Ads 468x60px

.

බම්බලපිටිය හින්දු විද්‍යාලයේ දී ගෙල වැලලා මිය ගිය ගුරුවරයාගේ කඳුළු කතාව

ඉකුත් දා බම්බලපිටිය හින්දු විද්‍යාලයේ ක්‍රීඩා කාමරයක ගෙල වැල ලැගෙන සිය දිවි හානි කරගත්තා යෑයි කියන 37 හැවිරිදි ෆ්රෑන්සිස්‌ කැමිලස්‌ නමැති එම විද්‍යාලයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය භාර ගුරුවරයාගේ බිරිඳ වූ නාත්තන්ඩිය ලූර්දු විද්‍යාලයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය භාර ආචාරිනී ගල්පොල පදිංචි 35 හැවිරිදි ඊ. ඒ. මහේෂා එදිරිසිංහ මහත්මිය පවසන්නේ "බම්බලපිටිය හින්දු විද්‍යාලයේ කාමරයක ගෙල වැලලා මියගියා යෑයි කියන මාගේ ස්‌වාමියාගේ මරණය සම්බන්ධව මට සැක කටයුතු බවයි ".

මිය ගිය ෆ්රෑන්සිස්‌ කැමිලස්‌ යන අය මන්නාරම පහන් කට්‌ටුකොඩ්ඩු ප්‍රදේශයේ උපත ලබා මන්නාරම සාන්ත ක්‍ෂේවියර් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමකොට වව්නියාව විද්‍යාපීඨයෙන් 2002-2004 වසර වල වැඩිදුර අධ්‍යාපනය ලබා 2005 වසරේ දී ගුරු වෘත්තියට ඇතුළත් වී ඇත.

ඉන්පසු ඊ. ඒ. මහේෂා එදිරිසිංහ යන අය සමඟ විවාහ දිවියට එළැඹි කැමිලස්‌ මහතා හත් හැවිරිදි ගල්පොල විද්‍යාලයේ ඉගෙනුම ලබන මලීශා

රොනාල්ඩිනී හා 03 හැවිරිදි ආදිත්‍ය රොනාල්ඩිනෝ යන දරු දෙදෙනාගේ පියාද වේ.

වැඩි දුරටත් අදහස්‌ දැක්‌වූ මරණකරුගේ බිරිඳ "


....මගේ මහත්තයා මනා පෞර්ෂයක්‌ තියෙන කෙනෙක්‌. කවදාවත් මේ වගේ දෙයක්‌ එයාට කරගන්න බෑ. එයාගේ පණ තිබුණේ මේ දරු දෙන්නා ගාව. ඇස්‌ දෙක වගේ තමයි දරු දෙන්නට. දරුවොත් ඒ වගේ. 

සඳුදා පාන්දර 2 ට නැඟිටලා මම උයලා දෙනවා. එයා 3.45 ට තියෙන බස්‌ එකේ යන්නෙ. සඳුදා, අඟහරුවාදා රෑ ඉස්‌කෝලෙ නවතිනවා පුහුණුවීම් කටයුතු නිසා. බදාදා රෑ තමයි ගෙදර එන්නෙ. ඒත් අනිත් දවස්‌ දෙකේ ගෙදර ඉඳල යන්නෙ. ගෙදර නැති දවස්‌වල දරු දෙන්නා නිතර අහනවා.

ඒක නිසා හැම රෑකටම දෙතුන්වතාවක්‌ සෑහෙන වේලාවක්‌ මා එක්‌කත් දරුවො එක්‌කත් කථා කරනවා. දරුවන්ට නිදාගන්නත් එයාගෙ සරම එලන්න ඕනෑ. උදේටත් 6.00 ට විතර මට කතා කරනවා. 

ඒත් අඟහරුවාදා මට උදේ කතා කළේ නෑ. මම ඉස්‌කෝලෙ යාළුවන්ටත් කිව්වා අද මහත්තයා කථා කළේ නෑ කවදාවත් නැතුව ඇයි දන්නෙ නෑ කියලා. පස්‌සේ මම 10 ට විතර එයාගෙ දුරකථනයට ගත්තා වැඩ කළේ නෑ.

මම ගෙදර ඇවිල්ල දරුවො එක්‌ක ආයෙත් ගත්තා ඒත් ප්‍රතිචාර නෑ. මට එතනින් පස්‌සෙ ලොකු බයක්‌ දැනුණා. මම මහත්තයාගෙ යාළුවන්ට කතා කළා. ඒ අය මට කිව්වෙ කාමරේ වහල කියලා. මම එහෙ ගිහින් තියෙන නිසා මට කාමරේ ගැන අවබෝධයක්‌ තිබුණා.

මම දුරකථන ඇමතුමක්‌ දීලා අයෙත් කිව්වා ඉබ්බා එළියෙන් දාලද බලන්න කියලා. ඒ අයගෙන් මම දැනගත්ත විදියට ඇතුළෙන් අගුල් දාලා තිබල තියෙන්නෙ. පස්‌සේ අනික්‌ දොරෙනුත් බලන්න කීවා. ඒත් දොර අරින්න බෑ කිව්වා. මම දිගින් දිගටම ඇමතුවා, 


නමුත් ඒ අයගේ දුරකථන විසන්ධිවෙලා. මට කියාගන්න බැරිතරම් වේදනාවක්‌ ආවා. මම පසුදින පාන්දරින් පිටත්වෙන්න සූදානමිනුයි හිටියෙ. ඒත් එක්‌කම අළුයම 1 ට විතර ඒ අය මට දැනුම් දුන්නා මහත්තයා ගෙල වැලදාගෙන කියලා. මම පසුදින ගියා. මම දේහය දැක්‌කා ඒ මියගොස්‌ සිටියෙ මගේ මහත්තය.

පස්‌සේ පොලිස්‌ මෘත ශරීරාගාරයට දේහය ගෙනිහින් මරණ පරීක්‍ෂණ සිදුකළා. කොහොම කීවත් මේ මරණය තදබල විදිහට අපට සැකයි" යන්න පැවැසීය.

මෙම මරණය සම්බන්ධව තමා තුළ සැකයක්‌ ඇති බවත් එය මේ මොහොතේ හෙළිනොකරන්නේ අවසන් ගෞරවය සිදුකළ යුතු නිසා බවත් නුදුරේදීම එය පවසන බවත් මහේෂා මහත්මිය පැවැසුවාය.

ඊයේ (22 දා) පස්‌වරුවේ
ෆ්රෑන්සිස්‌ කැමිලස්‌ ගුරුමහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්පොල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. මරණය සම්බන්ධ පරීක්‍ෂණ බම්බලපිටිය පොලිසිය මගින් තවදුරටත් සිදුකෙරේ.
 
Related Posts with Thumbnails