Ads 468x60px

.

ෆේස්බුක් සමාජ ජාලයේ සැරිසරන සුවහසක් තරුණ තරුණියන්ට මිල කළ නොහැකි පාඩමක්


දියණිය දූෂණය කර නිරුවත් ඡායාරූප ගත් තරුණයාට උසාවිය ඉදිරිපිටදීම ඇලිස් කටුවෙන් ඇන්න තාත්තාගේ කතාව

පාසල් සිසුවියක පැහැරගෙන ගොස් නිරුවත් ඡායාරූප ගෙන, ඇය දූෂණය කර කප්පම් ගැනීමට තැත් කළ තරුණයෙකු දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා අධිකරණයෙන් පිටතට එන විට සිසුවියගේ පියා ඇලිස් කටුවකින් ඇන ඔහු මරා දැමීමට ගත් උත්සාහය පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම පුවත ගෙවීගිය සතියේ රටේ විශාල අවධානයකට හා  කතාබහකට ලක්වූ සිද්ධියක් බවට පත්වුනා.

එහිදී එම තරුණයා එහිදී තුවාල ලබා දිවි ගලවාගන්නට සමත් වූවත් ලොකුම වන්දිය ගෙවන්නට සිදු වූයේ ඔහුගේ පියාටයි. ඒ තම පුතු බේරාගන්නට ගොස් ඇලිස් කටු පහරින් තරුණයාගේ පියා මරුමුවට

පත් වූ බැවිනුයි. එහිදී එම තරුණයාගේ නැගණියද තුවාල ලැබුවා. ඒ තම සහෝදරයා බේරාගන්නට ගොස් ඇයද ඇලිස් කටු ප්‍රහාරයට ලක්වීම හේතුවෙනි.

මේ සිදුවීම පිටුපස ඇත්තේ ෆේස්බුක් සමාජ  වබේ අඩවිය හා බැඳුණු කතාවකි. ඒ නිසාම මෙම මරණය  ෆේස්බුක් සිද්ධියක් මුල්කරගෙන මෙරට සිදුවුණු පළමු මිනිස් ඝාතනය ලෙස ඉතිහාසගතව අවසන්ය.

හොඳට මෙන්ම නරකටද ෆේස්බුක් සමාජ වබේ අඩවිය ලොව පුරා කෝටි ගණනක් දෙනා භාවිත කරන අතර එම වබේ අඩවිය නරකට භාවිත කිරීම් හේතුවෙන් සිත්තැවුලට පත්වූ තරුණ තරුණියන් සියදිවි හානිකර ගැනීම්, ගහමරා ගැනීම් දැන් ලෝකයේ සුලබය. 


ෆේස්බුක් මගින් කෙරෙන මඩ ගැසීම් සහ චරිත ඝාතනයන් හිද අඩුවක් නැත. ගහමරා ගැනීම්වලටත් සියදිවි හානිකර ගැනීම්වලටත් වැඩි වශයෙන් බලපා ඇත්තේ මෙවැනි මඩ ගැසීම් හා චරිත ඝාතනයන්ය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ ප්‍රදේශයේ සිදු වූ ඉහත කී මිනිස් ඝාතනය වාර්තා වන්නේ ඉකුත් 25 වෙනිදාය. ඊට මුල්වන කතාව පොලිස් පොත්වල ලියැවී ඇති ආකාරයට අනුව පෙළගැස්වූ කල මෙසේය.


ඇය කොළඹ පිහිටි ප්‍රසිද්ධ දෙමළ විදුහලක ඉගෙනුම ලබන්නියකි. ලබන වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින ඇය දාහත් හැවිරිදිය. කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචිව සිටින ඇයට වැඩිමහල් සහෝදරියක්ද සිටින්නීය. මව සිටින්නේ අසනීපයෙනි. පියා සෙල්වරාජ්ය. පනස් දෙහැවිරිදි  ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි. 


ඔහු පරණ යකඩ ආශ්‍රිත ව්‍යාපාරයක නිරත වන බව සඳහන්ය. එකී ව්‍යාපාරයට අත තබන්නට පෙර ඔහු පිටකොටුවේ රෙදි කඩයකද සේවය කර තිබුණේය. පදික වේදිකාවේ ව්‍යාපාර කටයුතුවලද ඔහු නිරතව සිට ඇත.

සෙල්වරාජ් නිරන්තරයෙන් සිහින මැව්වේ සිය දෙටු දියණිය ඉහළ අධ්‍යාපනයක් ලබා ඉහළ රැකියාවක නිරතව සිටිනු දැකීමටය. ඇයට නිදහස මෙන්ම ඉල්ලන සෑම දෙයක්ම ලබාදුන්නේ ඒ නිසාමය. එසේ සෙල්වරාජ් සිය දියණියට ලබාදුන් දෑ අතර ජංගම දුරකථනයක්ද තිබුණේය. නවීන තාක්ෂණයෙන් පිරිපුන් ඒ ජංගම දුරකථනය ඇය භාවිත කළේ දුරකථන ඇමතුම් ගැනීමට වඩා ෆේස්බුක් යන්නටය.


රිසි සේ ෆේස්බුක් සමාජ ජාලයේ සැරිසරමින් සිටි ඇයට ඩිරෝෂන්ව මුණගැසන්නේ අහඹු ලෙසිනි. ඒ ඉකුත් 17 වෙනිදාය.  විවාහ වීමේ අපේක්ෂාවෙන්, දෙමාපියන්ගේ ආශිර්වාදයද ඇතිව ඒ වන විට ඇය පෙම්වතෙකු ද ඇසුරු කරමින් සිටියාය. එහෙත් ඇය ඩිරෝෂන් සමග ෆේස්බුක් හරහා සිදු වුණු පළමු  මුණගැසීමේදීම ඉතා කුළුපග වූවාය.


ඩිරෝෂන් තමා රැකියාවේ නිරතව සිටින්නේ යැයි සඳහන් කර තිබුණේ මෙරට ප්‍රධාන පෙළේ ජංගම දුරකථන සමාගමකය. ඇය ඔහු වෙත ආකර්ෂණය වන්නට ඔහුගේ රැකියාවේ ස්වභාවයත් බලපෑවා වන්නට පුළුවන.

ඒ පුද්ගලයා සැබෑ ලෙසම කවුරුන්දැයි නිසි ලෙස හඳුනා නොගත් ඇය ෆේස්බුක් හමුවීමෙන් දින දෙකකට පසු එකිනෙකා මුණගැසීමටද තීරණය කළාය. ඒ කොටහේනේ පිහිටි ප්‍රධාන පෙළේ අවන්හලක් අසලදීය. මේ පිළිබඳ සියල්ල ඔවුන් කථිකා කර ගන්නේ ෆේස්බුක් හරහාය.එදා 19 වෙනිදා ඇය මුණගැසීමට ඔහු පැමිණෙන්නේ යතුරුපැදියක නැගීය. 


ඒ තනිවමය. දෙදෙනා එකිනෙකා සජීවීව දකින්නේ එවිටය. ඇය එදා එන්නේද උපකාරක පන්තියකට යන බව අම්මාටත්, තාත්තාටත් පවසාය.
“අපිට මෙතැන නිදහසේ කතා කරන්න බැහැ. අපි නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට යමුද?” ඩිරෝෂන් ඇයට ආරාධනාවක් කළේය.


ඇගෙන් ඊට විරෝධතාවක් පළ නොවීය. අමතර හිස් වැසුමක්ද ඩිරෝෂන් රැගෙන විත් තිබුණු බැවින් ඔහු එය ඈ අතට පත්කළාය. එය හිසේ පැළඳ ගත් ඇය යතුරුපැදියේ පිටුපස හිඳගත්තාය. 


යතුරුපැදිය පණගන්වා ඇක්සලරේටරය තදින් කරකවා එකවර ඔහු ගියරය දමා වේගයෙන් යතුරුපැදිය ඉදිරියට ගන්නා විට පිටුපසට ගැස්සෙන ඇය නොවැටී බේරෙන්නට බදාගන්නේ ඩිරෝෂන්වය. 

ඔහුගේ ඇඟ වටා දෑත් පටලවාගෙන ඔහුට තුරුළුවන ඇය දෑත් ලිහන්නේ ගල්කිස්ස වෙරළේදීය. ඒ ඇය සමග නිදහසේ තෙපලන්නට ඔහු ඇයව රැගෙන යන්නේ ගල්කිස්ස වෙරළට බැවිනි.

වෙරළේ ඒ මේ අත ඇවිදිමින් මද වේලාවක් දෑත් පටලවාගෙන සිටි බව කියන ඒ දෙදෙනා වැටකෙයියා ගාලකට මුවා වී ආදර බස් තෙපලන්නටද වූහ. වෙරළට මදක් ඔබ්බෙන් වූ හෝටලයකට ගොස් පැණි බිම බෝතලයක් තොලගා හෝටල් කාමරයට ගොඩ වී ඇත්තේ  ඉන් අනතරුවය.


ඇයව පැහැර ගැනීම ගැනත්, දූෂණය කිරීම ගැනත්, නිරුවත් ඡායාරූප ගැනීම ගැනත්, කප්පම් ඉල්ලා කරදර කිරීම ගැනත් කොටහේන පොලීසියට පැමිණිල්ලක් ලැබෙන්නේ 20 වෙනිදාය. 


එම පැමිණිල්ල කරමින් ඇය ෆේස්බුක් මගින් ඩිරෝෂන් දැනහඳුනාගත් බවත්, කොටහේනේ අවන්හල අසලදී මුණගැසුණු බවත් පිළිගත්තත් ගල්කිස්සට රැගෙන ගියේ බලහත්කාරයෙන් බව පවසා තිබේ. එය පැහැරගැනීමක් ලෙස ‍පොලිස් ‍පොත්වල ලියැවෙන්නේ ඒ අනුවය. 

එසේ ගල්කිස්සට ගෙනගිය බව කියන ඇයට බොන්නට යමක් ඔහු දුන් බවත්, අනතුරුව කුමක් සිදුවූයේ දැයි නොදන්නා බවත් ඇය ‍පොලීසියට පවසන්නේ එහිදී ඇයව ඔහු දූෂණය කළ බවද කියමිනි. ඒ අනුව ඇය පැහැරගෙන ගොස් දූෂණය කර ඇති බවට ඩිරෝෂන්ට චෝදනා එල්ලවිය.

මේ සියල්ල සිදු වූයේ 19 වෙනිදා වුවත් ‍පොලීසියට 20 වෙනිදා ඒ පැමිණිල්ල ලැබෙන්නට මුල්වන්නේ වෙන කිසිවක් නොව, දෙදෙනා කාමරයේ සිටියදී ඇගේ නිරුවත් ඡායාරූප ගත් බව සඳහන් කරමින් එම ඡායාරූප ෆේස්බුක් මගින් ප්‍රසිද්ධ නොකරන්නට ඔහු කප්පමක් ඉල්ලා සිටීම පිළිබඳ කතාවකි. 


ඒ ගැනද කොටහේන ‍පොලීසියේ පැමිණිල්ලෙහි සටහන් කර ගැනීමෙන් පසු ‍පොලීසිය ඇය මගින් තරුණයාට ඇමතුමක් දුන්නේය. ඒ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ නොකරන්නට කීයක් අවශ්‍ය  දැයි විමසීමේ මුවාවෙනි.

ඔහු එහිදී ඇගෙන් ඉල්ලා සිටියේ රුපියල් 12,000 ක් වැනි මුදලක් පමණි. ඒ මුදල ලබාදෙන්නට ඇය එකඟ වූවාය. ඒ ‍පොලීසියේ උපදෙස්වලට අනුවය. එම මුදල දෙන්නට ඇය කොළඹ යම් තැනකට එන්නට යැයි ඔහුට කීවාය. ඔහු ආවේය. ‍

පොලීසිය වහාම ඔහු  අල්ලාගෙන ගොස් ‍පොලිස් කූඩුවට දමන්නේ පාසල් සිසුවියක පැහැරගෙන ගොස්, දූෂණයකර ඇගේ නිරුවත් ඡායාරූප ගෙන, එම ඡායාරූප ෆේස්බුක් මගින් ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර කප්පම් ඉල්ලීම යන චෝදනාවන්ට සැකපිටය. 

එහෙත් ඔහු ඒ දූෂණ චෝදනා පිළිගත්තේ නැත. දෙදෙනාගේ කැමැත්ත මත සියල්ල සිදුවූ බව ඔහු කීවේය. එහෙත් ඔහුට ඒ වන විට එල්ලවී තිබුණු චෝදනා සුළුපටු නැත. ඔහු දූෂණය කර තිබූ බවට චෝදනා නැගුනේ පාසල් සිසුවියක බැවිනි. එබැවින් ‍පොලීසිය ඔහුව 21 වෙනිදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ සියලු චෝදනා සමගිනි.

එහිදී රක්ෂිත බන්ධනාගාරගත කරන ඔහුට අධිකරණයෙන් ඇප නියම වන්නේ 25 වෙනිදාය. එදා ඔහු අධිකරණයෙන් රැගෙන යන්නට හැට එක් වියැති පියාද, විසිතුන් වියැති නැගණියද අධිකරණ භූමියට ආහ. 


දින හතරක් තිස්සේ බන්ධනාගාරගතව සිට ඇපමත මුදාහැරුණු ඩිරෝෂන්ව ඒ අය අධිකරණ භූමියෙන් පිටතට ගෙන එන්නට වූයේ ඇප නියම වූවාට යම් සතුටක් සහ ඔහු කළ බව පැවසුණු ක්‍රියාව සම්බන්ධයෙන් දුකක්ද අතැතිවය.

ඩිරෝෂන්ට ඇප නියම වීම කෙරෙහි සිසුවියගේ පියා සිට ඇත්තේ නොසතුටකිනි. ඒ නිසා ඇප ලබාදීමෙන් පසු  අධිකරණ භූමියෙන් ඩිරෝෂන් පැමිණෙන තුරු ඔහු මග රැක සිට ඇත. ඒ කල්තියා සූදානම් කරගෙන තම කකු‍ලේ බැඳගෙන සිටි ඇලිස් කටුවක්ද අතට ගෙනය.



ඒ  තැන  රථවාහන අධිකරණය කිට්ටුවය. ඩිරෝෂන් සිය පියා සහ නැගණිය සමග එතැන පසුකරනවාත් සමග ඔහු ඩිරෝෂන්ගේ ඇඟට කඩා පැන්නේ ඇලිස් කටුවෙන් පහරවල් කිහිපයක් සිරුරට එල්ල කරමිනි. 


ඒත් සමගම ඩිරෝෂන්ගේ පියා සහ නැගණිය ඒ මැදට පැන ඇලිස් කටු ප්‍රහාරයෙන්  ඩිරෝෂන්ව රැකගන්නට උත්සාහයක් ගෙන තිබේ. ඒ උත්සාහය හමුවේ ඩිරෝෂන්ගේ ජීවිතය රැකුණද ඔහුගේ පියාට ජීවත් වන්නට වරම් හිමි නොවීය. 

යාපනයේ වැසියෙකු වන ඔහු නමින් ජයසීලන්ය. හැට දෙහැවිරිදි ඔහුගේ බිරිඳ මියගොසිනි. ඒ මෙයට හය මසකට ඉහතය. යුද්ධය හේතුවෙන් යාපනයේ සිට කොළඹට පැමිණ සිටි ඒ අය ඒ වන විට පදිංචිව සිටියේ මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේය. 

දරුවන් දෙදෙනා හැරුණු කොට ජයසීලන්ට වෙන කිසිදු සම්පතක් නොවීය. ඔහුට අකාලයේ මියැදෙන්නට සිදුවන්නේද සිය පුත්‍රයා කළ බව කියන නොහොබිනා ක්‍රියාවක් හේතුවෙනි. තම ජීවිතය බේරන්නට  ගොස් මරණයට පත්වූ සිය පියාගේ දේහය භාරගෙන අවසන් කටයුතු කරන්නට පවා ඔහුට හෝ නැගණියට ඉඩක් නොවීය. 

ඒ ඔවුන් දෙදෙනාද තුවාල ලබා රෝහල්ගතව සිටි බැවිනි.  එබැවින් ඒ දේහය අවසානයේදී භාරගත්තේ  වැල්ලවත්තේ ෆ්‍රැන්සිස් පාරේ පිහිටි දේවස්ථානයක පූජකවරයෙකි.  ඔහුත් නොසිටින්නට මේ පියාගේ දේහය වළ දැමෙන්නේ රජයේ වියදමින්ය. 

ෆේස්බුක් මගින් දැන හඳුනාගෙන දුරදිග නොබලා තරුණ යුවළක් අතර ඇති වූ හැසිරීමක් කෙළවර වන්නේ එසේය. ඒ ෆේස්බුක් සමාජ ජාලයේ සැරිසරන සුවහසක් තරුණ තරුණියන්ට මිල කළ නොහැකි පාඩමක්ද කියාදෙමිනි.

ෆේස්‌ බුක්‌ තරුණිය දූෂණය කර ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දැමූ තරුණයා (වීඩියෝ)
 
Related Posts with Thumbnails