Ads 468x60px

.

දැන් උඹලා නිදහසේ හිටපල්ලා මම යනවා පොලිසි භාරවෙන්න - පුතා මැරූ පියාගේ කතාව.


ගැහැනු ළමයෙක්‌ එක්‌ක 
සම්බන්ධයක්‌ තිබිලා 
ඒ ළමය මෙහාට 
එක්‌කන් ආවා. 

එයාට වයස අවුරුදු 17 යි. 

බීමතින් නිවසට පැමිණි පුතාව මන්නා පිහියකින් කපා කොටා සිය පුතු අමානුෂික ලෙස ඝාතනය කර තාත්තා පොලිසියට භාරවී තිබෙන පුවතක් අපට වාර්තා වන්නේ වාහල්කඩ ඩී-2 ගොවි ජනපදය ප්‍රදේශයෙන්.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ 2014.08.22 දින සවස 6.00 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති අතර ඝාතනයට ලක්‌ව ඇත්තේ වාහල්කඩ ඩී-2 ගොවි ජනපදයේ පදිංචිව සිටි විජිත දිසානායක ගේ සුරේෂ් මාලින්ද දිසානායක නමැති 22 හැවිරිදි අවිවාහක තරුණයෙක් බවයි.

ඝාතක පියාද එම ලිපිනයේම පදිංචි ටිකිරි බණ්‌ඩාගේ විජිත දිසානායක නමැති 46 හැවිරිදි දරු තිදෙනකුගේ පියෙක්. ඝාතනයට ලක්‌වූ සුරේෂ් බීමට ඇබ්බැහිවී කලක්‌ තිස්‌සේ දෙමාපියන්ට හිරිහැර කරමින් ගෙදර බඩු මුට්‌ටු පවා විනාශ කිරීමට පෙළඹී තිබෙනවා.

එදින සවස ද බීමතින් පැමිණි සුරේෂ් සුපුරුදු පරිදි නිවසේ බඩු මුට්‌ටු විසි කරමින් පිස්‌සකු සේ හැසුරුණේ තමන් ජීවිතයේ අවසන් ගමන් යන

මොහොත ළංව ඇති බව මොහොතකටවත් සිතට නොදැනුනු නිසාවෙනි.

ඒ බව නොදත් ඔහු දෙමාපියන් බිය ගන්වමින් නිවසේ තිබුණු රෙදි සියල්ලක්‌ම කාමරයේ බිමට ඇද දමා ඒවා ගිනි තැබීමට උත්සාහ කර තිබෙනවා. මොහුගේ මෙම ක්‍රියා කලාපය නතර කිරීමට කිහිප වතාවක්‌ම උත්සාහ කළ පියා එය පාලනය කර ගැනීමට නොහැකිව කෝපයට පත්ව මන්නා පිහියකින් ගෙල සහ හිස මතට පහරදී කපා කොට සිය පුතු ගෙයි කාමරය තුළම ඝාතනයට ලක්‌ කර තිබෙනවා

මේ ආකාරයට මන්නා පිහි පහරවල් හයකින් බරපතල ලෙස තුවාල සිදුකොට ඝාතක පියා මන්නා පිහියද රැගෙන වාහල්කඩ ඩී-2 පොලිස්‌ මුරපළට භාරවී තිබෙනවා. පොලිස්‌ පරීක්‍ෂක වික්‍රමපාල මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් එක්‌ව සැකකරු හොරොව්පතාන පොලිසියට භාරදී තිබෙනවා.

සිද්ධිය සිදුවූ ස්‌ථානය පරීක්‍ෂාවට පැමිණි කැබිතිගොල්ලෑව මහෙස්‌ත්‍රාත් දිසා විනිසුරු රාජා සිරිමෙන් මහේන්ද්‍ර රාජා මහතා ඉදිරියේ මියගිය සුරේෂ්ගේ මව වන කේ. ජී. අනුලාවතී (41) මහත්මිය සාක්‍ෂි දෙමින් මෙසේ කියා සිටියා.

මියගොස්‌ සිටින්නේ මගේ ලොකු පුතා. පුතා ඊයේ උදේ මගෙන් රු. 200 ක්‌ ඉල්ලුවා. මම සල්ලි ඇයිදැයි කියා ඇහුවා. එයා කීවා මට ටවුමට යන්න ඕනෑ කියලා. පුතා හැමදාම අරක්‌කු බොන නිසා මම බයට සල්ලි නෑ කීවා.


පුතා කොහොම හරි ටවුමට ගිහින් ගෙදර ආවා. පුතා හොඳටම බීලා හිටියේ. ගේ ඇතුළට ආවා. පුතා වෙනදා වගේම බඩු මුට්‌ටු එළියට විසි කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මමයි මගේ මහත්තයයි පමණයි ගෙදර හිටියේ. පුතාගේ තාත්තා පුතාට කීවා වඳින්නම් පුතේ ඔය බඩු මුට්‌ටු විනාශ කරන්න එපා පාඩුවේ ඉන්න කියා. 

ඇයි අපිට මෙහෙම කරදර කරන්නේ කියලත් ඇහුවා. මේ විදියට අපිට පුතාගෙන් හැමදාම කරදර හිරිහැර. මේ සම්බන්ධව හොරොව්පතාන පොලිසියේ පැමිණිලි 3 ක්‌ දාලා තියෙනවා. සමහර දවස්‌වල 119 ඇමතුම්දීල තියෙනවා. ගෙදර ජනෙල් වීදුරු සියල්ල කැඩුවා. 

වහළයේ සීට්‌ කැඩුවා. ගෙයි බඩු මුට්‌ටු විනාශ කළා. ඊයෙත් මේ සිද්ධිය වෙනකොට මම බයේ අවට ගෙවල්වල අයට කියන්න දුවගෙන ගියා. ඇවිත් බලනකොට සියල්ල සිද්ධවෙලා ඉවරයි. මට මගේ පුතත් නෑ. මහත්තයත් නෑ. 

බුදු මහත්තයෝ කියමින් විලාප හඬ නඟමින් මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ එසේ ප්‍රකාශ කළ අතර සිද්ධිය පිළිබඳ මූලික සාක්‍ෂි සටහන් කර ගැනීම හොරොව්පතාන පොලිසියේ පො.කො. (2841) ඩී. එස්‌. දිසානායක මහතා විසින් සිදු කරන ලදී.

මෙහිදී සාක්‍ෂි දුන් අනුලාවතී මහත්මිය වැඩිදුරටත් මෙසේද කීවාය. මගේ මහත්තයටයි, මටයි දරුවන් තුන් දෙනෙක්‌ ඉන්නවා. තිදෙනාම පිරිමි දරුවන්. ලොකු පුතාට අවුරුදු 22 යි. දෙවැනි පුතා උසස්‌ පෙළ ඉගෙනුම ලබනවා. බාල පුතා 9 වසර ඉගෙනුම ලබනවා. 


ලොකු පුතා තමයි මට මේ දුක්‌ දීලා අද අහිමි වෙලා ඉන්නේ. මගේ ලොකු පුතා ඉස්‌කෝලේ යන කාලයේ ඉඳන් අරක්‌කු බීමට ඇබ්බැහිවෙලා ඉන්නේ. ඒ බව ඉස්‌කෝලේ සර්ලා අපිට දැනුම් දුන්නා. මේ තත්ත්වයෙන් පුතා මුදා ගන්න අපි දෙන්නා නොගත්ත උත්සාහයක්‌ නෑ. 

පෞද්ගලික රැකියා ආයතන කිහිපයකටම දැම්මා. ඒ එක තැනකවත් හිටියේ නෑ. ගෙදර ආවා. ඒ කාලය තුළ පුතා නුවර හත්දැස්‌ස ප්‍රදේශයේ ගැහැනු ළමයෙක්‌ එක්‌ක සම්බන්ධයක්‌ තිබිලා ඒ ළමය මෙහාට එක්‌කන් ආවා. එයාට වයස අවුරුදු 17 යි. 

අඩු වයස නිසා නීත්‍යනුකූලව කසාද බන්දවලා දෙන්න ක්‍රමයක්‌ වුණේ නෑ. ඒ ළමයටත් හිරිහැර කළා. පසුව ඇගේ දෙමාපියන්ට දන්වලා එයා භාර දුන්නා. අවුරුදු 5 ක්‌ තිස්‌සේ මේ විදියට අපිට හිරිහැර කරදර තියෙනවා. එයා හොඳ කෙනෙක්‌ නොවෙයි. ඒත් අපි ගෙදරින් එළවාගත්තේ නෑ.

එදා පුතා කටවහගෙන තොපි දෙන්නා කුස්‌සියට පලයව් කියලා අපි දෙන්නට කෑ ගැහුවා. එහෙම කියලා ගේ තිබුණු රෙදි කාමරේ ඇතුළේ ගොඩ ගැහුවා ගිනි තියන්න කියලා. ඒ වෙලාවේ මහත්තයා පුතාව අල්ලාගෙන ගිනි තියන්න ගිය එක වළක්‌වන්න පුතා එක්‌ක පොර බැදුවා.


මම බයට මේ බව අවට අයට කියන්න දිව්වා. ගෙවල් කීපයක අයට මේ බව කියලා ආපහු ගෙදර එනකොට මගේ මහත්තයා ලේ තැවරුන මන්නා පිහියත් අරගෙන දොරකඩට ආවා. දැන් උඹලා නිදහසේ හිටපල්ලා මම යනවා පොලිසියට භාරවෙන්න කියලා එයා ගෙදරින් පිටත් වුණා. 

ඒ වෙලාවේ මම එතනම සිහි නැතිව වැටුණා. මම දන්නේ එච්චරයි. විලාප හඬ දෙමින් මියගිය සුරේෂ්ගේ මව පොලිස්‌ පොතේ සාක්‍ෂි සටහන් කළේ ඒ ආකාරයටයි.
 
Related Posts with Thumbnails