Ads 468x60px

.

මාමලා මල්ලි අරන් යනකොටත් මල්ලි අපි දිහා බල බල ඇඬුවා - අක්කා කියයි.


දරුවා ආපසු 
ගෙනත් දමපන්

ඒ අනෙකක්‌ නිසා නොව වැඩිහිටියන්ගේ ප්‍රශ්න වලට දරුවන් ඈඳා ගන්නා කාලකණ්‌නි තැනකට මිනිසුන් තල්ලු වී ගොස්‌ ඇති නිසාය.

මේ දරුවා පැහැර ගන්නේ ඇයි? පැහැරගෙන ගියේ කවුරුන්ද? කවුරු පැහැරගෙන ගියත්, කුමකට පැහැර ගත්තත්, ඒ දරු පැටියා ආපසු ගෙනත් දියව් · කියා මුළු රටම උන්ගෙන් ඉල්ලා සිටිති.

දරු දුක අපට දැනේ. දරු සෙනෙහසක හැටි දැනේ. දරු සෙනෙහස හමුවේ මිනිස්‌ සිත වෙඬරු පිඬක්‌ සේ උණුවෙන හැටි මිනිසුන්ට අමුතුවෙන් කිව යුතුද නොවේ. දරුවකු නොව තිරිසන් සතෙකුගෙ පැටියෙකුට කරදරයක්‌

වූ විට උණුවන සිත් ඇති මිනිසුන්ට දරුවන්ව මෙලෙස පැහැරගෙන යන්නට සිත්වන්නේ ඒ මිනිසුන්, නොමිනිසුන් වූ පසුව වගද කිව යුතුය.

කිරි සප්පයෙක්‌ කප්පමක්‌ වෙනුවෙන් හෝ වෙනත් ප්‍රශ්නයක්‌ වෙනුවෙන් පැහැර ගත්තේ නම් එය මිනිස්‌කම නොවේ. එනිසා මේ පුතු මවුපියන්ට බාර දී මිනිසත්කම රැකගන්න යෑයි දරුවා පැහැරගත් උදවියගෙන් ඉල්ලීමට කැමැත්තෙමු.

"මගේ රත්තරන් පුතාවව ගෙනත් දෙන්න මගේ පපුව පැලිලා මැරෙයි. මීගලෑවේ ධනිඳුගේ මව බිම පෙරළි පෙරළී ඉල්ලන්නේ ඒ ඉල්ලීම පමණි.

"මගේ පුතා ගෙනත් දෙන්න කප්පම් ඉල්ලන්නෙත් නැතුව මගේ පුතා අරන් ගියේ ඇයි? මම මේ බව දන්නවානම් දොර අරින්නෙ නෑ. මම ව්‍යාපාරත් නවත්තන්නම් දරුවා ගෙනත් දෙන්න. පින්සිද්ධ වෙයි. දරුවට මුකුත් කරන්න එපා......" ධනිඳු පුතුගේ පියාද හඬන්නේ එහෙම කියමිනි.

ධනිඳු පුතුගේ මුවින් තවමත් වෑහෙන්නේ කිරි සුවඳය.

මවගේ ඇකයේ හිඳිමින් කිරිබොන මේ කිරිදරුවා රැගෙන ගියේ ඇයි? මටත් නුඹටත් ඇති එකම ප්‍රශ්නය දන්නේ පැහැර ගෙන ගිය උන් පමණක්‌ නොවේද?

දරුවකු නිසා තරුණියක මවක්‌ වේ. රුහිරු කිරි බවට පෙරළී, දරුවා ඒ මවුකිරි උරා බොනවිට මවකට දැනෙන්නේ දාරක සෙනෙහසකි., එය වචනයෙන් කියා දැමිය නොහැකි බැඳීමකි ලේ කිරිකළ දරු පැටියා නැති වූ විට මවට දැනෙන වේදනාව අමුතුවෙන් කිව යුතු නොවේ.

තරුණයෙක්‌ පියකු වන විට පියකුට දැනෙන හැඟීමද මහ පුදුම එකකි. නමුත් දැන් පියකු යෑයි හැඟෙන කල පීතෘත්වය තුළින් ජීවන ගමන එහෙම පිටින්ම වෙනස්‌වන බව කොයි පියාත් අත්විඳින දෙයකි. හැඟීම් වචනවලට පෙරළිය නොහැකි තරම් අපූර්වත්වය පිරුණු හැඟීම්ය.

මේ ධනිඳු පුතු නිසා ඒ මවටත් පියාටත් දැනුණු ඒ හැඟුම් සොරාගෙන ගිය විට ඒ මවටත් පියාටත් දැනෙන වේදනාව ජාති, ආගම්, කුල, භේදයෙන් තොරව කොයිකාටත් දැනේ.

මේ දරුවා කිරි ඉල්ලා හඬන බව දනිමු. අම්මේ, අම්මේ කියමින් අම්මාව සොයන බවද දනිමු. තාත්තාගේ උණුසුමේ රැඳී හුරතල් වන්නට මේ දරුවා පියා සොයන වගද විශ්වාසය. එනිසා දරුවා ආපසු ගෙනත් දමපන්........... පැහැරගත් අයගෙන් ඒ ඉල්ලීම කරනවා හැර වෙනකක්‌ කීමටද නැත.

මොහොතකට අතීතයේ නපුරු සිද්ධි දෙක තුනක්‌ සිහිවේ.

මතුගම සමන් කුමාරගේ දුක්‌බර කතාව, ඔහු මරා දමපු හැටි සදීප ලක්‍ෂාන්, ඒ දරු පැටවා මියගියේද නිරපරාදේය. මේ දරුවාට එවන් විපතක්‌ අත් නොවන වග විශ්වාස කරමු. අපේ ප්‍රාර්ථනාවද එපමණකි. ධනිඳු දරුවා පැහැරගත් උන් කප්පම් ඉල්ලා නොතිබීම නිසා ප්‍රශ්නය හඳුනා ගැනීමට පවා නොහැකිවී ඇත.

නමුත් මේ අකාරුණික සමාජය මැද අපට අනියත බියක්‌ද දැනේ. ඒ බිය සාධාරණය, හිත් පිත් නැති මිනිසුන් පිරුණ මේ සමාජය ගැන සිතන විට නෙතට කඳුළු නැගේ.

පුතු පැහැරගත්ත උන්, පියාගේ ගෙලට තියුණු ආයුධයක්‌ තබා ගෙල තුවාල කර ඇති අයුරු අපි දුටුවෙමු. හය හැවිරිදි සොයුරියගේ උදරයටද මේ නරුමයින් තියුණු ආයුධයෙන් සුළු තුවාල කර ඇත. එනිසා මුන් පිළිබඳව කොයි කාටත් දැනෙන බිය සාධාරණය.

මීගලෑව, හුණුපොළගම ප්‍රදේශය පමණක්‌ නොව රටම මේ සිද්ධියෙන් කැළඹීමටත් කම්පාවටත් පත්ව සිටිති. ගම්මු කොයි කවුරුත් මේ පොඩි දරුවා සොයා සතර අත යති. පොලිසියද සීරුවෙනි. පෝස්‌ටර් ගසන පිරිස අතර ශාස්‌ත්‍ර අසන අයද වෙති.

28 වැනිදා රාත්‍රි 7.45 ට පමණ හෙල්මට්‌ පැළඳ නිවසට ආ සිව් දෙනකු විසින් මේ දරු පැටියා රැගෙන යතුරුපැදිවල නැගී පළාගිය හැටි රටම දනී.

ධනිඳුගේ පියා ව්‍යාපාරිකයෙකි. වී මෝල් හිමියෙකි. ව්‍යාපාරික ප්‍රශ්නයක්‌ මුල්කරගෙන මේ පුතු පැහැර ගෙන ගියේද? නොමැති නම් වෙනත් පවුල් ආරවුලක්‌ දැයි තවමත් හෙළි වී නැත. නොමැති නම් තරහකාරයකු පළිගැනීමට මෙම දරුවා පැහැර ගත්තේදැයි අපි නොදනිමු.

කෙසේ හෝ දරුවා ඊයේ (30 වැනිදා) සවස්‌වන තුරුම හමුවී නොතිබිණි. ධනිඳු යශේන් ලංකානාථ ඒකනායක දරුවා අපේ ශක්‌තියත් ගෙන ජීවත්විය යුතු දරුවෙකි. දරුවාව පැහැරගත් අය පැළඳ සිට ඇත්තේ මුහුණ වැසෙන හෙල්මට්‌ය. ෆුල් ෆේස්‌ හෙල්මට්‌ය.

මේ හෙල්මට්‌ හොරකම්වලටම හදපු හෙල්මට්‌දැයි අපට සිතේ. කරන තරමක්‌ අපරාධ කරන්නේද මේ හෙල්මට්‌ පැළඳගෙනය. එනිසා මේ හෙල්මට්‌ වර්ගය තහනම් කරන ලෙසද මේ මොහොතේ යළි යෝජනා කිරීමට කැමතිය.

මේ හෙල්මට්‌ පැළඳ සිටි උන් කිරි දරුවා හඬද්දීම රැගෙන යතුරුපැදිවල නැගී පවනට බඳු වේගයෙන් පලාගියේ කන්මෝරුව, මුදියන්නෑගම හරහාය. ඔවුන්ට ඒ මාර්ගය ඔස්‌සේ ඇහැටුවැවට යාමට හැකිය.

මේ පිරිස දරුවාද දමාගෙන පළායන හැටි දුටු අයද සිටිති. දරුවා ඉකිගසා හඬද්දී මේ නරුමයෝ මුළු පළාතම දෙදරවමින් පලාගිය හැටිද සිද්ධිය දුටුවෝ පවසති. මේ දරුවාගේ පියා මොවුන් පිටුපස යතුරු පැදියක ලුහුබැඳ ඇතැයිද කියති. 119 හදිසි පොලිස්‌ ඇමතුම් අංකයට හා මීගලෑව පොලිසියට දැනුම් දී ඇත්තේද මහමඟ සිටි අයයි.

මේ සටහන අවසන් කරන්නේ මේ දරුවාගේ වැඩිමල් සොයුරිය වන නව හැවිරිදි යශෝධරා සඳමිණි කුමාරි දියණිය කළ ප්‍රකාශයෙනි. දරුවාව පැහැරගෙන ගිය උන්ට මේ දියණිය කී දේවල් හදවතින් අසන්නට යෑයි අපි කියමු. මේ ඒ දියණියගේ ආයාචනය ය.

අනේ මාමේ මගේ මල්ලී මට ගෙනත් දෙන්න. මට මල්ලී නැතුව ඉන්න බෑ. මල්ලී නැතුව අම්මා බිම පෙරළි පෙරළී අඬනවා තාත්තන් අඬනවා මටත් ඇඬෙනවා.

මාමලා මල්ලි අරන් යනකොටත් මල්ලි අපි දිහා බල බල ඇඬුවා. මල්ලිට බඩගිනි ඇති මල්ලි නැතුව මට ඉන්න බෑ. සෙල්ලම් කරන්න මල්ලි ඕනෙ. මල්ලිට මුකුත් කරන්න එපා. මාමලට ඉල්ලන දෙයක්‌ තාත්තා දෙයි මල්ලි ආපසු ගෙනත් දෙන්න. මගේ මල්ලි නැතිව මුළු ගේම පාළුයි අනේ මල්ලිව ගෙනත් දෙන්න මාමේ......"
 
Related Posts with Thumbnails