතුමක් දී වෙනත් ස්ථානයකට පැමිණෙන ලෙස දන්වා තිබේ. 


මෙලෙස පැය දෙකකට අධික කාලයක්  විවිධ ස්ථානවලට කැඳවමින් කප්පම් මුදල ලබා ගැනීමට උත්සාහ කරමින් සිටියදී ‍පොලීසිය සැක කටයුතු තරුණයෙකු කෙරෙහි විපරමින් සිට ඇත. 

අවසානයේ කප්පම් මුදල ලබා දෙන්නට තීරණය වන්නේ නාවලපිටිය දුම්රි‍පොළ ආසන්නයේ ඇති රේල් බෝක්කුව අසලදීය. කප්පම් ගැනීමට එහි එන්නේ සිසුවාමය. හතර වටේ වෙස්වලාගත් ‍පොලිස් නිලධාරීන් රැකවල්ලාගෙන බලා සිටියේ සිදුවන්නේ කුමක්දැයි කියාය. 

ඒ කිසිවක් නොදත් සිසුවා ඇය අසලට ගොස් කප්පම් මුදල අතට ගත්තා පමණි. රැකවල්ලා ගෙන සිටි ‍පොලිස් නිලධාරීන් ඔහුව වටකර ගත්තේය. ඒ ෆේස්බුක් සමාජ ජාලය හරහා කප්පම් ගැනීමකට ගොස් අත්අඩංගුවට ගත් පළමු පාසල් සිසුවා ලෙසිනි.

ගයාන් කුමාර වීරසිංහ
 
Related Posts with Thumbnails