Ads 468x60px

.

අවුරුදු 15ක දියණිය ධනවත් සල්ලාලයන්ට විකිණූූූූ මව ගැන ඇදහිය නොහැකි කතාව...

මේ කතාව  මවක සිය දියණියව ගණිකාවක ලෙස පිරිමින්ට විකිණීමක් සම්බන්ධ කතාවකි. එය වඩාත් අනුවේදනීය මෙන්ම අමානුෂික වන්නේ  මෙම මව පිරිමින්ට විකුණන්නේ තවමත් පාසල් යන පහළොස් වියැති නව යොවුන් දියණියක වීම නිසාය. මෙම ම්‍ලේච්ඡ ක්‍රියාවට ඇය සිය දියණියව ඇද දමන්නේ මෙයට වසර දෙකකට පෙරය. එකල ඇයගේ වයස අවුරුදු දහතුනකි.

මෙහි ඇති තවත් ඇදහිය නොහැකි පැතිකඩක් වන්නේ ගණිකාවක ලෙස පිරිමින්ට අලෙවි කළ ඒ දියණියගේ පියා එම කාන්තාවගේද පියා වීම නිසාය. ඒ අතින් බලන කල මෙය අහස ‍පොළොව නුහුලන අපරාධයකි.


කාලයක් තිස්සේ සැඟව තිබුණු මෙම අපරාධය නිරාවරණය වන්නේ බක්මහේ අවුරුදු උදාවත් සමග හුරුබුහුටි ලස්සන ගැහැනු දරුවෙකු සමග

මාදිවෙල පිහිටි  ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණෙන කාන්තා වකගෙනි. 

ඇය ඒ රැගෙන එන්නේ සිය මව ගණිකාවක ලෙස පිරිමින්ට විකුණමින් සිටි දියණියවය. ඇයව එසේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කැටුව එන කාන්තාව ඇගේ ඥාතිවරියකි.  දියණිය ඇයට අමතන්නේ පුංචි අම්මා කියාය.

දියණියව ඇගේ මවගෙන් බේරාගන්නට දැරියගේ මිත්තණිය ඇයව කළුතර සිටින ඒ පුංචි අම්මාගේ නිවසට ගොස්  ඇරලවීමෙන් පසු දියණියගේ කතාවෙන් හදවත කකියන්නට වූ බැවින් පුංචි අම්මා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඇය රැගෙන එන්නේ ඇගේ ආරක්ෂාව වඩාත් සුරක්ෂිත කරන්නටය. 


එම කාන්තාව දුරදිග කල්පනා කර ඇයව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට රැගෙන නොඑන්නට අදටත් ඇයගේ මව ඇයව පිරිමින්ට විකුණමින් සිටිනු ඇත.  දැන් ඇය සුරක්ෂිතය. ඇය සිටින්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ආරක්ෂාව යටතේය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අභ්‍යන්තර තොරතුරු වලින් දැනගන්නට ඇති ආකාරයට අනුව ඇයව එසේ පිරිමින්ට විකිණූූූූ ඇගේ මව අත්අඩංගුවට ගැනීමට තවම හැකියාවක් ලැබි නැත. ඇය තවමත් සිටින්නේ සැඟවීය. ඒ ඇයට කිසියම් බලවතකුගෙන් යම් ආරක්ෂාවක් ලැබෙන නිසා විය හැකි යයිද සැකයක් පවතී. 


ඊට හේතුවක් වන්නේ මෙම මව සිය දියණියව වැඩි වශයෙන් අලෙවිකර ඇත්තේ බලවතුන්ට වන බැවිනි. ඒ අය අතර එක් බලවතකු ඇයව රැගෙන ගොස් ඇත්තේ කොළඹ තරුපන්තියේ හෝටලයකටය.

හෝටලයට ඇයව රැගෙන ගොස් ඇත්තේද මවය. එහිදී මුදල් මිටියක් ඔහු මවගේ අතට දුන් හැටි ඇයට හොඳහැටි මතකය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඒ සම්බන්ධයෙන් මතෛක් කර ඇති විමර්ශන වලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව දැරිය එසේ පිරිමින්ට අලෙවිකර ඇත්තේ වරකට රුපියල් තිස් හතළිස් දහසකටය.

තම දියණිය මෙසේ පිරිමින්ට අලෙවි කරන්නට  රැගෙන යන විට මව රඟදක්වන්නේ ඒ තම දියණිය වශයෙන් නොවේ. තාත්තෙකු නැති වයස අවුරුදු හතරක පහක දරුවෙකු කරපින්නාගෙන සිටින ඇය සිය දියණියව විකුණන්නට යන සෑම තැනකටම එම දරුවාද රැගෙන යාම සිරිතක් බවද මතෛක් කර ඇති විමර්ශනවලින් හෙළිවී ඇති තවත් කාරණයකි.


“ජීවත්වෙන්න විදිහක් නැහැ. අතේ සල්ලිත් නැහැ. සල්ලි හොයන්න එකම ක්‍රමයයි තියෙන්නේ. අකමැත්තෙන් උනත් ඒ දේ කරන්න වෙනව.” සිය දියණියව පිරිමින්ට විකුණන්නට ඇය ඇදගෙන යන්නේ එසේ පවසමිණි. 


ඇය මේ ජාවාරම මුල් වරට ආරම්භ කර ඇත්තේ 2012 වසරේදීය. එකල දියණියගේ වයස අවුරුදු දහතුනකි. දියණියව ඇය පිරිමින්ට විකුණන්නට වූයේ පාසල් වේලාවෙන් පසු සහ සති අන්තයේ නිවාඩු දින දෙකේය.

ඒ වන විට දියණිය සිට ඇත්තේ මිත්තණියගේ රැකවරණයේය. ඇය දියණියගේ මවගේ මවය. බුලත්විට විකුණමින් ජීවිකාව සරිකරගත් ඇය පදිංචිව සිටින්නේ කොට්ටාවේය. ඇයට දියණිවරුන් තිදෙනෙකි. සැමියා ව්‍යාපාරිකයෙකි. සැමියා දැන් සිටින්නේ වෙනත් විවාහයක් කරගෙනය.


මිත්තණිය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පවසා ඇති ආකාරයට අනුව සැමියා ඇගෙන් වෙන්ව යන්නේ දියණිවරුන් තිදෙනාම කෙලෙසීමෙන් අනතුරුවය. මවගේ පියාත්, දියණියගේ පියාත් දෙදෙනාම එක් අයකු වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

දියණිවරුන් තිදෙනා දූෂණය කළ ඒ නරුම පියාට එරෙහිව අධිකරණ කටයුතු තවමත් සිදුවන බවද සඳහන්ය. අනාවරණය වී ඇති ආකාරයට අනුව ඔහු අතින් දියණිවරුන් දූෂණයට ලක්ව ඇත්තේ  ඒ අයද බාලවයස්කාරියන්ව සිටියදීය.


මිත්තණිය පවසන්නේ මිණිබිරිය උපන්දා සිට තම රැකවරණයේ සිටි බවය. කොට්ටාව පැත්තේ උසස් පාසලකටද ඇයව ඇතුළත්කර ඇත්තේ ද ඇයමය. ඇගේ දියණිය හෙවත් දැරියගේ මව සිට ඇත්තේ වෙනමය. ඇය කරන්නේ කුමක්ද? යන්නෙ එන්නේ කොහේද? යන්න පිළිබඳව කිසිවක් ඇය සොයා බලන්නට ගොස් නැත. ඒ ඇය මුරණ්ඩු තැනැත්තියක නිසාය.


ඇය හැරුණු කොට සෙසු දියණියන් තිදෙනා විවාහයන් කරගෙන ජීවත්වන්නේ පියාගෙන් ඒ අයට සිදුවූ අතවරය අමතක කරමිනි. මිත්තණියගේ විශ්වාසය මෙම සිද්ධියට අදාළ තම දියණිය ගණිකා වෘත්තියේ නිරතවන්නට ඇති බවය. අප්පෙකු නැති දරුවෙකු ඇයට සිටින්නේ ඒ නිසා බව ඇගේ මතයය.

සතියකට වරක් දෙවරක් පැමිණ තම දියණිය මිනිබිරියව නිවසින් රැගෙන යන බවද මිත්තණිය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පවසා තිබේ.  අහිංසක දියණියව ඇය  පිරිමින්ට විකුණා ඇත්තේ ඒ රැගෙන ගොසින් විය යුතුය.


ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මියගේ උපදෙසින් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටින විශේෂ ‍පොලිස් ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක බන්දුජීව බෝපිටිගොඩ මහතා ඇතුළු නිලධාරීන් සොයාගෙන ඇති තොරතුරුවලට අනුව දියණියගේ මව වරක් ඇයව බොරැල්‍ලේ යම් තැනකට රැගෙන ගොස් තිබේ. 


එය නිවසකි. එහි ජීවත්ව සිටින්නේ යැයි සඳහන් වන්නේ වයස අවුරුදු පනහ ඉක්මවූ මැදිවියේ යුවළකි. මේ යුවළ දියණියට එදා පැය ගණනක් පුරා පාඩමක් කියා දී ඇත. ඒ පිරිමියෙකු සමග ලිංගිකව  එක්වන ආකාරය සහ පිරිමින් සතුටුකරන ආකාරය ගැනය. 

එහිදී එම යුවළ දැරියට මේ කාරණා කියා දී ඇත්තේ ඔවුන් දෙදෙනා ඒ ආකාරයෙන් හැසිරෙමින් බවද හෙළි වී තිබේ. ඒ අනුව එය ප්‍රායෝගික පාඩමකි. කාමරයක් තුළ ඒ දේවල් සිදුවන විට මව සිට ඇත්තේ නිවසේ සාලයේය. 

ඒ දේවල් කරන්නට බැරි බව කියමින් දියණිය වරක් දෙවරක්ම අඬාගෙන කාමරයෙන් පිටතට දිව විත් ඇති නමුත් මව ඇයව නැවත කාමරයට ඇදගෙන ගොස් ඇත්තේ ඇයට බැණවැදී තරවටුද කරමිනි.

අවසාන කාලයේ ඇයව පිරිමින්ට විකුණා ඇත්තේ මාලබේ පිහිටි නිවසක තබාගෙනය. එම නිවස පිටතින් බැලූ කල විසිතුරු මසුන් අලෙවි ස්ථානයක් බවද පැවැසේ. නමුත් නිවස තුළ සිදුවන්නේ ගණිකාවන් අලෙවි කිරීමය. 


එකී නිවසට මව සිය දියණිය රැගෙන විත් ඇත්තේ සතියකට දෙතුන් වතාවක් පමණි. එහිදී ඇයව මිලදී ගන්නට පුද්ගලයන් පැමිණියේ යැයි සඳහන් වන්නේ ප්‍රාඩෝ, ඉන්ටර්කූලර් වැනි සුඛෝපභෝගී වාහනවලින්ය.

මෙම නිවසද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ ‍පොලිස් ඒකකයේ වැටලීමට ලක්විය. එහිදී එම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය අඹු සැමි යුවළ අත්අඩංගුවට ගන්නා ලදී. දියණියව එම නිවසේදී අලෙවි වූ බවත්, ඇයව ලංසු තැබුනේ රුපියල් තිස් දහසින් ඉහළ මිල ගණන් වලට බවත් අත්අඩංගුවට ගත්  අඹු සැමි යුවළද තහවුරු කළෝය. 


ඇයව මිලදී ගන්නට පැමිණි ඒ පුද්ගලයන් කවුරුන්දැයි කියන්නට ඒ අය දන්නේ නැත. නමුත් ඒ පුද්ගලයන් සමාජයේ බලවතුන් බව ඒ අයගේ හැඟීමය. ඔවුන් එම නිගමනයට පැමිණ ඇත්තේ මෙම ගැනුම්කරුවන් මුදල් වියදම් කරන ආකාරත්, පරිහරණය කරන වාහනත්, කථාබහත් අනුවය.

වසර තුනක් තිස්සේ එසේ එම දියණිය මුදලට ලබාගත් ඒ සෑම පුද්ගලයෙකුම කර ඇත්තේ බරපතළ වරදකි. ඒ බාල වයස්කාර දැරියක දූෂණය කිරීමෙනි. ඒ සෑම පුද්ගලයෙකුටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අරමුණය. 


ඒ අරමුණ ඉටුකරගැනීමට දියණියගේ මව කොටුකර ගත යුතුමය. ඒ තම දියණියව මුදලට අලෙවි කළේ කාටදැයි දන්නේ ඇය පමණක් වන බැවිනි. කිසියම් බලවතකු ඇයට සැඟවී සිටින්නට උදව් කරනවා නම් එසේ කරන්නේ ඇය කොටු වුණොත් ඔවුන් හැමෝගේම රෙදි ගැලවෙන බව දන්නා නිසා විය යුතුය. 

ගයාන් කුමාර වීරසිංහ
 
Related Posts with Thumbnails