Ads 468x60px

.

සුමතිපාල මානවඩු මියගිය පසුවත් මනාප අරන්

බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් කයෙන් තරග කළ, එහෙත් හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා අපේක්ෂක සුමතිපාල මානවඩු මහතා ජනතා විමුක්ති පෙරමුණේ මනාප ප්‍රතිඵල ලැයිස්තුවේ 9 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. 

ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද දායකයන් ඔහුට මනාප 2391 ක් ලබා දී තිබෙනවා. මෙය ඔහු ජීවත්ව සිටිය කාලයේ ජනතාවට කල සේවය ඇගැයීමක් විය හැකිය. 

මානවඩු මහතා දුම්රිය වෘත්තීය සමිති වෙනුවෙන් විශාල සේවයක් කල අයෙකි. එමෙන්ම සුනාමි ව්‍යාසනයෙන් දුම්රිය මාර්ග පද්ධතිය බිද වැටෙද්දී එය දින 57 න් සාදා නිම කල විශ්වකර්ම ලාංකීය දුම්රිය සේවකයින්ට නායකත්වය සැපයූවේද ඔහුය.

මානවඩු මහතා පසුගිය 25 වැනිදා අවාසනාවන්ත රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වන විට 48 වන වියේ පසු වුණා.
ඒ ‍පිලිබඳ අපගේ පෙර පුවත පහතින් 

ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක සුමතිපාල මානවඩු මහතා ඊයේ රාත්‍රි සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා.
සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසද කටයුතු කළ ඒ මහතා මියයන විට 48 වන වියේ පසු වුණා. 

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 7.30ට පමණ මෙම අනතුර සිදුව තිබුණා. ඔහු අනතුරට ලක්ව ඇත්තේ, මැතිවරණ රැළියකට සහභාගී වීම සඳහා සිය යතුරුපැදියෙන් කොළඹට පැමිණෙමින් සිටියදීයි.

ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී ඔහු බවුසර් රථයක් පසුකර යෑමට උත්සාහ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ, එහිදී බවුසරයේ ගැටුණු යතුරු පැදිය විසිවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනරයක ගැටී ඇති බවයි. ඒ අසල පිහිටි නිවසක සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරාවක මෙම රිය අනතුර මෙසේ සටහන්ව තිබුණා.

පොලිසිය පැවසුවේ, මානවඩු මහතා ගම්පහ මහ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ අනතුරින් පසු පළාගිය කන්ටේනර් රථයේ රියදුරු පොල්ගහවෙලදී අත්අඩංගුවට ගත් බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රීයාකාරී සාමාජිකයෙකු ලෙස වසර 30 කට අධික කාලයක් කටයුතු කර තිබෙනවා.

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ මානවඩු මහතාගේ දේහය මේ වනවිට ගනේමුල්ල, දකුණු ගලහිටියාව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.  

ජ.වි.පෙ. අපේක්ෂක සුමතිපාල මානවඩු මරණයට පත් වූ රිය අනතුරේ CCTV දර්ශන

 
Related Posts with Thumbnails