Ads 468x60px

.

අතේ බුදුරුවේ පච්චය තිබූ බ්‍රිතාන්‍ය කත කෝටියක්‌ වන්දි ඉල්ලයි

බුදුරජාණන් වහන්සේගේ රූපය මනාව ප්‍රදර්ශනය වන ආකාරයට අතේ පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටු පොළේදී අත්අඩංගුවට පත්වූ නයෝමා කොලිමාන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව දින දෙකක්‌ රඳවාගෙන සිටීම නිසා ඇයට මුහුණ පාන්නට සිදුවූ අමානුෂික හිරිහැරයට හා මානසික පීඩාවට වගකිව යුතු පොලිස්‌ හා බන්ධනාගාර නිලධාරියාගෙන් රුපියල් කෝටියක වන්දියක්‌ ඉල්ලා නීතිඥයෙකු මගින් අදාළ කාන්තාව ඊයේ (22 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළාය.

නීතිපති, කටුනායක පොලිසියේ පොලිස්‌ සැරයන් උපසේන, පොලිස්‌ පරීක්‍ෂක සුරවීර, මීගමුව බන්ධනාගාරය භාර ප්‍රධාන නිලධාරි, පොලිස්‌පති සහ ආගමන හා විගමන පාලක චූලානන්ද සිල්වා යන අය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් කියා සිටියේ තමා මීට පෙර දෙවතාවක්‌ම එලෙස බුදුරුව සිරුරේ පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට

පැමිණි නමුත් කිසිවෙකුගෙන් ඊට විරෝධයක්‌ හෝ ඒ හේතුව මත හිරිහැරයක්‌ සිදු නොවූ බවය.

පෙත්සමේ සඳහන් අන්දමට 37 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව වෘත්තියෙන් සාත්තු සේවිකාවකි. ඇය නේපාලය තායිලන්තය, කාම්බෝජය හා ඉන්දියාව යන රටවල භාවනා වැඩසටහන් ගණනාවකට සහභාගි වී ඇත.

බුද්ධාගමට ඇති ලැදියාව සහ භක්‌තිය නිසාම බුදුරජාණන් වහන්සේ නෙළුම් මලක්‌ මත වැඩ සිටින ආකාරය දැක්‌වෙන චිත්‍රයක්‌ ඇගේ වම් අතේ උඩ කොටසේ පච්ච කොටාගෙන සිටි බවත් බුදුදහම මග යන බොහෝ දෙනෙක්‌ උන්වහන්සේට ගරු කිරීමක්‌ වශයෙන් ඒ ආකාරයට සිරුරේ පච්ච කොට ගෙන සිටින බවත් ඇය පෙත්සමේ සඳහන් කර ඇත.

ඉකුත් අප්‍රේල් මස 21 දා ඇය ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ජෙනපර් හෙඩ්ලි හැටන් මිතුරා ශ්‍රී ලංකාවේදී හමුවී ඊට පසුව ඔහු සමඟ මාල දිවයිනට ගොස්‌ නිවාඩුවක්‌ ගත කිරීමටය. 


ඔහු එනතෙක්‌ කටුනායක ගුවන් තොටුපළේ දී රැඳී සිටින අතර අත් අඩංගුවට පත්වී ඇත. ඊට පසුව කටුනායක පොලිසියට කැඳවාගෙන ගොස්‌ එහි තබාගෙන ප්‍රශ්න කර ඇගෙන් ප්‍රකාශයක්‌ද සටහන් කරගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපළේ පිටවීම් දොරටුව අසල සිටින විට පැමිණි සිවිල් ආරක්‍ෂක නිලධාරියකු බව කියන පුද්ගලයකු ඇය වෙත පැමිණ අතේ පච්ච කොටා තිබූ බුදුරුව පෙන්වා එය ප්‍රදර්ශනය කිරීමට ඉඩදිය නොහැකි බව මුලින්ම ඇයට දන්වා ඇත.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කොතෙක්‌ උත්සාහ කළත් ඉංග්‍රීසි භාෂාව දැන නොතිබූ ඒ නිලධාරියා ඇය පොලිසියට යා යුතුයෑයි තරයේ ප්‍රකාශ කර ඇත. පොලිසියේදී එක්‌ නිලධාරියෙක්‌ ඇය ඡායාරූප ගතකර ඇති අතර වැඩ බලන පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පැමිණ පසුව පච්ච කොටාගෙන සිටි බුදු රුව ගැන දිගින් දිගටම ප්‍රශ්න කර ඇති නමුත් ඇය කළ පැහැදිළි කිරීම ගැන ඔහු සෑහීමකට පත්වී නැත.

පසුව ඇය උසාවිය හමුවට පමුණුවා ඇති නමුත් ඇයට එරෙහිව ඇති චෝදනා හෝ කළ වරද කුමක්‌දැයි දන්වා නැත. ඇය අත්අඩංගුවට පත්ව සිටින බව කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්‌ කාර්යාලයට දැනුම් දීමට පවා ඇයට අවස්‌ථාවක්‌ ලබාදී නැත.

අප්‍රියෙල් 21 දා උදේ මීගමුව මහෙස්‌ත්‍රාත් උසාවියට ගෙන ගියාට පසුව උසාවියට ගෙනවිත් සිටි අනිත් කාන්තා සිරකරුවන් සමඟ ඇය කූඩුවක රඳවා ඇති අතර ඇය භාරව සිටි බන්ධනාගාර නිලධාරියා ඉතා පහත් ආකාරයට හැසිරෙමින් හා ලිංගික ඉරියව් දක්‌වමින් ඇයට උසුළු විසුළු කර ඇත.

ඇය භාරව සිටි බන්ධනාගාර කාන්තාවද විවිධාකාරයෙන් බලපෑම් කරමින් ඇයගෙන් මුදල් ඉල්ලා සිටි බවත් බේරෙන්නට නොහැකිවූ තැන තමා ළඟ තිබූ රුපියල් 14000/- ක ශ්‍රී ලංකා මුදල්වලින් රුපියල් 2000/- ක්‌ ඇයට දුන් බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

මීගමුව මහෙස්‌ත්‍රාත් උසාවිය හමුවට ඇය ඉදිරි පත්කළ අවස්‌ථාවේ මහෙස්‌ත්‍රාවරයා ඇගෙන් කිසිවක්‌ විමසා නැත. ඇය රටින් පිටුවහල් කිරීමට එනම් ආපසු එංගලන්තයට යෑවීමට තීරණය කර ඇති බව ඇගේ නීතිඥවරයා ඇයට දන්වා ඇත.

එලෙස තමාට පහත් ආකාරයට සැලකූ බන්ධනාගාර නිලධාරියාගේ සහ මුදල් ඉල්ලා ඇයට බලපෑම් කළ බන්ධනාගාර කාන්තා නිලධාරිනියගේ නම් පසුව සොයා දැනගෙන උසාවියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පෙත්සමේ සඳහන් කර ඇත.

පෙත්සම්කාරිය කියා සිටින්නේ අත්අඩංගුවට ගැනීමට, රඳවා ගැනීමට හෝ වහා රටින් පිටුවහල් කිරීමට තරම් බරපතළ වරදක්‌ තමා කර නැති බවය.

බුදුරුව ඒ ආකාරයට ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණීම වරදක්‌ බව තමාට පැහැදිලි කර දුන්නානම් සිරුරේ පච්ච කොටා තිබූ බුදුරුව කිසිවෙකුට නොපෙනෙන පරිදි වසා ගෙන අවශ්‍ය ගමන් බිමන්වල යෙදෙන බවත් එවැනි උපදෙසක්‌ දීමට තරම් කිසිවෙකු කාරුණික නොවූ බවත් ඇය පෙත්සමෙන් සඳහන් කර ඇත.

අප්‍රේල් 28 දා මිරිහානේ පිහිටි රැඳවුම් කඳවුරේ රඳවාගෙන සිටියදී එහි නිලධාරියෙක්‌ පැමිණ විදේශ ගමන් බලපත්‍රය අවලංගු කළ බව ඇයට දැනුම් දී තිබේ. ඊට පසුව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ නිලධාරීන් සමඟ දුරකථනයෙන් කතා කිරීමටද ඇයට අවස්‌ථාව සලසා ඇත.

අප්‍රේල් 24 දා පෙරවරු 9.00 ට පමණ පැමිණි ශ්‍රී ලංකා සංචාරක මණ්‌ඩලයේ නිලධාරීන් යෑයි කියා ගත් පිරිසක්‌ ඇයට විශාල වරදක්‌ සිදුවී ඇති බව කියමින් ඇගෙන් සමාව අයෑද සිටි බවත් ආපසු එංගලන්තය බලා පිටත්ව යැමට විශේෂ ගුවන් බලපත්‍රයක්‌ ලබාදීමටද ඔවුන් කැමැත්ත පළ කළ බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

වගඋත්තරකාර පොලිස්‌ හා බන්ධනාගාර නිලධාරීන් උසාවි කැඳවා පෙත්සම පිළිබඳව සම්පූර්ණ විභාගයක්‌ පවත්වන ලෙසත් ඔවුන්ගේ ක්‍රියා කටයුතු හේතු කොට ගෙන තමාගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙසත් පෙත්සමෙන් ඇය ඉල්ලා ඇත. නීතිඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන් මහතා මගින් පෙත්සම ගොනු කර තිබිණි.
 
Related Posts with Thumbnails