Ads 468x60px

.

මහේලගේ සමුගැනීම ගැන කලා ලෝකයේ අදහස්


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට මහේල ජයවර්ධනගෙන් ඉටුවූ සේවය සුළුපටු නොවේ. විටෙක මහේල සුපිරි දකුණත් පිතිකරුවකු ලෙස තාක්ෂණයෙන් පිරුණු පිතිකරණයක නියැළෙයි.

තවත් වරෙක ඔහු පිටියේ අතිදක්ෂ පන්දු රකින්නෙක් විය. තවත් විටෙක ඔහු කණ්ඩායමේ නායකයා ලෙස කරනු ලැබූ භූමිකාව තුළ ජයග්‍රහණයේ මාවත විවර කරගනු ලැබීය. මේ සියල්ලටම වඩා ඔහු ක්‍රීඩකයින් අතර සුහද මිතුරෙක් විය.

වසර 17 ක් අඛණ්ඩව ජාතික පිල නියෝජනය කළ මහේල පසුගිය දා එස් එස් සී පිටියේදී පැවැති ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන ක්‍රිකට් තරගයේදී ටෙස්ට් පිටියට සමු දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයකුගේ හිඩැසක් තබමිනි.

ටෙස්ට් පිටියට මහේලගේ සමුදීම පිළිබඳ කලා ලොවේ ක්‍රිකට් ලෝලීන් අදහස් දැක්වූවේ මේ ආකාරයටයි.


ක්‍රීඩාලෝලීන්ට කනගාටුදායක පුවතක්
- ගීතා කුමාරසිංහ

මහේල කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මා ගති තිබෙන ක්‍රීඩකයෙක්. ඔහුගේ ජනප්‍රියත්වය පොඩ්ඩක්වත් අඩු නොවී එලෙසින්ම තිබෙන අවස්ථාවක තමයි ඔහු මේ තීරණය ගත්තෙ. ඔහු නියමිත වේලාවේදී මුදුනේම සිටියදී ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දුන්නා.

කෙනෙක් ජනප්‍රියත්වයේ හිණිපෙත්තෙ ඉන්නා විටදී, ජනප්‍රියත්වයෙන් ඉහළට ඇදෙද්දි ඔහු ගත්ත මේ තීරණය ක්‍රීඩා ලෝලීන්ට ඇත්තටම කනගාටුදායක පුවතක්.

මොකද මහේල නැත්නම් ක්‍රිකට් නෑ කියන තරමටම කියන ක්‍රීඩා ලෝලීන් පිරිසක් ඔහුට ආදරය කළා. ටෙස්ට් පිටියෙන් ඉවත් වුණාට එක්දින තරග සමඟින් මහේල ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙමින් ඉන්නවා. මම හිතන්නේ ඒක මහේලගේ සුවහසක් ප්‍රේක්ෂකයන්ට සතුටුදායක කාරණයක්.


ගත් තීරණය ඉතා නිවැරැදියි
- අනූෂා දමයන්ති

 
ක්‍රිකට් ක්‍රීඩාව අපි හඳුන්වන්නෙ මහත්වරුන්ගෙ ක්‍රීඩාවක් හැටියට. ඉතින් මම හිතන්නෙ මහේල ඒ මහත්මා ගතිය උපරීමයටම තියාගෙන තමයි ටෙස්ට් පිටියෙන් ඉවත් වුණේ. ඒක මුළු රටම දැක්කා.

ජාතියටම එය ආදර්ශයක් මොකද මේ තීරණය ඉතාමත් නිවැරැදියි කියලයි මමනම් හිතන්නෙ. ක්‍රිකට්වලට දක්ෂ, තව තවත් මෙතැනට එන්න ආසාවෙන් සහ අවස්ථාව උදාවෙනකල් බලාගෙන ඉන්න පිරිසක් අපි අතරෙ ඉන්නවා.

ඉතින් ඒ අයටත් අවස්ථාව ලබා දිය යුතුයි. මං හිතන්නෙ මහේල කළේ ඔවුන්ටත් අවස්ථාව ලබා දීමක්. සාමාන්‍යයෙන් නර්තන ශිල්පිනියක් ලෙස මම කැමැතියි හැමදාම ඩාන්ස් කරන්න. ඒ වගේම මහේලත් කැමැති ඇති හැමදාම ජගත් ක්‍රිකට් පිටියෙ සෙල්ලම් කරන්න.

ඒත් අපි හැමෝටම ආදර්ශයක් වෙමින් මහේල සමු දුන්නෙ කොහොම ද කියලා හිතාගන්නත් අමාරුයි. මං හිතන්නෙ ඒක තමයි විය යුත්තේ. ඒ වගේම තවත් දෙයක් ගැන කියන්න කැමැතියි. මහේලගේ සමු ගැනීම සිදුවන වෙලාවෙ අපේ ජනාධිපති තුමා ඔහුට සුබ පතන්නට එතැනට පැමිණ සිටියා.

රටට ජාතියට විශාල සේවයක් ඉටුකළ නිහතමානී ක්‍රීඩකයකුගේ සමුගැනීමකදී නිහතමානී රජෙක් ලෙස ජනාධිපතිතුමා ඒ අවස්ථාවට පැමිණ සිටීම අපිටත් විශාල ශක්තියක්. මං හිතන්නෙ අනෙක් ක්‍රීඩකයන් ඇතුළු එතැනට පැමිණ සිටි සෙසු අයටත් එය ආඩම්බරයක් වෙන්න ඇති.


අපේ ක්‍රිකට් කණ්ඩායම ඉහළම තත්ත්වයකට ගෙන ආවා
- අකලංක ගනේගම


ඇත්තටම මටනම් ලොකු කනගාටුවක් ඇතිවුණා. රූපවාහිනිය දිහා බලාගෙන ඉද්දි මම හිතන විදියට අපේ හිටිය හොඳම කැප්ටන් කෙනෙක් තමයි මේ විදියට සමු දුන්නෙ. සංගයි, මහේලයි කියන්නෙ මම ගොඩක්ම කැමැති ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්.

ඉතින් ලංකාවේ විතරක් නෙමෙයි ලෝක ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන කොට ඒ සියලු දෙනා අතරිනුත් ඉතාමත් එඩිතර නායකත්ව ගුණාංග තිබුණු කැප්ටන් කෙනෙක් තමයි මහේල.

අර්ජුන අයියාගෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගොඩාක් ඉහළ තලයකට ගෙන එන්නට මහේල ළඟ තිබුණු නායකත්ව ගතිගුණ බෙහෙවින් ඉවහල් වුණා කියලා කියන්න පුළුවන්. වෙනත් රටවල්වල ක්‍රිකට් ක්‍රීඩාව පහතට වැටිලා ඉහළ තලයකට එන්නට සාමාන්‍යයෙන් ටික කාලයක් ගත වෙනවා.

නමුත් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව එක දිගට දීර්ඝ කාලයක් පහත වැටිලා තියෙන්නෙ නෑ. විශේෂයෙන්ම මහේල වගේ හොඳ නායකයින් වගේම ක්‍රීඩකයින් මේකට හේතු වුණා. ටෙස්ට් පිටියෙන් ඉවත් වුණාට එක්දින තරග එක්ක ක්‍රීඩා පිටියේ ඉන්නවා.

මං හිතන්නෙ 2015 ලෝක කුසලානයෙන් පස්සෙ මහේල ජගත් ක්‍රිකට් පිටියට සමුදෙන ආරංචියක් තිබෙනවා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඊට පස්සෙ ඔහු ක්‍රිකට් පරිපාලනයට එකතු වීම වඩා යෝග්‍යයි කියන එකයි මගෙ අදහස.


ඔහුගේ සමුගැනීම විශාල පාඩුවක්
- බුද්ධදාස ගලප්පත්ති

 
මගේ ජීවිතයේ පුංචි කාලෙ ඉඳලම මම ක්‍රීඩා අතින් ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන්නෙ පුදුමාකාර කැමැත්තක්. මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ ඉඳලම මම ක්‍රිකට් ලෝලියෙක්. ඒ වගේම මම දේශීය මෙන්ම විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන මහත් උනන්දුවක් දක්වනවා. දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් ගත්තොත් මෑත කාලයේ මගේ කැමැත්ත අනුව ඉහළින්ම ඉන්න ක්‍රීඩකයෙක් තමයි මහේල ජයවර්ධන.

ඉතිං මහේලගේ ක්‍රීඩාශීලීත්වය, ඒ තරමටම තිබෙන මහත්මා ගුණය ඉතාමත්ම විශිෂ්ටයි. ක්‍රිකට් ලෝකයේ එවන් මහත්මා කෙනෙකුගේ සමුගැනීම ඇත්තටම විශාල පාඩුවක්. 150 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සමු නොදී 149 වැනි තරගයෙන් ඔහු ටෙස්ට් පිටියට සමු දීමෙන්ම ඔහුගේ මහත්මා ගතිය, නිහතමානී ගුණය පිළිබිඹු වෙනවා.


අපේ ගීතය මහේලට දුන් තෑග්ගක්
- සුනිල් පෙරේරා

 
‘සමු අරන් ගියත් ගීය හදිසියේම ලියැවුණු ගීතයක්. මහේල ටෙස්ට වලින් අයින් වෙනවා කියලා දැනගත්තහම ඔහුට දිය හැකි තෑග්ගක් විදිහටයි මේ ගීතය නිර්මාණය වුණේ. මොකද මටත් මේ ගීතය සංගීතවත් කරපු පියල්ටත් මහේල ගැන තියෙන්නේ පුදුමාකාරවූ හැඟීමක්.

මෑත කාලයේ තරුණ පරපුර අතර මහේල - සංගා තරම් මේ රටට ශක්තියක් ගෙන දුන් දරුවෝ දෙන්නෙක් මම දැකලා නැහැ. මා ඔවුන්ව දකින්නේ ශ්‍රී ලංකාව කියන පුංචි රට ජාත්‍යන්තරයට ගෙන ගොස් ලංකාව වෙනුවෙන් විශාල කර්තව්‍යයක් කළ දෙපලක් විදිහටයි.

මේ ගීතයේ පද රචනය චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ. කලින් කිව්වා වගේ ඇත්තටම මේ ගීතය මහේල අපෙන් ලැබෙන තෑග්ගක්. ඔහු ගැන අප තුළ තිබෙන උතුම් හැඟිම තමයි මේ ගීතයේ හැම පද පේළියකින්ම කියැවෙන්නේ.අපේ ගීතය මහේලට දුන් තෑග්ගක්
 
Related Posts with Thumbnails