Ads 468x60px

.

ගහක්‌ ගලක්‌ වගේ හිටිය මේ දරුව මරල දැම්මේ පොලීසිය කියල මම බය නැතිව කියනව


මට පොලිසිය හොඳටම ගැහුවා. 
මගේ පපුව රිදෙනවා. 
මට අමාරුයි.

ගහක්‌ ගලක්‌ වගේ හිටිය දරුවා මරලා දැම්මේ පොලිසියයි. එදා මහ රෑ අපි පොලිසියට යන කොට පුතාවයි අනිත් අයවයි කූඩුවේ දාලා හිටියා. මම කූඩුව ළඟට ගිහින් පුතාට කතා කළා. ඒ වෙලාවේ පුතා අඬ අඬා මට කිව්වා අම්මේ මට පොලිසිය හොඳටම ගැහුවා. මගේ පපුව රිදෙනවා. මට අමාරුයි කියල.

කන්දකැටිය පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ කළ බව කියන අමානුෂික පහරදීමකින් පසු රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටියදී මියගිය සඳුන් මාලිංග නමැති තරුණයාගේ මව තම පුතුගේ වියෝව දරාගත නොහැකිව හැඬූ කඳුළින් යුතුව එසේ පැවසුවාය.



මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ මීගහකිවුල අකුරුකඩුව කොස්‌මෝ ෆාම් හි පදිංචි පෙරුමහේවා සඳුන් මාලිංග නැමැති 18 හැවිරිදි අවිවාහක තරුණයෙකු වන අතර ඔහු සමග සිටි ඔහුගේ සොහොයුරෙකු ඇතුළු සිව්දෙනෙකු මේ වන විට රක්‌ෂිත බන්ධනාගාරයට ඇතුළත් කර ඇත.

මීගහකිවුල බෝගහපතන ප්‍රදේශයේදී රක්‌ෂිතයකට ඇතුල් වී එහි නිධානයක්‌ හෑරූ බවට චෝදනා කරමින් පොලිස්‌ නිලධාරින් පිරිසක්‌ මෙම මියගිය තරුණයා ඇතුළු පස්‌දෙනෙකු ත්‍රීරෝද රථයක ගමන්

ගනිමින් සිටියදී පසුගිය 07 වන දින මීගහකිවුල ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත්හ.

අනතුරුව මෙම පිරිස පසුගිය අට වන දින බදුල්ල සංචාරක මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ලබාදුන් නියෝගයකට අනුව පිරිස රක්‌ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කෙසේ වෙතත් අනතුරුව ඇති වූ රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් මෙම තරුණයා පසුගිය 10 වැනි දින බදුල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඔහු එහිදී මියගොස්‌ ඇති බව පොලිසිය මාර්ගයෙන් ඥාතීන්ට දැන ගන්නට ලැබී ඇත.

කෙසේ වෙතත් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ පහරදීම් හේතුවෙන් මෙම තරුණයා මිය ගිය බවට ඔහුගේ මව පියා ඇතුළු ඥතීන් චෝදනා කරන අතර පෙරේදා (10) මරණය මීගහකිවුල නගරය වෙත රැගෙන ආ අවස්‌ථාවේ නගරය වෙත රැස්‌වූ ප්‍රදේශවාසීහු පෙරටුකරගත් පා ගමනක යෙදෙමින් විරෝධය පළ කළහ.

කෙසේ වෙතත් එම අවස්‌ථාවේ ගැටුමකින් තොරව පිරිස නගරයෙන් පිටත් කිරීමට කටයුතු කළත් දේහය නිවසට ගෙන එන විට නිවස තුළ දහසකට ආසන්න පිරිසක්‌ රැස්‌ව සිටි අතර මව පියා මෙන්ම තරුණයා විවාහ ගිවිසගෙන සිටි තරුණිය ඇතුළු ඥතීහු මහ හඬින් විලාපදෙන්නට වූහ.

කෙසේ වෙතත් එම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය සෘජුවම වගකිව යුතු බව පවසන තරුණයාගේ මව හා පියා ඇතුළු ඥාතීහු මෙසේ කීහ.

දරුවාගේ මව කන්ද උඩ මල්ලිකා


ගහක්‌ ගලක්‌ වගේ හිටිය මේ දරුව මරල දැම්මේ පොලීසිය කියල මම බය නැතිව කියනව. දරුවා මියයන්න කලින් අපිටත් එයා ළඟ හිටිය එයාගේ අයියටත් මේ ගැන කියල තියෙනවා.''

මියගිහින් ඉන්නේ මගේ බාල දරුවා. වයස 18 යි. පුතා පහුගිය හත් වෙනිද හවස 5.00 ට විතර ත්‍රීවිල් එකක්‌ විකුණනව ඒක ගන්න ඕනි අම්මේ කියල මට කීව. ගෙදරින් එළියට බැස්‌සා. එයා එක්‌ක මගේ ලොකු පුතයි ගෙදර හිටිය තව අපේ පවුලේ තුන් දෙනෙකුත් ගියා.

රෑ වෙනතුරු ආවේ නැහැ. කට්‌ටිය එයි කියල අපි නිදා ගත්ත. රෑ 12.30 ට විතර පුතාල කට්‌ටියම පොලිසි ගෙනිච්ච කියල අපට දැනගන්න ලැබුණා.

ඒ වෙලාවෙම පොලීසියට ගියා. පුතයි එයා එක්‌ක ගිය ගෙදර අනිත් කට්‌ටියයි කුඩුවෙ දාල හිටිය. මම පුතා ළඟට ගිහින් කතා කළා. පුතා ඒ වෙලාවෙ අඬ අඬා කීව අම්මේ මට පොලීසිය හොඳටම ගැහුව කියල. අම්මේ මගේ පපුව රිදෙනව. මට අමාරුයි කියලත් කීව.

අපි පහුවෙනිද උදේම ආයෙත් පොලීසියට ගියා ඒ වෙලාවෙත් පුතා කීවෙ පපුව රිදෙනව කියල. එයා එතන හිටපු රාලහාමි කෙනෙක්‌ පෙන්නල අම්මේ මෙයා තමය මට හොඳටම ගැහුවේ කියලත් කීව.

අපි දරුවගේ තත්වය අමාරුයි කියල පොලිසියට කීවම ඒ අය කිව කන්දකැටිය රෝහලට ගෙනිහින් උසාවියට දානව කියල. ලැබුණු ආරංචිය මත අපි පස්‌සර උසාවියට ගියා.

හවස 3.00 ට විතර පුතා ඇතුළු කට්‌ටිය උසාවියට ගෙනාව එතනින් බන්ධනාගාරයට යෑවුව. අපි ගෙදර ආව. (10) දා උදේ පුතා බදුල්ල රෝලේදී මියගියා කියල. ආරංචි වුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපි කන්දකැටිය පොලීසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක චන්දන හේරත් මහතාගෙන් ද විමසුවෙමු.

තොරතුරු ලබාඳීම ප්‍රතික්‌ෂේප කළ ඔහු මෙසේ කීය.

මේ සම්බන්ධයෙන් මට නිල වශයෙන් ප්‍රකාශ කරන්න බැහැ. තොරතුරු ලබා දිය හැක්‌කේ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයාට පමණයි. කෙහොම උනත් මේ පිරිස නිධන් හාරන්නට ගොස්‌ සිටියදී අත්අඩංගුවට ගත් බව තහවුරුවී තිබෙනවා. ඒ වගේම මේ වනවිට පොලිසියේ නිලධාරීන් හත් දෙනෙක්‌ මේ සම්න්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.
 
Related Posts with Thumbnails