Ads 468x60px

.

සුනීත මිස්‌ සෙව්මිණි දුවව ගෙදර අරන් ගිහින් හවස්‌ වෙනකම්ම තියා ගන්නව - සෙව්මිණිගේ මව කියයි.


දුවගෙ 
මරණයෙන් 
පස්සේ ටීචර්ල 
දෙන්නම් හැංගිලා

මගේ සෙව්මිණි දුව දිවි නසාගැනීමට හේතු වූයේ සුනීතා මිස්‌ ඇයට කළ කෲර වධහිංසා සහ කාවින්ද්‍යා මිස්‌ කළ කේලම් කීම් නිසයි. සෙව්මිණි දුව මට ගොඩාක්‌ වටින දරුවෙක්‌. ඇගේ වියෝවත් සමඟ අප සියලු දෙනා මානසික ලෙඩුන් බවට පත්වෙලා. මගේ දරුවට කළ අසාධාරණයට සාධාරණයක්‌ ඉටුකර දෙන ලෙස ඔබතුමියගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. 

ඇයට ගුරුවරියන් දෙදෙනා කෲර ලෙස සැලකුවද ඇය දිගටම අධ්‍යාපනය කළේ ඇය "නේවි" එකට (නාවික හමුදාවට) බැඳීමේ පරමාර්ථයෙන් යෑයි ගුරුවරියන් දෙදෙනාගෙන් සිදුවූ බව කියන තාඩන පීඩන නිසා දුම්රියට
පැන දිවිනසාගත් අපේක්‍ෂා සෙව්මිණි ගේ මව ඇඬූ කඳුලෙන් පැවසුවා.

ඇය එසේ පැවසුවේ 2014 ජුනි මස 6 වැනි දින පාසල් නිල ඇඳුමෙන් රාගම - වල්පොල ප්‍රදේශයේදී දුම්රියකට පැන දිවිනසා ගත් රාගම පොඩිවීකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි හපුගොඩ ආදර්ශ මහ විදුහලේ 10 වසර බී පංතියේ ඉගෙනුම ලැබූ අපේක්‍ෂා සෙව්මිණි ශිෂ්‍යාවගේ මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින්ය.

ඇය ඉගෙනුම සඳහා පාසල් ගියේ සතුටින්. ඇයට අවශ්‍ය වුණා අධ්‍යාපනය ලබා නාවික හමුදාවට බැඳීමට. මගේ දුව දිවිනසාගත් දිනයේ දීත් ඇය පාසල් ගියේ සතුටින්. ඇය පාසලට ගිය පසු මම සේවය කරන පෞද්ගලික ආයතනයේ සේවයට ගියා. 


ආයතනය ඇතුළට දුරකථන රැගෙන යන්න අවසර නැති නිසා මගේ ජංගම දුරකථනය මගේ ලොකර් එකේ තබා ගියා. එදින උදැසන 9.45 ට තේ පානය සඳහා ලැබෙන කාලය තුළ මා ලොකර් එක ඇර මගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කළා. 

එවිට මම දැක්‌කා මිස්‌ කෝල් එකක්‌ (අතපසුවූ) දුරකථන පණිවුඩයක්‌ තිබුණා. මම ඒ අංකයට කථා කළ වෙලාවේ මට පිළිතුරු දුන්නේ සුනීතා මිස්‌. ඇය සඳුදාට දුවත් එක්‌ක පාසලට එන ලෙසට දැන්වූවා. මම ආයෙ දුරකථනය ලොකර් එකේ දාල ඇතුළට ගියා.

සවස 6.00 ට පමණ වැඩ පරීක්‍ෂකවරයකුට අපේ ගෙදරින් දුරකථන පණිවුඩයක්‌ දී තිබුණා. වැඩ පළේ කට්‌ටිය වෑන් එකකින් අපේ ගෙදරට මාව කැඳවාගෙන ගියා. නිවසේ විශාල පිරිසක්‌ රැස්‌ව සිටියා. 


මාව දැක්‌ක ගමන් මගේ අයියයි අක්‌කයි කෑගසමින් ඇඬුවා. මම ඇයි කියල ඇහැව්වම ඒ අය කිව්වා සෙව්මිණි දුව කෝච්චියට පැනල දිවි නසාගත් බව. මට ඊට පසුවුණේ මොනාදැයි කියන්න දන්නේ නැහැ. 

දුව දිවි නසාගැනීමෙන් පසුව මම දැනගත්ත සුනීතා මිස්‌ සහ කාවින්ද්‍යා මිස්‌ එදා උදේ ගෙදරට ඇවිත් සෙව්මිණි ගෙන් මෙමරි චිප් එකක්‌ ඉල්ලා කරදර කළ බව. 

අනතුර සිදුවූ ස්‌ථානයට මා කැඳවාගෙන ගියත් මා එම ස්‌ථානය බලන්න ගියේ නැහැ. පසුව දුවගේ මෘත ශරීරය තැම්පත් කර තිබූ ගම්පහ රෝහලටත් කැඳවාගෙන ගියා. 

පසුදා යළි රාගම රෝහලට සහ මීගමුවට කැඳවාගෙන ගියා. අපට දුවගේ මෘත ශරීරය භාරදුන්නේ 2014 ජුනි මස 8 වැනිදා සවසයි. ඇගේ දේහය හපුගොඩ ශාන්ත මරියා දේවස්‌ථානයට අයත් සුසාන භූමියේ මිහිදන් කළා.

මෙහිදී අධිකරණයෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මාරි අල්විස්‌ මහත්මිය "මගේ දුව මිය ගිය දින මගේ අතට ඇය ලියූ ලිපියක්‌ ලැබුණා. එය මට ලැබුණෙ ගාමිණී අයියාගෙන්. එම ලිපිය පොලිසියට භාරදුන්නා.


මගේ මියගිය දුව 8 වසර පංතියේ ඉගෙනුම ලබද්දී 2012 වසරේදී සෙව්මිණි දුවව පොලිසියට කැඳවා ගෙන එන්න යයි පණිවුඩයක්‌ මට ලැබුණා. මම දුවවත් කැඳවාගෙන පොලිසියට ගියා. 

එහිදී දුවගෙන් ඇහැව්වා ඇයට කාගෙන් හරි කරදරයක්‌ තියෙනවද කියා. දුව කිව්වා එහෙම එකක්‌ නැහැ කියල. පසුව අපි ආපසු ආවා.

සුනීත මිස්‌ මම දන්නෙ නැතුව දුවව ගෙදරට රැගෙන ගිහින් හවස්‌ වෙනකම්ම තියා ගන්නව. දවසක්‌ දුව පාසල ඇරී පැමිණියෙ නැති නිසා, අප බයවෙලා දුවව හැමතැනම හෙව්වා. එතකොට කෙනෙක්‌ කිව්වා සෙව්මිණිව සුනීත ටීචර් ඇගේ යතුරුපැදියේ නංවාගෙන ඇගේ ගෙදර කැඳවාගෙන යනවා දැක්‌කා යෑයි කිව්වා.

එදා රාත්‍රි 7.00 විතර සුනීත ටීචර් අපේ ගෙදරට සෙව්මිණි දුව සමඟ ආවා. ඇය මට කිව්වා "මාරි" තරහ වෙන්න එපා මම සෙව්මිණිව මගේ වැඩවගයකට ගෙදර කැඳවාගෙන ගියා කියල. මට මිස්‌ට බණින්න බැරි නිසා දුවට බැන්නා මිස්‌ගේ ගෙදරට යන්න එපයි කියල. 


දුවට ප්‍රේම සම්බන්ධයක්‌ තිබුණේ නැහැ. සෙව්මිණි දුව හැම විස්‌තරයක්‌ම මට කියනවා. සුනීත ටීචර් හරි කුරිරුයි කිව්වා. මැරෙන්න පෙරදිනයෙත් සුනීත ටීචර් දුවගෙ කම්මුලට ගැසූ බව කිව්වා. කාවින්ද්‍යා ටීචර් හැම කෙනා ගැනම කේලම් සුනීතා මිස්‌ එක්‌ක කියනවා කියලත් දුව මට කිව්වා.

දුවගෙ මරණයෙන් පසු ඒ ටීචර්ල දෙන්නව හමුවුණේ නැහැ. ඒ අය හැංගිලා සිටිනවා කියල දැන ගන්නට ලැබුණා යෑයි ඇය සාක්‍ෂි කූඩුවේ සිට ඇඬූ කඳුළෙන් යුතුව පැවසුවාය.
 
Related Posts with Thumbnails