Ads 468x60px

.

‘ඉගිලෙන මාළුවෝ’ හින්දා මගේ බිරිඳත් ලැජ්ජා වුණා - දැන් නම් කතා කරන්නත් අකැමැතියි.

ශ්‍රී ලංකාව තුළ විකාශනයට වාරණය වූ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය තරමටම එහි ප්‍රධාන චරිතයට පණ දුන් සම්පත් ජයවීරත් පසුගිය කාලය පුරාවට ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා. 

පුංචි තිරයෙන් හා වේදිකාවෙන් විවිධ චරිත ඔස්සේ නිතර දකින  සම්පත් රංගන ශිල්පීන් අතර දක්ෂ රංගන ශිල්පියෙක්. මේ ඔහු සමග කළ සංවාද සටහනයි.

සම්පත් මේ දිනවල වේදිකාව නිසා කාර්ය බහුල වෙලා නේද?
‘ලෝරන්ස්ගේ මනමාලි’ එක්ක කාර්යබහුල වෙනවා සති අන්තයේ දී. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයක රූපගත කිරීම් කරනවා. රූපගත කළ ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා.

සම්පත් ජයවීරව රිදී තිරයෙන් දැන් ප්‍රතික්‍ෂේප වෙලාද?
‘සුළඟ අප රැගෙන යාවි’ ළමා චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඊට අමතරව චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැහැ. මට ආරාධනාවක් ලැබුණොත්

අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. කිසිම නිර්මාණයක් මම ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. ඒ සඳහා කොහොම හරි කාලය හදාගන්නවා. රිදී තිරයෙන් මාව ප්‍රතික්‍ෂේප වෙලා නැහැ.

ඔබ කලාව තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණේ ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය නිසා කිව්වොත්?
ඊට කලින් ඉඳලා සම්පත් ජයවීර කියන්නේ කවුද, මොනාද කළේ කියන කාරණා හා මගේ දක්ෂතා ප්‍රේක්ෂකයන් දන්නවා. ඉගිලෙන මාළුවෝ නිසා මම ජනප්‍රිය වුණේ නැහැ. නමුත් කතාබහට ලක්වුණා.

ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර ගැන දැන් මොකද හිතන්නේ?
ප්‍රතිචාර විවිධයි. මේ චිත්‍රපටය නිර්මාණයක් විදියට බැලුව අයගේ ප්‍රතිචාර හොඳයි. කිසි දෙයක් නොදන්න අය විවිධ මත පළ කළා. ඒ ප්‍රතිචාර නිසා ඇත්තටම මම කරදර ගොඩකට මුහුණ දුන්නා. දැන් නම් කතා කරන්න අකැමැති නීරස අත්දැකීමක් ඒක.

නැවතත් ලිංගික දර්ශන සහිත චරිතයක් ලැබුණොත් ඔබ එය භාරගන්නවාද?
රංගන විෂය තුළ මම වාරණ දාගෙන නැහැ. ඒත් මම හිතනවා ඒ වගේ චරිතයක් ලැබුණොත් සැලකිලිමත් වෙන්න ඕන චරිත තෝරා බේරාගැනීම ගැන. මීට පස්සේ එවැනි චරිත ලැබුණොත් ඒ ගැන හොඳින් හිතලා බලනවා. හොඳයි කියලා හිතුණොත් විතරක් භාරගන්නවා. නැත්නම් ප්‍රතික්‍ෂේප කරනවා.

ඔබ විවාහකයෙක්. ඔබේ බිරිඳ ඔබට දැක්වූ ප්‍රතිචාර කොයි වගේද?
එයත් හුඟක් අපහසුතාවට ලක් වුණා. නමුත් මම ඔය චරිතය භාරගන්නකොට ඇය මගේ පෙම්වතියවත් බිරිඳවත් නමෛයි. චිත්‍රපටය රූගත කරලා කාලයක් ගියාට පස්සේ තමයි මට මගේ බිරිඳව මුණගැහෙන්නේ. චිත්‍රපටය නිසා එයා අපහසුතාවකට පත් වුණත් මට දොස් කීවේ නැහැ. එය නිර්මාණයක්, නිර්මාණ දායකත්වයක් කියන එක තේරුම් ගත්තා.

එතකොට ‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටය නිසා ඔබේ පවුල දෙකඩ වුණා කියන කතාව බොරුවක් ද?
ඒක බොරුවක්. මට අද වෙනතුරු අනවශ්‍ය විදියට කටකතාවක් හැදිලා නැහැ. එහෙම කටකතාවක් තිබුණා කියලත් මම ඇහුවමයි. ඔය කටකතාවක් මිසක ඇත්තක් නමෛයි. මගේ පුංචි පවුල තවම සුරක්ෂිතයි.

ඔබේ බිරිඳ මාධ්‍යයට සම්බන්ධයි. ඒ ගැනත් කියමු..
මගේ බිරිඳ රුවිනි හේවගේ. ඇය සිරස ගුවන්විදුලියේ නිවේදිකාවක්. එයාව මට මුණගැහෙන්නේ 2012 අවුරුද්දේ සිරසට ගිය වෙලාවක. එතැන දී හඳුනාගෙන ආදරය කළා. 2013 අවුරුද්දේ අපි විවාහ වුණා. අපිට දැන් පුංචි පුතෙක් ඉන්නවා. අපේ පුතා මේඝන ආදිත්‍ය ජයවීර. වයස මාස නවයයි.

දරු සුරතල් බලන්න සම්පත්ට වෙලාවක් නැතිව ඇති නේද?
අපි දෙන්නම කාර්ය බහුලයි. ඒත් බිරිඳ රුවිනි හවස් වරුව  පුතා එක්ක කාලය ගත කරනවා. මමත් පුළුවන් හැම වෙලාවකම දරුවා එක්ක ඉන්නවා. එයා හුරතල් වයසක ඉන්නේ. ඒ හුරතල් බලන්න කොහොම හරි වෙලාව හදා ගන්නවා. වැඩි කාලයක් දරුවා එක්ක ඉන්න ලැබෙන්නේ නැති එක ගැන නම් දුකක් තියෙනවා.

සම්පත් නිර්මාණයක් භාර ගනිද්දී නිර්මාණයේ හා චරිතයේ ගුණාත්මක බව බලනවද?
මීට පෙර බිහි වුණ නිර්මාණවලට සාපේක්ෂව හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයි. නමුත් මම නම් නිර්මාණයක හොඳ නරක බලනවා අඩුයි. ලැබෙන ඕනෑම නිර්මාණයක් භාරගන්නවා. මොකද මම දන්න කර්මාන්තය මේක. මෙයින් පිට පනින්න මට බැහැ. මට මුදල් ඕන නම් තෝරාබේරා ගැනීම් කරන්න බැහැ. නිර්මාණයේ ගුණාත්මක බව තේරුම් අරගෙන මම මගේ චරිත කොලිටියට කරනවා. මම මුල්තැන දෙන්නේ චරිතයට

නිර්මාණයට වඩා මුදලට මුල්තැන දෙන නිසා ගාස්තුව වැඩි ඇති?
නළුවන් අතර ඉහළ මිලක් අය කරන අයගේ නම් ලැයිස්තුවට මගේ නම තියන්න මම හීන දකින්නේ නැහැ. මම සාධාරණ මුදලක් අය කරන්නේ. අපිට වටිනාකමක් නිකම් ලැබෙන්නේ නැහැ. ඒක ඇති කරගන්න ඕන. මම මගේ වටිනාකම රඳවාගන්න උත්සාහ ගන්නවා.
 
Related Posts with Thumbnails