Ads 468x60px

.

බල්ලන්ට කරන අවමානයක්‌ ලෙස බල්ලෝ නොගනිත්වා!


මයිල් ස්‌මයිල් 
වන පුවත්

දැන් එන පොට ඒ තරම් හොඳ නැත. රූපවාහිනි යක්‌ බැලුවත්, පුවත් පතක්‌ බැලුවත් ඇසට අහුවෙන්නේ සකල සිරුරම ලොමු දැහැ ගන්වන පුවත් ය. තරමක්‌ ලිහිල් බසින් කීවොත් මයිල් ස්‌මයිල් වන පුවත් ය. 

පොලිසියත් තිබේ. නීතියත් තිබේ. ආණ්‌ඩුවකුත් තිබේ. එහෙත් මේ කිසිම දෙයක්‌ තුට්‌ටුවකට ගණන් නොගන්නා පාදඩයෝත් සිටිති. අපරාධකාර යෝත් සිටිති. දේශපාලන හෙන්චයියලාත් සිටිති.

නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතාගේ පසු පසින් නාඳුනන පිරිසක්‌ ලුහුබැඳ ගියහයි චෝදනාවක්‌ ඇත. උපුල් ජයසූරිය මහතාගේ පිටිපස්‌සෙන් පන්නන්නේ ඔහුට විශේෂ ආරක්‍ෂාවක්‌ දීමට ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිසක්‌ නොවන බව නම් ඉතා පැහැදිලිය. ඒ අබිරහස තවමත්

හෙළි වී නැත.

මෙයට පෙර මාලබේ අරංගල ගුරුවරියකගේ නිවසකට ඇමතියකුගේ හෙන්චයියලා පිරිසක්‌ කඩාවැදී එහි සිටි සිසුවියක්‌ පැහැර ගෙන යැමට කළ තැතක්‌ ගැන ද වාර්තා විය. මේ ඇමතියාගේ මදාවියන් විසින් එහි සිටි තරුණයාට පහර දී පොලිසියට ගෙන ගිය බවක්‌ ද කියෑවුණි. ඒකත් නරක නැත.

තවත් පුවතකින් කියෑවුණේ ජාඇලට නුදුරුව අඹු සැමි දෙදෙනකුගේ මුදලක්‌ පැහැර ගැනීමට ගිය මංකොල්ලකරුවන් විසින් තබන ලද වෙඩි ප්‍රහාරයකින් සැමියා මියගිය බවකි. ඒ මංකොල්ලකරුවන් ගැනත් ආරංචියක්‌ නැත.

අලුත්ම අපරාධය ලෙස වාර්තා වූයේ මීගලෑව හුණුපොළගම නිවසකට ඇතුළු වූ මැර පිරිසක්‌ මවුපියන්ට ද තුවාල කර අවුරුදු 4 1/2 ක කුඩා දරුවකු පැහැර ගෙන යැමේ සිද්ධියකි. බැලූ බැල්මට පේන්නේ වෘත්තිකයකුට නිදහසේ පාරේ යා නොහැකි බවකි. 


සාමාන්‍ය මිනිසකුට සුළු මුදලක්‌ රැගෙන ගිය නොහැකි බවකි. තරුණ දියණියක්‌ ගෙදර සිටින අම්මලාටද ගැලවීමක්‌ නැති සෙයකි. කුඩා දරුවන් පවා පැහැරගෙන යන අසමඡ්ජාති පාදඩයන්, කුලී මැරයන් භීෂණය වපුරන බවකි. එහෙත් අපි ඒ එකක්‌වත් එසේම යෑයි නොකියමු.

පොලිසියටවත්, නීතියටවත් ආණ්‌ඩුවලටවත් මේ සියල්ල නතර කළ නොහැකි බව අපට ඉතා පැහැදිලිය. රටේ හදිසි නීතිය දමා හෝ ගෙයක්‌ ගෙයක්‌ ගානේ මුර සේවා දමා හෝ පාලනයක්‌ ගෙන යා නොහැකි බව අපට පෙනේ. එහෙත් මේ බොහෝ සිදුවීම් දෙස ජනතාව හිතන ආකාරයක්‌ මෙන්ම අප හිතන ආකාරයක්‌ ද තිබේ.

අපරාධවලට, වැරදි කිරීමට බොහෝ දෙනෙක්‌ බිය නොවෙතියි යනු සමාජයේ මුල් බැසගත් එක්‌ අදහසකි. විශේෂයෙන් ඇතැම් ඇමැතියන්ගේ මැරයන් විසින් කරනු ලබන බලහත්කාරකම් ගැන නම් අද අධි චෝදනා පත්‍රයක්‌ තිබේ. ජනතාව කරබා ගෙන සිටිනු විනා ඒවා සමඟ හැප්පීමට යන්නේ ද නැත.

අපට මතක්‌ වන්නේ එක රැයින් ඇමෙරිකාවේ වීරයකු බවට පත් වූ මයුර නමැති ශ්‍රී ලාංකික තරුණයා ය. මේ හයිකාරයන් සමඟ හැප්පෙන්නට ගමකට අඩුම ගාණේ ඒ වර්ගයේ වැඩකාරයන් දෙතුන් දෙනෙක්‌වත් වූවෝ නම් කොපමණ අගේ දැයි නිකමට සිතෙන්නට බැරි නැත. නිට්‌ටඹුවේදී නම් ඒ වර්ගයේ ශිල්ප දක්‌වා මංකොල්ලයක්‌ බේරාගත් පුවතක්‌ ද වාර්තා විය.

හාවා හඳ දකින්නා වාගේ කලාතුරකින් එහෙම දෙයක්‌ සිදු වුවත් අද මේ අපරාධ රටාව බරපතළ අනතුරක්‌ බව බලධාරීන්ට කිව යුතුය. මේ ආකාරයට ගෙවල්වලට පනින, මං පහරන, ජනතාව බියවද්දන, දරුවන් පැහැරගෙන යන අය බැරි වෙලාවත් මේ ආණ්‌ඩුවත් ඉස්‌සුවොත්...,?

එනිසා අපට කීමට ඇත්තේ ද මේ බල්ලන් බැඳ දමව් යන පැරැණි වැකියයි. එහෙත් එසේ කීම බල්ලන්ට කරන අවමානයක්‌ ලෙස බල්ලෝ නොගනිත්වා!
 
Related Posts with Thumbnails