Ads 468x60px

.

අවුරුදු 7 යි මාස 2 යි ජීවත්වීමට කිරිපිටි පමණයි...

දැනට වයස අවුරුදු 7 යි, මාස 2 ක්‌ වන නමුත් තවමත් ජීවත්වීමට කිසිම ඝන අහරක්‌ ගැනීමට වාසනාව නැති ළදරුවෙකුට මෙන් කිරිපිටි පොවා ජීවත් කරවන අහිංසක ගැහැනු දරුවකු ගැන ඉතාමත් දුක්‌බර කතාවක්‌ අපට අසන්නට ලැබුණේ පසුගිය දිනක වග, කහහේන ප්‍රධාන තැපැල් කාර්යාලයට මහජනාධාර ලබා ගැනීමට පැමිණ සිටි කාන්තාවක ගෙනි.

ඇගේ තුරුලේ සිටි එම දරුවාගේ පෙනුම අවුරුදු දෙකක පමණ ළදරුවෙකුගේ සිරුරට සමානය. 2007 පෙබරවාරි මස 22 දා මෙම දැරිය උපත ලබන විටත් මොළයේ ආබාධිත තත්ත්වයක්‌ නිසා ඉණෙන් පහළ අප්‍රාණිකව පැවති බව කියයි. ආබාධිත බවින් මෙලොව එළිය දුටු හසිනි චමල්කා දැරියට 2008 වසරේ දී ඇයට ජීවය දිමට සිටි පියාද අහිමි වී ඇත. ඒ හදිසියේ වැළඳුණු රෝගාබාධයකිනි.

රෝගී දියණිය සමග මෙලොව තනිවූ ඇල්. ඒ. රම්‍යලතා නමැති මේ අසරණ දියණියගේ මවද අද වන විට මානසික රෝගියෙකු බවට පත්වී ඇත. කිරි දියරෙන් පමණක්‌ ජීවත්වෙන අසරණ දැරියට අද වන විට

රැකවරණය ලබා දෙන්නේ ඇගේ ආච්චි අම්මා විසිනි. ජීවත් වීමට කිසිම ආදායම් මාර්ගයක්‌ නැති මේ අසරණ කාන්තාවට සිය මිණිබිරිය ජීවත් කිරීම සඳහා සිඟමන් යෑදීමට සිදුවී තිබේ.

මාසිකව ලැබෙන රු. 400/ මහජනාධාර මුදලින් පමණක්‌ ඔවුන්ගේ ජීවිත පවත්වාගෙන යැම අසීරු වී ඇති බැවින් දරුවාගේ රෝගී තත්ත්වය ගැන අවිස්‌සාවේල්ල මූලික රෝහලේ වෛද්‍ය ප්‍රසන්න එන්. ලියනගේ මහතා විසින් ලබාදී ඇති ලිපිය පෙන්නා සතියකට දින 3 ක්‌ පමණක්‌ බස්‌ නැවතුම්පළවලට ගොස්‌ තම දුක කියා දරුවා ජීවත්කරවීමට කිරිපිටි ලබාගැනීමට මුදලක්‌ සොයා ගන්නා බව දෙනෙතේ පිරි කඳුළු පිසදමමින් ඇය දුක්‌බර කතාව අපට කීවාය.

කිරි දියරෙන් පමණක්‌ ජීවත්වෙන මේ අසරණ දැරියට කිරිපිටි ටික ලබාදීමට කරුණාවන්ත ඔබට ඉදිරිපත් වීමට කැමැත්තක්‌ තිබේ නම් ඒ සඳහා මෙම ලිපිනයට ලියා වැඩි විස්‌තර ලබා ගන්න. ඩී. කුසුමාවතී මහත්මිය, නො. 41/1 බී., පොල්හේන පාර, මාබුල, වග.
 
Related Posts with Thumbnails